පුංචි ඡන්දය ඉල්ලා ජවිපෙ සටනට

137

ඡන්දය දිනාගන්නා තෙක් සටන නතර කරන්නේ නෑ – ඕනෑම ඡන්දයකට අපි සූදානම්- ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

පළාත් පාලන මැතිවරණ කල්දමා අදට මාස තුනයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් වහාම මේ පුංචි ඡන්දය පවත්වන ලෙස කියමින් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග හා රටපුරා ජනතාව ඒකරාශී කරගෙන ඡන්දය දිනා ගන්නා තෙක් මේ ආරම්භ කළ සටන නතර නොකරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පළාත් පාලන මැතිවරණය වහා පවත්වන ලෙසට බලකරමින් ඊයේ (08 වැනිදා) රාජගිරිය මැතිවරණ කොමිසම අසල උද්ඝෝෂණයට එක්වෙමිනි.

එහිදී ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.

මේ පළාත් පාලන මැතිවරණ වහා පවත්වන්න. රනිල්ලා දන්නවා මැතිවරණයක් තිබ්බොත් ඒ අය පරදින බව. ජනාධිපතිවරණයක් නෙවෙයි වෙන ඕනෑම මැතිවරණයකට ජාතික ජනබලවේගය සූදානම්. නමුත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකිමින් ප්‍රකාශයට පත්කර තිබෙන පුංචි ඡන්දය වහාම පවත්වන්න. කොමිසමට ඒ දේ කිරීමේ බලයක් තියෙනවා. කොමිසම හරි ලෙස මැදිහත් නොවන නිසයි අපි මෙතැනට ආවේ.

කල්දාපු පුංචි ඡන්දය වහා පවත්වන්න. ඡන්දය කල්දාලා හරියටම අදට මාස තුනයි. ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ ඡන්දය තියන්න. ඒ වගේම මැතිවරණ කොමිසමට ඡන්දය තියන්න. පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදීපු අපේක්‍ෂකයන් එක්කයි අපි අද මෙතැනට ආවෙ. රනිල් විවිධ විකාර කතා කියමින් ලෝකය වටා යමින් සිටිනවා. මැතිවරණ කොමිසම තමයි දින දීලා නාමයෝජනා භාර ගත්තේ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්‍ෂිත කරන්න මැතිවරණ කොමිසම සතු වගකීමක්.

මැතිවරණ කොමිසම සිය බලතල පාවිච්චි කරලා පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාගත යුතුයි. කොමිසමක් තියෙන්නෙ මැතිවරණ කල්දාන්න නෙවෙයි මැතිවරණ තියන්නයි. ප්‍රජාතන්ත්‍රවාදයට නරකම කාලය උදාවෙලා තියෙන්නෙ රනිල් වික්‍රමසිංහගේ පාලන කාලයේදී. ඒ නිසා අද අපි මැතිවරණ කොමිසම ළඟට ඇවිත් වහා පුංචි ඡන්දය තියන්න කියලා බල කරන්න ජාතික ජන බලවේගයට සිද්ධවුණා. නාමයෝජනා භාරදුන්න අයට වැටුප නැතුව බාගෙට වැටුප් අරගන්න සිද්ධ වුණා. දැන් ඒ අය පිට පළාත්වලට මාරු කරලා. අපි මැතිවරණ කොමිසම ළඟට ආවේ කොමිසම මීට වගකිව යුතු නිසා. අපි මෙතැනින් නතර වෙන්නෙ නෑ.

පුංචි ඡන්දය ඉල්ලා ජවිපෙ සටනට

රනිල් වික්‍රමසිංහ යන ගමන පැහැදිලියි. කිසිම හැඟීමක් නැති පුද්ගලයෙක් සල්ලි නෑ කියලා ලෝකෙ වටේ රවුම් ගහනවා. මළ ගෙවල්වල මඟුල් ගෙවල්වල යනවා. විවිධ කතා කියනවා. රටේ ජනතාවගෙන් සියයට 50 ක් ඡන්දය විශ්වාසය කරන්නෙ නෑ කියනවා. ඇත්ත කතාව තමයි මේ රටේ ජනතාවගෙන් සියයට 90 ක්ම රනිල්ලව පිළිගන්නෙ නෑ. ඒකයි ඇත්ත. ඡන්දය ලබා ගැනීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය. සල්ලි නෑ කියලා ඡන්ද නොතියා ඉන්නවා. අපි අධිකරණ ක්‍රියාමාර්ගවලට යනවා. එතැනින් නවතින්නෙත් නෑ. මුළු ජනතාවම එකතු කරගෙන මේ පළාත් පාලන මැතිවරණය ලබා ගන්න අපි කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී මහාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය –

අපොස සාමාන්‍ය පෙළ අදින් අවසන් වුණා. දැන් මේ පාරේ පදික වේදිකාවේ ගමන් කරන අයටත් පොලිසිය හරස් වෙලා. රනිල් ආවට පස්සෙ ආර්ථිකය හරි ගියා කියලා කියනවා. රටේ ප්‍රශ්න ඉවරයි කියලා කියනවා. නමුත් ඡන්දය තියන්නේ නෑ.

ඒ නිසා ප්‍රකාශයට පත්කළ පළාත් පාලන ඡන්දය තියන්න. දැන් මැතිවරණ කොමිසමත් රනිල් කියන විදිහට කටයුතු කරන්න පටන් අරන්. අපි අද මේ කොමිසම ඉදිරියට ඇවිත් මේ සටන කරන්නේ පළමු ආරම්භය ලෙසයි. අපි රටපුරා මේ උද්ඝෝෂණ මාලාව අරගෙන යනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළදමලා මැතිවරණ සිතියම අකුලන්න දෙන්නේ නෑ. ඒ නිසා අපි කියන්නෙ මේ රටේ ජනතාවට තිබෙන ඡන්ද අයිතිය රකින්න කියලයි. මේ මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක්. ඒ නිසා වහාම ප්‍රකාශයට පත්කර තිබෙන පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් නොදා වහාම පවත්වන්න කියා කොමිසමට අප බලකර කියා සිටිනවා. මේ ආරම්භයක් පමණයි. මැතිවරණය දිනා ගන්නා තෙක් අපි සටන් කරනවා.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment