පුංචි ඡන්දය ඈවරයි! දෑවරයි!! තුන් ඈවරයි!!!

152

2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවල උද්ගතව තිබෙන ආන්දෝලනාත්මක ප්‍රතිචාර මෙන්ම සංවාද, සම්මන්ත්‍රණ සියල්ල තවදුරටත් සිදුකරගෙන යෑමට අදාළ සියලුම පාර්ශ්වවලට හැකිවී තිබේ. එයට මූලික හේතුව වන්නේ ඉකුත් 23 වැනිදා ඒ සම්බන්ධ විරෝධතා පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් නොවීම නිසා ය. එදින රැස්වූ විනිසුරු මණ්ඩලය විසින් සඳහන් කරන ලද්දේ එම පෙත්සම් විභාගය ලබන මැයි 11 වැනි දින සිදුකෙරෙන බවය. බොහෝ දෙනෙක් අපේක්‍ෂා කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සිදුවිය හැකි දේශපාලන වෙනසකින් සමාරම්භයක් සිදුවිය හැකි බවය. මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ජනාධිපති රනිල් බාධා කරන බවට විවෘත චෝදනාවක් ද ඇත. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දිගින් දිගට ම පෙනී සිටියේ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි මාර්තු 09 වැනි දිනට එම මැතිවරණය පැවැත්විය යුතුය යන ස්ථාවරයෙහිය. එහෙත් එහිදී මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවාට ආණ්ඩුවේ සහාය හිමි නොවීමත් ඒ සඳහා මූල්‍යමය දුෂ්කරතා තිබෙන බව දැනුම් දීමත් බරපතළ උභතෝකෝටිකයක් විය.

ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මෙම මැතිවරණය පැවැත්වීමට සහාය නොදීමට හේතු වූයේ හුදු ආර්ථික දුෂ්කරතා පමණක් ද යන සැකය ජනතාව තුළ ද විය. විපක්‍ෂවල දේශපාලන ප්‍රතිචාර කෙතරම් උත්සන්න වුවද ආණ්ඩුව ඒවා බරපතළ දේවල් ලෙස නොසැලකූ බව පෙනුණි. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන පොහොට්ටුව හෙවත් පොදුජන පෙරමුණ වුවද මෙම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එතරම් උද්යෝගයක් නොදැක්වූ බවද රහසක් නොවේ. එහෙත් පොහොට්ටුව ජනතාව ඉදිරිපිට ක්‍රියා කළේ මැතිවරණය යනු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක අනිවාර්ය අංගයක් බවත් තම පක්‍ෂය ඒ සඳහා පෙනී සිටින බවත් තහවුරු වන ආකාරටය. ඒ අතර ම ආණ්ඩුවේ ඇමැතිවරුන් කීපදෙනෙක් විසින් ම සඳහන් කරන ලද්දේ රට ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන පසුබිමක ඡන්දයට වැය කරන මුදල් රටේ ප්‍රමුඛ කාර්ය සඳහා යෙදවිය යුතු බවය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පක්‍ෂව හා විපක්‍ෂව පාර්ශ්ව දෙකක් සිටී අතර මැතිවරණ ක්‍රියාවලිය අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම ද සුවිශේෂ සිදුවීමක් විය. විශ්‍රාමික හමුදා නිලධාරියකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින ලද්දේත් රට ආර්ථික වශයෙන් බරපතළ අනතුරක හිරවී සිටින අවස්ථාවක එලෙස මැතිවරණයක් පැවැත්වීම වළක්වන ලෙස ය. එසේම මැතිවරණයක් ඉල්ලමින් තවත් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ දී එම පෙත්සම කැඳවන ලද අතර එහිදී මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා විසින් ප්‍රකාශ කරන ලද්දේ නියමිත පරිදි මැතිවරණ ක්‍රියාදාමය සිදුවන බවය. ශ්‍රේෂ්ඨාධිකරණයට එහිදී නියෝගයක් ලබාදීමේ අවශ්‍යතාවක් පැන නැඟුණේ ද නැත. ඒ වනවිට තැපැල් ඡන්දය සඳහා ද දින නියමව තිබුණි.

පුංචි ඡන්දය ඈවරයි! දෑවරයි!! තුන් ඈවරයි!!!

මේ සියලු කරුණු පෙළ ගැස්වීමේ දී මැතිවරණය පැවැත්වෙනු ඇතැයි යන නිගමනයට එළැඹීමට ද හැකිය. එහෙත් ඒ ක්‍රියාදාමය යටින් දියත් වූ තවත් මෙහෙයුමක් ද විය. මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා ගල් වූයේ එතැන් සිට ය. ඇත්තට ම මෙම ක්‍රියාදාමය ආරම්භයේ සිට ම පුංචිහේවාගේ කාර්ය භාරයට ආණ්ඩුවේ අභ්‍යන්තර බලවේගයක් හරස් වූ බව පෙනුණි. ඔහුගේ කොමිසමේ සාමාජිකයන්ට මැර තර්ජන ලැබීම, බිය වැද්දීම වැනි නින්දිත මෙහෙයුම් ද සිදුවිය. එහෙත් ඊට වඩා තීරණාත්මක වූයේ මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු අත්හිටුවීමට රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් ගන්නා ලද තීරණයයි. මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ගත් එම තීරණයත් සමග ම තැපැල් ඡන්දය අවලංගු කිරීමට සිදුවිය. ඇගේ එම තීරණය පසුපස ජනාධිපති රනිල් සිටී බව ද විපක්‍ෂවල චෝදනාව විය.

මෙරටේ පැවැති හැම මැතිවරණ ක්‍රියාවලියකදීම රජයේ මුද්‍රණාලය, මහා භාණ්ඩාගාරය, පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදිය අනුගමනය කළ සාමාන්‍ය පිළිවෙතට පටහැනිව ඒ ඒ ආයතන මැතිවරණ ක්‍රියාදාමයට සහාය නොදීම සම්බන්ධයෙන් ආණ්ඩුවට දිය හැකි සදාචාරාත්මක පිළිතුරක් නොවීය. ජනාධිපතිවරයාගේ විශේෂ චක්‍ර ලේඛය නිකුත් වූයේ ඒ අදාළ අංශවල නිලධාරීන්ගේ ගැලවීම සඳහා බව පෙනුණි. විපක්‍ෂ වේදිකාවල මේ ක්‍රියාදාමය දැඩි විවේචනයට ද ලක්විය. විපක්‍ෂ නායක සජිත් ඍජුව ප්‍රශ්න කළේ රජයේ මුද්‍රණාලයාධිපති, මුදල් ලේකම්, මැතිවරණ කොමිසමේ සභාපති යන සියලුම තනතුරු දරන්නේ ජනාධිපතිවරයා දැයි යනුවෙනි. ජනාධිපති රනිල් විසින් ගංගානි ලියනගේ හා මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන ජනාධිපති කාර්යාලයට කැඳවන ලද බවත්, ඔවුන්ට මේ කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා නොදෙන ලෙස උපදෙස් දෙන ලද බවත් ජවිපෙ අනුර කුමාර ඔහුගේ මැතිවරණ ප්‍රචාරක රැළිවල උත්ප්‍රාසයකින් දැක්වූ අයුරු ද අපට මතකය. ජනාධිපතිගේ මෙම ප්‍රතිචාරය නිදහස් ජනතා සන්ධානයේ ඩලස් අලහප්පෙරුම විසින් හඳුන්වන ලද්දේ ‘මැච් එකක් දිනා ගැනීමට බැරි වූ පිලේ අයෙක් බෝලය’ සැඟවීමක් ලෙස ය. ජනාධිපති රනිල් මෙම මැතිවරණයට බාධා කිරීම පිළිබඳව මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම්, විපක්‍ෂවල ක්‍රියාකාරීන් මෙන්ම ආගමික නායකයන්ගේ ද දෝෂාරෝපණ එල්ල විය. නීතිඥ සංගමය ද ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසමට සහාය නොදීම දඬුවම් ලැබිය හැකි වරදක් බවය. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ මැතිවරණ කල් දැමීම හෝ අවලංගු කිරීම අතිශය බිහිසුණු මෙන්ම නරක පූර්වාදර්ශයක් ලබාදෙන බවය. කාදිනල් හිමියන් තුළ මෙම ආණ්ඩුව මෙන්ම ඊට පෙර සිටි පාලකන් ගැන ද දැඩි අප්‍රසාදයක් තිබෙන බව ද රහසක් නොවේ. නිදහසින් පසු මේ රට නිරයක් බවට පත් කළේ ඒ සියලුම නායකයන්ගේ අදූරදර්ශී දේශපාලන ක්‍රියාකාරකම් නිසා බව එහිමියෝ බොහෝවිට අවධාරණය කරති.

කෙසේ හෝ මෙම ක්‍රියාදාමය දෙස විමසිලිමත්ව බලන කවරෙකු තුළ වුවද ඇති වන්නේ අද රට තුළ තිබෙන දේශපාලන පරිහානිය මෙන්ම අපේ නායකයන්ගේ බලකාමී පොරය බව නිසැක ය. අද රාජ්‍ය නායකත්වය හොබවන රනිල්ට මේ විනාශයෙන් රට මුදා ගැනීමට වුවමනා දේශපාලන සහායක් ලැබේ ද යන්නත් සැක සහිතය. 1948න් පසු මේ රට මෙහෙයවූ සියලුම නායකයන් අද රටට සිදුව තිබෙන විනාශයට වග කිව යුතුය යන්න ඉතා සාධාරණ විවේචනයකි. මහජනතාවට සේවය කිරීම සඳහා බලය ඉල්ලන දේශපාලන පක්‍ෂ සැබැවින්ම ක්‍රියා කර ඇත්තේ තමන්ගේත් තම පක්‍ෂවලත් යහපත සඳහා ය.

1948න් පසු පාලන බලය හිමි කරගත් දේශීය ප්‍රභූවරුන්ට මේ රටට වුවමනා සමාජ දේශාලන ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අවශ්‍ය දර්ශනයක්, ප්‍රඥාවක් නොවූ බව ඉතා පැහැදිලිය. සර්වජන ඡන්ද ක්‍රමය පිළිබඳ දීර්ඝ අත්දැකීම් මේ රටේ ජනතාවට තිබුණි. සාක්‍ෂරතාව සෑහෙන මට්ටමක පැවැති අතර මැතිවරණයකින් සිදුවූ බල හුවමාරුව ගැන ද ඔව්හු දැන සිටියහ. එහෙත් ඒ ජනමනස කුමක් හෝ සටකපට ප්‍රයෝගයකින් දිනා ගැනීමට අපේ නායකයෝ සමත් වූහ. 1972 ජනරජ ව්‍යවස්ථාව 1956 ඇතිවූ සමාජ දේශපාලන පරිවර්තනයෙහි සාධනීය පියවරක් බව පිළිගනු ලැබේ. එහෙත් ඉනික්බිතිව සිදුවූයේ කුමක් ද? ඇත්ත වශයෙන් ම පනස්හයේ පෙරළිය මෙන්ම හැත්තෑවේ සංස්කෘතික සමාජ පිබිදීම තුළින් ජනතාව අපේක්‍ෂා කළ අභිනව දේශපාලන සමාජ ආර්ථික හා සංස්කෘතික පුනරෝදය ආපසු හැරවීමට විවිධ ජාත්‍යන්තර බලපෑම් පවා සිදුවිය. මෙරටේ සමාජ දේශපාලන පරිවර්ථනයට පදනම දැමූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ඝාතනයට ලක්වූ අතර අලුත් දේශපාලනයකට සාධනීය මාවතක් සැකසූ සිරිමාවන් සමග එක්ව සිටි වමේ කීර්තිමත් නායකයන් ඒ දේශපාලන ධාරාවෙන් ඉවත් කිරීම ද ඉබේ සිදුවූවක් විය නොහැක.

කෙසේ හෝ හැත්තෑවේ උද්ගත වූ දේශපාලන පසුබැසීම එහි අනතුරුදායක සමාජ ප්‍රතිචාර සියල්ල විසින් යළිත් රට ධනවාදී පාරිභෝගිකවාදය වෙතට තල්ලු කරන ලද ආකාරය ඉතා පැහැදිලිය. සමාජවාදී ලෝකයේ බිඳ වැටීම්වල කම්පනය ද මෙරටේ දේශපාලනය කෙරෙහි දැඩිව බලපාන්නක් විය. ලාංකික දේශපාලනයේ ධනවාදී කඳවුරට එතෙක් තමන් පසු බැස ගිය සියලු හේතු යටපත් කර ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට ද හැකි වූයේ කිසිවක් අපේක්‍ෂා නොකළ අයුරිනි.

මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම මෙන්ම එමගින් සුරක්‍ෂිත කරනු ලැබූ මානව හිමිකම්, නිදහස පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සියල්ලක්ම පාහේ අභියෝගයට ලක්වූයේ 1978 දී හඳුන්වා දෙන විධායක ආණ්ඩු ක්‍රමයක් සමග බව කවුරුත් දනිති. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ලෙස හැඳින්වුණු සියල්ල දේශපාලන පක්‍ෂයක පැවැත්ම සුරක්‍ෂිත කිරීම සඳහා භාවිත කරන ලද්දේ එම ක්‍රමය හඳුන්වාදෙන ලද ජේ. ආර්. ජයවර්ධන විසිනි. ජයවර්ධනගේ ව්‍යාජ පුරසාරම් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සියල්ල ඔහුගේ දේශපාලන ක්‍රමයේ පැවැත්මට අනුරූප විය. මේ ක්‍රමයට කෙබඳු විරෝධතා විවේචන සිදු වුවත් ඔහුගෙන් පසු එම ධුරයට පත්වූ සියල්ලන්ට ම අවශ්‍ය වූයේ එහි වරප්‍රසාද හා අධිපතිවාදී බලය රැක ගැනීමට පමණි. ජයවර්ධන සිය ප්‍රබල දේශපාලන ප්‍රතිවාදී නායිකාව වූ සිරිමාවන් සම්බන්ධයෙන් දැක්වූ ආකල්පය ඔහුගේ ගුප්ත මනස තුළ වූ දේශපාලන බලකාමය විශද කරන්නකි.

ජයවර්ධන විසින් මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ඇය පාර්ලිමේන්තුවෙන් නෙරපා දමන ලද ආකාරය ගැන කිසිවකුට එකඟ විය නොහැක. ජයවර්ධනගේ ක්‍රියාදාමය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන තරගයක සීමාවන් ඉක්මවා ගිය නිර්දය භාවයකට සාධාකයකැයි එදා නැඟුණු විවේචනය ඔහුගේ චරිත කතාවෙහි ද සඳහන් වේ. මේ පිළිබඳව එම සිද්ධියෙන් වසර කීපකට පසු ‘නිව් ඉන්ටර්නැෂනැලිස්ට් සඟරාව සමග කළ සාකච්ඡාවක දී ජයවර්ධන ඍජුව ම ප්‍රකාශ කළේ මැතිනිය සම්බන්ධයෙන් තමා ගත් පියවර නිවැරදි බවය. ‘මවිසින් ගන්නා ලද තීරණ හරි හෝ වැරදි විය හැකියි. එහෙත් දේශපාලනයේදී මෙන්ම යුද්ධයේදීත් උපක්‍රම නොයොදන කෙනකුට නායකයකු වෙන්න බෑ’ ජයවර්ධන දේශපාලන ව්‍යාපෘතිය වඩාත් සමීප වන්නේ මැකියාවේලිගේ කුමාරයා ඔයැ චරසබජැ සමග ය. මැකියාවේලි යනු නූතන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සමග ගැටෙන න්‍යායාචාර්යවරයෙකි. එහෙත් නායකයන් තම බලය උදෙසා ඒ අයහපත් උපදෙස් අනුගමනය කරන බව නො රහසකි.

ජයවර්ධන පාලනයෙහි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කෙබඳු විවේචන සිදු වුවත් ඔහු ඒ හැම කාර්යක දීම නීති රාමුව තුළ සිටී බවද පෙනී යයි. ඒ මානසිකත්වය ඔහුගෙන් පසු බලයට පත්වූ හැම ජනාධිපතිවයරකුට ම තිබුණි. අවසන් වරට පත්වූ ගෝඨාභය වුවද තම බලය නිසා ම බොහෝ අදූදරදර්ශී තීන්දු ගත් බව අද ඔහුගේම අනුගාමිකයෝ සඳහන් කරති. ඇත්තට ම ගෝඨාභය එදා කිසිවකුට සවන් නුදුන් බව ද කියති. ඔහුගේ හිතුවක්කාර බොළඳ ක්‍රියාකාරකම්වල බලය අද රටට ලැබී තිබෙන බව ද අප කිව යුතුය.

දැන් ජනාධිපති රනිල් ක්‍රියාකරන ආකාරය ද වඩාත් සමීප වන්නේ ජයවර්ධනගේ දේශපාලන ක්‍රියාන්විතයටම ය. ඔහු පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දැක්වූ සියලු ප්‍රතිචාර ඔහුගේම පිටපතක් අනුව සිදුවූවකි. එහෙත් ඔහු කිසිවක් තවරා ගත්තේ ද නැත. ඔහු සිය ප්‍රමුඛතාව ලෙස අවධාරණය කරන්නේ ආර්ථිකය ගොඩනැංවීමත්, දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම ගැනත්ය. මෙය කිසිවකුට විවේචනය කළ නොහැක. පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තු විවාදය පවතිද්දී පැමිණි ජනාධිපති රනිල් එහිදී උත්ප්‍රාසයෙන් සඳහන් කළේ ඡන්ද තියන්න සල්ලි නැති බවත් සල්ලි තිබුණත් ඡන්දයක් දැන් නොමැති බවත්ය. ඇත්තට ම මේ වනවිට කොමිසමේ සභාපති නිහාල් පුංචිහේවා පවසා තිබෙන්නේ ද ඡන්දය පැවැත්වෙන දිනයක් නිශ්චිතවම කිව නොහැකි බවය. මැතිවරණ කොමිසම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ තර්කය වූයේද ඡන්දය අත්‍යවශ්‍ය දෙයක් බවත් එය ලබාදීමට රජය බැඳී සිටින බවත්ය. ආණ්ඩුවේ නීති තර්කය වූයේ මුදල් පිළිබඳ තත්ත්වය සාර්ථක වන දිනය නිශ්චිතව පැවසීම දුෂ්කර බවය. රජයේ ආයතන මැතිවරණයට සහාය නොදීම ගැන ද ඔහු විවේචනය කළත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙනුවෙන් ප්‍රකාශ කළේ මුදල් පාලනය සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත් විය හැකි සීමා තිබෙන බවය.

දැන් පළාත් පාලන මැතිවරණය පිළිබඳ තීරණය බොහෝ විට පාර්ලිමේන්තු කාරක සභාවේ නිගමන අනුව සිදුවීමට ද ඉඩ තිබේ. ඡන්දයක් සඳහා මුදල් ඇමැතිවරයාගේ අනුමැතිය අවශ්‍ය ද? යන තර්කය ද බිඳ වැටී තිබේ. ඒ කුමක් වුවත් අනාගතයෙහි පැවැත්වීමට නියමිත සියලුම මැතිවරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව සිදුකෙරෙන බව ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දීම ප්‍රකාශ කර ඇත. එනිසා හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පැවසූ පරිදි ම දැන් තියෙන්නේ ඡන්යේ මරණ සහතික දෙන්න පමණයි’ යන්න සැබෑවක් ද යන ප්‍රශ්නය අපට ද තිබේ.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment