පුංචි ඡන්දයට නම් දුන් රාජ්‍ය සේවකයන්ට පඩි දෙන්න නීතිපති උපදෙස් ඉල්ලුවා

42

රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර

පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්යෑම හේතුවෙන් මැතිවරණය සඳහා ඉදිරිපත්ව වැටුප් රහිතව සිටින රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ලබාදීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා ඇතැයි රාජ්‍ය පරිපාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය.

මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මේ වන විට අත්හිටුවා ඇති අතර මැතිවරණය කල් දැමීමෙන් ඔවුනට දැඩි අසාධාරණයක් සිදු වන බවට මතු වූ අදහස්වලට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය. එහිදී මතුවූ සංවාදය මෙසේය.

විමල් වීරවංශ මහතා – මේ පළාත් පාලන මැතිවරණයට හැම පක්ෂයකින්ම රාජ්‍ය සේවකයන් ඉදිරිපත්ව සිටිනවා. මැතිවරණය දිගින් දිගටම කල්දැමීම නිසා ඒ රාජ්‍ය සේවකයන් දැඩි අසීරුතාවකට පත්වෙලා. මැතිවරණය කල් දැම්මේ මේ ආණ්ඩුවයි. ඒ රාජ්‍ය සේවකයන්ට දැන් වැටුප් ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔවුන්ගේ දරු පවුල්වලට ජීවත් වෙන්න අමාරුයි. රාජ්‍ය සේවකයෝ ඡන්දේ ඉල්ලන්න ගිහින් අද ගෙදර ඡන්දෙත් නැති වෙන්න යන්නේ.

රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා – මැතිවරණ කොමසාරිස්තුමා කියා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔවුන්ට නැවත සේවයට යන්න බෑ කියලයි. ඒත් එතුමා කියනවා ඒ අයට සහනයක් ලෙස මූලික වැටුපවත් දෙන්න කියලා. ඒ කියන්නේ රාජ්‍ය සේවයට යන්නේ නැතුව ගෙදර සිට දේශපාලනය කරන අයට පඩි දෙන්න කියලායි කියන්නේ. මේ ගැන අපි නීතිපතිතුමාගෙන් උපදෙස් පතා තිබෙනවා ඒ අයට වැටුප් ගෙවන්නේ කොහොමද කියලා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව කල් දමා තිබෙන නිසා කැබිනට් පත්‍රිකාවක් දාලා නැවත සේවයට යන්න අවසර දී තිබෙනවා. ඉතින් අපිට එහෙම දෙයක් හරි කරන්න පුළුවන්. මම ඉන්නෙත් ඒ අයට පඩි දෙන්න ඕනෑ කියන තැනයි.

ඩලස් අලහප්පෙරුම මහතා – තුන්දහසකට අධික රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සේවක පිරිසක් මේ මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ගැටලුව මේකට පූර්වාදර්ශයක් කර ගන්න බැරිවෙලා. ඒ ඇල්පිටියට දින නියමයක් නැතිව ඡන්දය කල් දාන තීන්දුවක් තිබෙන්නේ. දැන් ඇතැම් අපේක්ෂකයන් ඉල්ලා අස්වෙන්න යනවා. මැතිවරණය මාර්තු 09 පවත්වනවා කිව්වා. ඒක අප්‍රේල් 25 ට කල් ගිහින්. හැබැයි ඒ දිනයටත් ඡන්දෙ තියයිද කියන්න අමාරුයි. ඒ නිසා ඉතා අමාරුවෙන් ජීවත් වන මේ පිරිසට මූලික වැටුප හෝ ගෙවිය යුතුයි කියා අපි පාර්ලිමේන්තුවෙන් තීන්දුවක් ගනිමු.

විමල් වීරවංශ මහතා- අඩුම තරමේ ඒ නිලධාරීන් ඡන්දය ඉල්ලන කොට්ඨාසයෙන් පරිබාහිර තැනකට හෝ මාරු කරලා මේ සිංහල අවුරුද්දට කලින් වැටුප ලැබෙන පරිදි ක්‍රමයක් හදන්න.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා- ඇප මුදල් බැන්දේ ජනවාරි මාසයේදී මාර්තුවල ඡන්දය පවත්වන නිසා. ඒ නිසා මාර්තුවෙන් පසුව කාලය සඳහා වැටුප් ලබා දෙන්න පියවර ගන්න. ඒ සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න.

චන්දිම වීරක්කොඩි මහතා – ඇල්පිටියේ ඡන්දය කල් ගියේ අධිකරණ තීන්දුවක් නිසා. නමුත් පළාත් පාලන මැතිවරණය කල් ගියේ ආණ්ඩුවේ තීරණයක් නිසායි. ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන් දැන් දැඩි අසාධාරණයකට පත් වෙලා ඉන්නවා.

රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා- ඒ රාජ්‍ය නිලධාරියා සේවය කළ කොට්ඨාසයෙන් පිට තැනකට දාලා. රාජකාරිය අතරතුර දේශපාලනය කරන්නේ නෑ කියලා දිව්රුම් ප්‍රකාශයක් අරගෙන මේ කටයුත්ත ක්‍රියාත්මක කරන්න අපි නීතිපති උපදෙස් ඉල්ලා තිබෙනවා.

එස්.බී. දිසානායක මහතා- කිසි ප්‍රශ්නයක් නෑ මේ අයට පඩි දෙන්න පුළුවන්. මීට පෙරත් එහෙම දෙයක් වුණා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment