පුංචි ඡන්දය…

249

අපි සූදානම් – පොහොට්ටුව
වියදම වැඩියි – ආණ්ඩුව
සියල්ල හරි – කොමිසම
ආණ්ඩුව බයයි -විපක්ෂය

පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වෙන්නට පටන් ගැනීමත් සමගම රටේ දේශපාලනය තුළ ලොකු පරිවර්තනයක් ඇතිවිය. ඒ පිළිබඳ ලොකු කතා බහක් ද ඇති විය. පසුගිය සතිය පුරාම දේශපාලන කරලියේ අපට අහන්නට ලැබුණේ පුංචි ඡන්දය ගැන කතා බස්ය..

පුංචි ඡන්දය ගැන කතා කරනවිට ඒ සම්බන්ධයෙන් ඇති සියලුම ප්‍රශ්නේ ඇති සියලුම ප්‍රශ්නවලට පිලිතුරු දිය හැකි පුද්ගලයා වූයේ මැතිවරණ කොමසාරිස්ය. මැතිවරණ කොමසාරිස් පුංචි ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පසුගිය සතියේ විශේෂ අදහසක් පළ කර තිබිණි. කවුරු ඒ ගැන මොන මොනවා කීවත් මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පළ කළ කරුණු ආණ්ඩුවේ නිල අදහස ලෙස අපට පිලිගත හැකිය.

“දැනට තියන පළාත් පාලන ආයතනවල ආයු කාලය පළාත් සභා පනතට අනුව ලබන වසරේ මාර්තු 19 වන දායින් අවසන්. පනතට අනුව එදා වෙනකොට අපි අලුත් පළාත් පාලන ආයතන සඳහා සභිකයන් තෝරා ගැනීම අවසන් වෙලා තියෙන්න ඕන.

හැබැයි ඉතින් පහුගිය කාලේ තිබුණු විවිධ අභියෝග නිසා අපිට ඒ ඉලක්කයට ළඟට එන්න බැරි වුණා.

ඒ සඳහා මුලින්ම අපට 2022 වසර සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනය සාධාරණයම කරන්න ඕන. විවිධ දුෂ්කරතා යටතේ අපට පුළුවන් වුණා පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වෙනකොට ඒ නාම ලේඛනය හදලා අවසන් කරන්න. ඒකට අනුව ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට ඡන්දය දෙන්න අපේ රටේ 16,692,352 (එක්කෝටි හැට හය ලක්ෂ අනූ දෙදහස් තුන්සිය පනස් දෙදෙනෙක්) සුදුසුකම් ලබලා තියෙනවා.

ඊළඟට අපට තියෙන ප්‍රශ්නය තමයි සීමා නිර්ණය අවසන් කිරීම. හැබැයි ඉතින් මෙවර ඔය කියන කාල වකවානුවලට ඡන්දය පවත්වන්න සීමා නිර්ණය කිරීම අවසන් කිරීම ගැටලුවක් නෙවෙයි. දේශපාලන අධිකාරිය ඒ සඳහා මුදල් වෙන් කර දුන් වහාම අපිට පුළුවන් අපේ රාජකාරි වැඩකටයුතු අරඹන්න…”

● ඡනදයට වියදම කෝටිම දාහක්ලු…

සමන් රත්නායක මහතා කෙලින් නොකිව්වට ප්‍රශ්නය තිබුණේ එතැනය. අද වන විට ගණන් හදා ඇති පරිදි මේ තිබෙන සමාජ ආර්ථික තත්ත්වයන් යටතේ මැතිවරණයක් කිරීම සඳහා රජයට වැය වන මුදල පමණක් රුපියල් කෝටි 1000 ඉක්මවන බව කියයි. එහෙත් රජය ඒ අසීරු ඉලක්කය සපුරා ගන්නේ කෙසේද….

ඡන්දය ඉතා ඉක්මනින් ඉල්ලා සිටින දේශපාලන පක්ෂ බොහෝමයක නායකයෝ කතා නොකරන කාරණය එයයි. රජයක් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගද්දී වහාම ගත යුතුව ඇති මූලික තීන්දුව ද එයයි. මේ පිළිබඳව රජය අභ්‍යන්තරයේ මේ දිනවල ලොකු සාකච්ඡාවක් ඇති වී හිරවී තිබෙන්නේ ඡන්දයකට යන්නට නම් මේ සුවිසල් මුදල සොයාගන්නේ කෙසේද යන ප්‍රශ්නය මතයි….

එම තත්ත්වය එසේ තිබියදී අපට දැකගත හැකි වූයේ පුංචි ඡන්දය සඳහා දේශපාලන පක්ෂ වැඩ ආරම්භ කර ඇති ආකාරයයි. ඒ සඳහා වැඩිම සූදානමක් ඇති පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම වෙලාවක ඡන්දයකට සූදානම් බව කියයි. එහෙත් විපක්ෂය ඔවුන්ට චෝදනා කළේ ආණ්ඩුව ඡන්දයකට බයයි කියාය…

තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තයේ සීතල කඳුකරය බලා පිටත්ව ගියේය…. ඔහු එම ගමන ආරම්භ කළේ පසුගිය 15 වැනිදාය.

ජනාධිපති රනිල් මුලින්ම සහභාගි වූයේ බදුල්ලේ දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමටය. පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති මෙම රැස්වීමට බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ සියලු දෙනා මෙන්ම දිසාපති ප්‍රමුඛ දිස්ත්‍රික් නිලධාරීන්ද සහභාගි වී සිටියහ. පළාතේ සංවර්ධන කටයුතුවලට වගකිවයුතු කෘෂිකර්ම, වන සම්පත්, වාරිමාර්ග, ගොවිජන සේවා, ඉඩම්, නාගරික සංවර්ධන හා මංමාවත්, සංචාරක, විදුලි හා වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රවල ආයතන ප්‍රධානීන් ද මේ සඳහා පැමිණ සිටියහ.

ජනාධිපතිවරයා මෙහිදී විමසා සිටියේ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ගැන වුවත් අවසානයේ ඒ සියලු ප්‍රශ්න පැමිණ එක තැනක සිර වුණි. ඒ වූ කලී සංවර්ධන කටයුතු සඳහා මුදල් හිඟයයි.

ජනාධිපතිවරයා වෙනුවෙන් එදා දිවා ආහාරය සූදානම් වූයේ ඌව ආණ්ඩුකාර මුසම්මිල් මහතාගේ නිල නිවසේය.

හවස ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂවල නියෝජිතයන් ගේ රැස්වීමක් පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්විණි. දේශපාලඥයන්ගේ රැස්වීම එදා උදේ පැවති නිලධාරීන්ගේ රැස්වීම මෙන් දැඩි තීන්දු මත ඇදීගිය එකක් නොවීය. ජනාධිපතිවරයා විහිළුවෙන් තහළුවෙන් සැහැල්ලුවෙන් දේශපාලනඥයෝ සමග කතා කළේය…

“අපි පොහොට්ටුකාරයෝ. අපිට ඔබතුමාට ඡන්දයක් දෙන්න වෙලා නෑ. හැබැයි ඉතින් අපි පරක්කු වෙන්නේ නැතුව ඔබතුමාව මීට කලින් නායකත්වයට ගෙනල්ලා තිබුණනම් අද අපේ රට මීට වඩා හොඳ තැනක..” බණ්ඩාරවෙල නගර සභාවේ මන්ත්‍රීවරයෙක් එසේ කීවේය.

කැලෑබද ප්‍රදේශවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු තමන්ට තිබෙන ප්‍රශ්න කීහ. ඇතැම් නිලධාරීන් රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ගැන වැරදි තොරතුරු හුවා දක්වා රටේ දුප්පත්ම ප්‍රාදේශීය සභා කොට්ඨාසය බවට පත්කර ඇතැයි මන්ත්‍රීවරු මැසිවිලි නැඟූහ…”

“අපේ පැත්තට නම් සර් හැමදාම තිබුණේ වල් අලින්ගෙන් කරදර…”

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් එසේ කියන විට රනිල් විහිළුවක් කරමින් මෙසේ කීවේය…

“වල් අලි ප්‍රශ්න මට නෑ… මගෙ ළඟ ඉන්නේ හොඳ අලි ටිකක් විතරයි. වල් අලි ටික ඔක්කොම දැන් වෙන තැනක” ඔහු නොකියා කීවේ නරක අය ඔක්කොම දැන් ඉන්නේ සජිත් ළඟ බවයි…

මේ රැස්වීමට නිමල් සිරිපාල, චාමර සම්පත්, තිස්ස කුට්ටිආරච්චි, හරින් ප්‍රනාන්දු ඇතුළු පාර්ලිමේන්තු හිටපු පළාත් සභා හා ප්‍රාදේශීය සභා දේශපාලනඥයෝ විශාල පිරිසක් පැමිණ සිටියහ.

මේ සියලු රැස්වීම් අවසන් වී තේ පානයෙන් පසුව රනිල් දියතලාව බලා පිටත්ව ගියේ රාත්‍රි නවාතැන් ගැනීමටයි. දියතලාවේ ඔවුන්ගේ පවුලට අයත් ආකේඩියා බංගලාව කඳුකරයේ තිබෙන රනිල්ගේ ප්‍රියතම නවාතැන විය.

ජනාධිපති රනිල්ගේ විස්තරවලට අනුව ඔහු කුඩා අත දරුවාගේ කාලයේ පටන් කඳුකරයට පැමිණ ඇති අතර බොහෝ විට එම ගමන්වලදී නවාතැන් ගත්තේ මේ බංගලාවේ ය. ඒ නිසා කඳුකර ස්වාභාවික පරිසරයට ඔහු බොහෝ සේ ඇලුම් කළේය. පරිසර සුන්දරත්වය විනාශ වන ගොඩනැඟිලි තැනීම හා භූවිෂමතාවය වෙනස් කිරීම ඔහුට අප්‍රිය අමනාප කාරණාවන් විය.

දින දෙකක්ම දියතලාව යුද හමුදා අභ්‍යාස විද්‍යාලයේ හා පුහුණු ඇකඩමියේ ඉස්ලාම් හා විවිධ උත්සවවලට සහභාගි වීමට සිදුවීම මේ බදුලු ගමන ප්‍රධානතම හේතුව විය. මේ නිසා 16 17 දින දෙක ද ඔහු සිටියේ දියතලාවේය. ඒ අතරතුර බණ්ඩාරවෙල හා ඇල්ල පුරවරයේ සංචාරක කර්මාන්තයේ වර්තමාන තත්ත්වය ගැන හොයා බලන්නට ඔහු අමතක කළේ නැත.

මුලින්ම සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යාපාරිකයන්ගේ හමුවක් හරින් විසින් සූදානම් කර තිබිණි. ඊට සහභාගි වන්නට පෙර රනිල් ඇල්ල නගරයට ගියේ ය. නගරයේ ඔබ මොබ ඇවිදිමින් නිදහසේ එහි මේ දිනවල නිරතුරුව සැරිසරන සංචාරකයන් සමග කතාබස් කළේ ය. ඇත්තෙන්ම සමහර සංචාරකයන් මේ සිටින්නේ රටේ ජනාධිපතිවරයා ද කියා දැන සිටියේ ද නැත. එක් තැනකදී රනිල් ඇල්ල ප්‍රදේශයේ විශේෂත්වය හා පෞරාණික වටිනාකම් ගැන පැහැදිලි කිරීමක් කළේ රාවණා යුගය ගැන ද කරුණු සඳහන් කරමිනි.

● ජනපති රනිල්ගේ පරිසර ප්‍රේමය….

ඉන් අනතුරුව පැවති ව්‍යාපාරික හමුවේ දී රජයෙන් කිසි උදව්වක් නොමැතිව ව්‍යාපාරිකයන් විසින් ඉදිරිපත් වී ඇල්ල ප්‍රදේශයේ ඇති කරගෙන තියෙන ප්‍රගතිය ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළේය. ඒ අතර ඔහුගේ අප්‍රසාදය යොමුවූ කාරණාවක්ද විය.

ඒ වූ කලී කඳුකරේ හරිත පැහැයට හා මනරම් භූමි දර්ශනවලට අවහිරයක් වන පරිදි ඉදි කර තිබෙන හෝටල් ස්මාරක ගොඩනැඟිලි වැනි ඉදිකිරීම් ගැනය…

ඔහු තේ පෝච්චියක ආකාරයෙන් ඉදිකර ඇති ගොඩනැඟිල්ලක් ගැන ප්‍රශ්න කළේ ය. එය තේ හා සංචාරක කර්මාන්තය පිළිබඳ කෞතුකාගාරයක් බව නිලධාරීන් කීහ…

“පරිසරයේ ලස්සන වෙනස් වන පරිදි ඕවා ඉදි කරල මොනවද ඔබලා බලාපොරොත්තු වන සංචාරක ප්‍රවර්ධනය.. පුංචි කාලේ ඉඳලා මම මේ පරිසරයට එන්නෙ මේ පැත්තෙ තියෙන ස්වභාවික සෞන්දර්ය බලන්න. කරුණාකරලා මට ආයෙත් මෙහෙ එන්න එපා කරවන්න එපා. මම නෑ කිව්වොත් නෑ තමයි.” නිලධාරීන්ට කට උත්තර නැති කරමින් ජනාධිපතිවරයා කීවේය…

ජනාධිපති යළි කොළඹට ආවේ ඉරිදා උදයේය. දියතලාවේ සිට කෙලින්ම කොළඹට එන්නට තරම් අහසේ වලාකුළු තත්ත්වය පැහැදිළි නොවූ බැවින් ඇල්ල හරහා වැල්ලවායට පැමිණ හෙලිකොප්ටරයට ගොඩවූයේ වැල්ලවායෙනි.

● යාලුවෝ දෙන්නෙක් නුවරදී හමුවෙලා….

පසුගිය සති අන්තයේ එක්තරා විශේෂ උත්සවයකට මහනුවර ගැටඹේ විහාරස්ථානයට ගිය අගමැති දිනේෂ්ට එහිදී හිටපු ජනාධිපති මහින්ද හමුවිය. මේ දෙදෙනාම එකම උත්සවයේ ආරාධිතයෝ වූහ.

ගැටඹේ පන්සලේ විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන්ට අනුනායක පදවියට අදාළ සන්නස්පත ප්‍රදානය කිරීම සඳහා සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී අග්‍රමාත්‍යවරයා අසලම ආසනය හිමිවූයේ මහින්ද රාජපක්ෂ මහතාටයි. මේ නිසා උත්සවය අතරතුර දෙදෙනා සුහද කතාබහක නිරතව සිටියහ.

“මතකනෙ එදා ගැටඹේ සිද්ධිය” අග්‍රාමාත්‍යවරයා ඇසීය.

“ඒකනේ, ඒකනේ. ඒවා ඉතිහාසගත වුණු සිද්ධි”

එකල ත්‍රස්තවාදයට හා පැවති පාලනයට එරෙහිව හිටපු විහාරාධිපති ලබුදූවේ නාහිමියන් දැඩි අදහස් දැක්වීය.

අවසානයේ ගැටඹේ රාජෝපවනාරාමය දෙකඩ වන සේ බෙදා විහාරස්ථානය මැදින් කටු කම්බි ගසා යුද හමුදාව යටතට එහි පාලනය භාරදුන්නේය. මේ සිද්ධීන් මතක් කරමින් දෙදෙනා කතා බහ කරමින් සිටියහ.

එදා ජේ. ආර්. සිදුකළ ඒ ශාසන විරෝධී කටයුතුවලට එරෙහිව එදා ගැටඹේ විහාරාධිපති සමඟ එක්ව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු පෙරමුණේ අරගල කළ ආකාරය අද බොහෝ දෙනකුට අමතක බව මහින්ද මහතා පෙන්වා දුන්නේය.

දෙදෙනා පැරණි මතක සිහිපත් කළේ උත්සව භූමියක සිටින බවද අමතක වූවාක් මෙනි.

● අරගලකරුවන්ට ප්‍රසන්න කියයි…

ප්‍රසන්න රණතුංග පසුගිය ඉරිදා මිනුවන්ගොඩ නගරයට බැස්සේය. සැබැවින්ම ඔහු මිනුවන්ගොඩ තම පවුලේ මහගෙදර අරගලකරුවන් විසින් ගිනි තිව්වාට පසු නගරය පැත්තට ගොස් තිබුණේම නැත. එහෙත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ කඩ සාප්පු කිහිපයක් විවෘත කරන්නට හා පාසුල් ළමුන්ට පොත් බෙදාදීමකට ඔහුට නගරයට යන්නට වුවමනාම විය. නගරයේ තැන්

ගණනාවකටම ගිය ඔහු වනවදුල නම් තැන උත්සවයට ගොස් වට පිටේ සෙනඟ සමග කතාබස් කරමින් සිටියේය…

වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ සුබ නැකත උදාවනතුරු මෙසේ සිටින අවස්ථාවේදී මිනුවන්ගොඩ පන්සලේ සීලරතන හිමි සමඟ තරුණයන් සිව් දෙනකු පැමිණියේ වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික ස්ථානයක් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

“මට මල්ලිලා දැකල පුරුදුයි. අරගලයේ හිටිය නේද?” යනුවෙන් ඇමැති ප්‍රසන්න තරුණයන්ගෙන් විමසීය. තරුණයන්ට කට උත්තර නැතිවූහ….

“අපි දන්නෙ නැතුව ඒවට ගියා සර්” ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් අන්දමන්ද වූ එක තරුණයකු කීය.

“ඔය අරගල කළේ කවුද කියල අපි දන්නවනේ මල්ලි. ඕගෝල්ලොත් හොයන්නෙ බලන්නෙ නැතුව ඒ වැරදි වැඩේම කළා.” ඇමැතිවරයා පැවසුවේ තරමක දැඩි හඬිනි.

“අපිට වැරැද්ද තේරෙනව සර්.” තවත් තරුණයකු කීය.

“ඕවයි හිටියේ අයිස් ගහන එවුන්, කුඩුකාරයො, ගණිකාවොයි. ඔයගොල්ල ඒවට අහුවුණා. ඕවට සම්බන්ධ අය ඉන්නවනම් පොලිසියට කියන්න කවුද කතාකරන්න ගියේ කියලා” යනුවෙන් ඇමැතිවරයා පැවසීය.

ඇමැතිවරයාගේ මේ කතාව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ පළවීමත් සමඟ සමාජයේ බොහෝ දෙනකුගේ අවධානය ඒ වෙත යොමුවිය. එමෙන්ම ඇමැති ප්‍රසන්න ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ලවන්නද විය.

මේ පුවත දුටු අගමැති දිනේෂ් ගුණවර්ධන ඇමැති ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ගත්තේය.

“මේ සෝෂල් මීඩියාවලින් ඔයාට හොඳටම ගහන්නෙ මොකද ප්‍රසන්න”

අගමැතිවරයා විමසීය.

“මේ අරගලයෙ හිටපු තරුණයෝ හතර දෙනෙක් ටවුමෙදි මුනගැහුණා. මම ඒ අය එක්ක කතා කළා” ඇමැති ප්‍රසන්න සිද්ධිය පැහැදිලි කළේය.

“ඒක හොඳ වැඩක්. කොහොමද ඒ අය අඳුන ගත්තේ” ඒ අගමැතිවරයායි.

“මිනුවන්ගොඩ මගේ ගමනේ සර්. මම මේකෙ අස්සක් මුල්ලක් නෑර දන්නවා. මේ අය මම ඉස්සර ඉඳන් දන්නවා. මාව හමුවෙන්න ආවේ කඩයක් ගැන කතා කරන්න.” ඇමැතිවරයා සිනාසෙමින් කීය.

“ඔයා ඉතිං කොහොමත් කෙලින් කතා කරන මිනිහනේ.” අගමැතිවරයාද සිනාසෙමින්ම පැවසීය.

● ඩී. එස්. සෙවණ යට කැරොල් ආඩම්බරේ

ජනාධිපති සිය සිව්දින උඩරට සංචාරය නිමවා කොළඹ පැමිණ සිය උපදේශකයකු වන එරික් සෝල්හයිම් පවුල් හරින් සමඟ කෙටි සාකච්ඡාවක නිරතව සිටියේය…

ඒ අතරතුර ඔහුට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබිණි. ඒවායින් කියැවුණේ හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා යුද හමුදාව හා පොලිසිය එක්ව සංවිධානය කරන ලද විශේෂ නත්තල් කලාපය විවෘත කිරීමට එදින හවස ජනාධිපතිවරයාගේ පැමිණීම අපේක්ෂා කරන බවයි.

ගමන් වෙහෙස නොබලා ඊට ද සහභාගි වන්නට ජනාධිපතිවරයා කැමැත්ත දුන්නේය.

ඒ අනුව එදින හවස ජනාධිපති රනිල් එතැනට යන විට හරින් මනූෂ හා හමුදාවේ ඉහළ නිලධාරීන්ද පැමිණ ජනාධිපතිවරයා එනතුරු බලා සිටියහ.

එදා අරගල භූමිය නිසා විනාශ වී තිබුණු බිමේ හරින් ඉතා අලංකාර ලෙස විශේෂ නත්තල් කලාපයක් සැලසුම් කර තිබීම ගැන සතුටින් ජනාධිපතිවරයා මෙසේ කීවේය.

“කාලයක් කට්ටිය මෙතනට එකතු වෙලා මොන මොන විකාර කළාද. අරගලේ කරන්න කියලා හිටපු ජනාධිපති දීලා තිබුණ භූමිය විනාශ කරල දැම්මා. ඒ වුණාට අද මෙතැන මොනතරම් ලස්සනද…”

“හරිනම් එදා කුරුස කරතියාගෙන ආපු නළුවෝ මෙන්න මෙතෙන්ට එන්න තිබුණේ…” තවත් කවුද කීවේය.

ඒ අතරතුර ජනාධිපති රනිල් හමුදාව සංවිධානය කර තිබූ කැරොල් ගී ප්‍රසංගය නරඹන්නට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට එළිමහන් බිමේ සූදානම් කර තිබූ අසුනක වාඩි වූයේය…

“ඩී. එස්. සේනානායකගේ පිළිරුවක් යට ඉඳන් සර් කැරොල් බලන්නයි ලෑස්තිය එහෙනම්.” තම දරුවන්ද සමඟ එතනට පැමිණ සිටි මනූෂ එසේ කියමින් ජනාධිපතිවරයාට විහිලුවක් කළේය…

“අපේ පක්ෂයේ නිර්මාතෘතුගේ සෙවණ යට ඉඳන් කැරොල් බලන එකත් මට භාග්‍යයක්….” අවට සිටි අය ඊට හඬනඟා සිනාසෙන්නට වූහ.

“අපි මේ නත්තල සමරන්න සුදුසු පරිසරයක් රටේ ජනතාවට ලබා දුන්නේ ලොකු සටනක් කරලා. විවිධ බාධා මැද්දේ… තවමත් හුඟක් අය උත්සහ කරන්නේ මේ වගේ ජනතාව නිදහසේ සමරන උත්සව නැති කරලා අපේ කලබලකාරී පරිසරයක් නිර්මාණය කරන්න…” රනිල් කීවේය.

“සර්ට ස්තුතියි සර්… අවුරුදු දෙකක්ම අපේ අයට නත්තල් සමරන්න ඉඩකඩක් ලැබුණේ නෑ. මගෙන් ව්‍යාපාරිකයෝයි සංචාරක ක්ෂේත්‍රයේ අයයි ඉල්ලුවේ නත්තලට අවශ්‍ය වටපිටාව සලසලා දෙන්න කියලායි. මේ වගේ වැඩවලින් සංචාරකයන්ගේ ආකර්ෂණයත් යොමු වෙනවා..

කතාබස් මැද ඔවුන් කැරොල් ගී ප්‍රසංගය නැරඹූහ. කැරොල් ගී ජනාධිපති කාර්යාලයේ පඩිපෙළ මත සකසන ලද අලංකාර පීඨිකාවක යුද හමුදා තූර්ය වාදක හා සංගීත කණ්ඩායම් විසින් පවත්වනු ලැබූහ.

● ෆොනීගේ නොසතුට කතාවෙන් පැන්නාද….

මේ අතර සමගි ජනබලවේගයේ නායකත්වය ද ලොකු පිබිදීමක් දක්නට ලැබිණි. දෙවන සංවත්සරය මහ ඉහළින් පවත්වා පක්ෂ වැඩකටයුතු කරන සියලුම දෙනාට අලුත් තනතුරු ලබා දීමෙන් පසුව පක්ෂයේ දේශපාලන ප්‍රවර්ධන වැඩකටයුතු වල යම් ප්‍රගතියක් දක්නට සජිත් ප්‍රේමදාස ට හැකිවිය.

ඒ අතරතුර සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පක්ෂයෙහි නායකයො ටික මේ සති අන්තයේ අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශවල ප්‍රවර්ධන කටයුතු සඳහා සහභාගි වන්නට ගොස් සිටියහ.සමගි ජනබලවේගයේ සභාපති තනතුර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලැබුණාට එයින් ඔහු සතුටු වූයේ ද යන කාරණාව අවිනිශ්චිත විය.

පසුගිය සතියේ ඔහු පැවැත්වූ පුවත්පත් සාකච්ඡාව ද ඊට හේතුවක් විය.

වෙනම හා තනිවම පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ රටේ දේශපාලනයට දැඩි විවේචනයක් ගෙන ආවේය. එහිදී යළිත් වතාවක් ඔහු දේශපාලනඥයෝ පිළිබඳ සිය විවේචනය ගෙනාවේය. එදා එය සම්මේලනයේදී ද ඔහු ඉදිරිපත් කර තිබිණි.

ඔහු කීවේ සියලුම දේශපාලනඥයෝ සියයට 50ක් දූෂිතයි කියාය. ඉතිරි දේශපාලඥයන්ගෙන් 35% කට වැඩ බෑ කියා කීවේය. උරුමයෙන් වත් උගත්කමින් වත් දේශපාලඥයෝ හැදෙන්නේ නැති බව කීවේය. වැඩ කරන්න පුළුවන් හැඟීමක් ඇති සැබෑ දක්ෂ දේශපාලනඥයෝ ඉන්නේ 12% ක් සියයට දොළහක් පහළොවක් අතර පිරිසක් බව පෙන්වා දුන් ෆොන්සේකා මීළඟ ආණ්ඩුව සෑදිය යුත්තේ අරගලකරුවන් සමග මේ පිරිස එකතු වී බව පැහැදිලිවම ප්‍රකාශ කළේය.

රාජිත සේනාරත්න ඇතුළු සජබයේ කිහිප දෙනෙක් කොයිවෙලේ ආණ්ඩුවට ගොස් ඇමැතිකම් භාර ගනී ද කියා සැකයක් මේ වන විට සමාජය තුළ නිර්මාණය වී අවසන්ය. ඒ ගැන කිසිවක් නොකියා මුනිවත රැකි මෙන්ම සජිත් ප්‍රේමදාස සිටින්නේ ද එම සැකය පෙරදැරිව බව පැහැදිලි විය.

එසේ නම් දේශපාලනයේ තවත් නොකී කථා රැසක් හෙට අනිද්දාට හෙළිදරව් වන්නට නියමිතය.

● මෛත්‍රීපාල සිරිසේන සතියක් පුලතිසිපුර…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන පසුගිය සතියෙම පොළොන්නරුවට වී දේශපාලන කටයුතුවල නිරතව සිටියේය.

ඒ අතර ඔහු සජිත් ප්‍රේමදාසලගෙ උත්සවයකටද සහභාගි විය. පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයේ පසුගියදා පැවති බස් රථයක් ප්‍රදානය කළ උත්සවයකට ද ඔහු ආරාධිතයකු ලෙස සහභාගි වූ බව මාධ්‍යවලට හෙළිදරව් විය.

පොළොන්නරු යන්නට ප්‍රථම ඔහු පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට අදාළ තීන්දු තීරණ කිහිපයක් ගත්තේය. ඒ අතර එකක් වූයේ එතෙක් කලක් ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු සහයක ලෙස කටයුතු කළ මියුරු භාෂණ ලියනගේව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කිරීමයි.

ඒ අනුව පසුගිය 26 වැනිදා මියුරු භාෂණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ භාර ගන්නට ගියේය. ඒ අවස්ථාවන්ට ශාන් විජේලාල් ඇතුළු දේශපාලනඥයෝ කීප දෙනකුද සහභාගි වී සිටි අතර පක්ෂය මාධ්‍ය ප්‍රධානී තිසර ගුණසිංහ ද සහභාගි වී සිටියේය …

ඒ අවස්ථාවේ පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන දුරකථයෙන් ඔවුන් දෙදෙනාටම කතා කළේය… දවසක් ඇර දවසක් නිසැකවම පක්ෂ කාර්යාලයට වී කාර්ය කටයුතු බලා ගනිමින් එන යන අය හා කතාබස් කරමින් සම්බන්ධතාවය ගොඩනඟා ගන්නයි ඔවුන්ට උපදෙස් දුන්නේය…

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීප ව්‍යාප්තව පක්ෂයේ කටයුතු ආරම්භ කරන බව පැහැදිලි විය.

● ලැජ්ජ හිතෙන වැඩක් මෙන්න…

පසුගිය සතියේ මනුෂ නානායක්කාර ඇමැතිවරයා හමුවීමට ඕමාන තානාපති පැමිණියේය. ඒ ආවේ ඕමාන තානාපති කාර්යලය ගැන මෙරට මාධ්‍යවල පළව තිබුණු වාර්තා ගැන ඇමැතිවරයාගේ අවධානය යොමු කිරීම සඳහාය.

‘පහුගිය කාලයේ ඕමානයේ දී වූ සිදුවීම් සම්බන්ධයෙන් ඔයාලගේ මාධ්‍ය වාර්තා කර තිබුණේ ඕමාන තානාපති කාර්යාලය යන නමින්නේ. මේ නිසා බොහෝ දෙනෙක් ඕමාන තානාපති කාර්යාලය දිහා වපර ඇහෙන් බලන්න ගත්තා. ඒකෙන් අපේ තානාපති කාර්යාලයට විතරක් නෙවෙයි අපේ රටටත් සිද්ධ වුණේ ලොකු අපහසුතාවයක්, මනුෂ හමුවුණු මොහොතේ ඕමාන තානාපතිවරයා කනගාටුවෙන් කීවේය.

“අනේ මං අපේ මාධ්‍ය ඒ ගැන කිව්ව විදිය ගැන බොහොම කනගාටු වෙනවා. ඒක ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදියට තමයි කියවෙන්න ඕනෑ” මනුෂ කීය.

මේ අතර මනුෂ මාතෘකාව ඕමානයට එන්න ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පැත්තට මාරු කළේය.

ඕමාන තානාපතිවරයාත් බොහොම උනන්දුවෙන් ඒ ගැන අසා සිටියේය. ඊට පස්සේ එක පාරටම මනුෂ ඇමැතිවරයාට ප්‍රශ්නයක් යොමු කළේය.

“ඇමැතිතුමා… ඔයාලගේ ඔය ඉන්න ශ්‍රමිකයන් ඔයාලගේ වෙබ් එකට ගිහින් අපේ රටේ කම්පැණිවලට තෝරා ගෙන බඳවා ගන්න පුළුවන් ද?”

“හපොයි පුළුවන් තානාපතිතුමනි…. ඇමැතිවරයා කීය.

“ඒ කියන්නේ අපේ මෑන් පවර් ආයතනවලට හරි කම්පැණිවලට හරි වෙබ් එකෙන් අයැදුම්කරුවන් තෝරාගෙන සුදුසුකම් ටික පරීක්ෂා කරලා ඍජුවම බඳවා ගන්න පුළුවන් නේ ද?“තානාපති නැවත ඇසීය.

“ඒක නම් වෙන්නේ මෙහෙමයි තානාපතිතුමා, ඕමානේ තියෙන ආයතනයකට අපේ ශ්‍රමිකයෙක් කෙළින්ම බඳවා ගන්නවා නම් ඒ ජොබ් ඕඩර් එක අරගෙන තානාපති කාර්යාලයට එන්න ඕනෑ. ඊට පස්සේ ඒක තානාපති කාර්යාලයෙන් අනුමත කරගන්න ඕනෑ. ඒකට නම් ඉතිං එන්නම වෙනවා”

“ඒ කියන්නේ ඔයාලගේ විදේශ රැකියාවලට ශ්‍රමිකයන් යොමුකරන වැඩපිළිවෙළ තාමත් ඩිජිටල් වෙලා නැහැ….” ඕමාන තානාපතිවරයා අහද්දී මනුෂ හිනා වෙලා නිකං හිටියා.

තානාපතිවරයා ගිය ගමන් මනුෂ තමන්ගේ නිලධාරීන්ට කතා කළේය.

“බලන්න, ඔයාලා නිසා මට වස ලැජ්ජාවක්නේ වුණේ. ඇයි මේවා තාම ඩිජිටල් වුණේ නැත්තේ? ඇයි මේවා තාම ඩිජිටල් කර ගන්න බැරි වුණේ? ලෝකය එක්ක අපි කොතනද ඉන්නේ බලන්න?”

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment