පුංචි ඡන්දය ලබන මාර්තුවේ – ඇමැති දිනේෂ් කියයි

172

පළාත් පාලන ආයතන සඳහා සභිකයන් පත් කිරීම ලබන මාර්තු මාසයේ සිදුවිය යුතු බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඒ නිසා පළාත් පාලන ඡන්දය පැවැත්විය යුත්තේ ලබන මාර්තු මාසය ආසන්න කාලයේදී බව ද ඔහු සඳහන් කළේය.

 අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ආහාර සුරක්‍ෂිතතාව උදෙසා රාජ්‍ය ආයතනවල තාවකාලිකව වගා කළ හැකි ඉඩෙහි ප්‍රජා ගොවිතැන ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් හෝමාගම, වටරැක හා පාදුක්ක, වේරගල ප්‍රදේශවල ගොවි සමිති සාමාජිකයන් හමු වී ඔවුන් දිරිගන්වමින් ගොවි උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවන්ට එක්වෙමිනි.

 මේ නිසා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා ළඟදී විසුරුවා ඡන්දය පවත්වන බවට පැතිරෙන පුවත්වල සත්‍යතාවක් නොමැති බව පළාත් පාලන විෂය ද අයත් අමාත්‍යවරයා ලෙස තමන් පැහැදිලිව ප්‍රකාශ කරන බව ඔහු කීය. අවශ්‍ය කාලයේදී ඒ සඳහා අවශ්‍ය ක්‍රියාවලිය මෙහෙයවන ලෙසට තමන් අදාළ නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 එමෙන්ම තමන් සභාපතිත්වය දරන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය මේ මාසයේදී අවසන් වන බැවින් එහි අවසන් වාර්තාව ද ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු පැවසීය. පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු ආදී සියලු මැතිවරණ සඳහා කොට්ඨාස හා අනුපාතික ක්‍රමය මිශ්‍ර වූ ක්‍රමයක් එහිදී මූලධර්මය ලෙස පිළිගෙන ඇතැයි ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment