පුංචි ප්‍රියමාලි ඇල්පිටියෙන් අල්ලයි

9790

ව්‍යාපාරික කාන්තාවක ලෙස රඟපාමින් කෝටි පහකට වැඩි මුදල් වංචාවක් සිදු කළ 34 හැවිරිදි කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 8 වැනිදා ඇල්පිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත 8 වැනිදා ඉදිරිපත් කර දින දෙකක් රක්ෂිත බන්ධනාගාරගත කර 10 වැනිදා මහර අංක 1 අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 19 වැනිදා දක්වා සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කඩවත ඉහල කරගහමුණ ප්‍රදේශයේ කාලයක් පදිංචිව සිටි බව කියන මෙම කාන්තාව ගනුදෙනුකරුවන්ගෙන් ලබාගත් මුදල් නොගෙවා ඒ වෙනුවට අගරු චෙක්පත් ලබාදී පදිංචිය වෙනස් කර ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයට පලාගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 2018 සහ 2019 කාලයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති මෙම සැකකාරියට ලක්ෂ ගණනින් ණයට මුදල් ලබාදුන් විවිධ පුද්ගලයන් විසින් මේ වන විට කඩවත, රාගම සහ පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි කර ඇතැයි වාර්තා වී ඇත.

වාහන අලවි කිරීම සහ ඉදිකිරීම් කර්මාන්තයේ නියැළෙන ව්‍යාපාරික කාන්තාවක් ලෙස රඟපාමින් වැඩි පොලියක් ගෙවන බව පවසමින් මෙම සැකකාරිය රුපියල් කෝටි පහකට වැඩි මුදලක් වංචා කර ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇත.

එකිනෙකට වෙනස් තොරතුරු පවසා මුදල්  ලබාගෙන ඇති සැකකාරිය ගනුදෙනුකරුවන්ට රහසේ තමා පදිංචිව සිටි කඩවත ඉහළ කරගහමුණ එක්සත් මාවතේ පිහිටි නිවස ද විකුණා දමා ඇති අතර තම මුදල් ඉල්ලා සිටි ගනුදෙනුකරුවන්ට ඇය අගරු චෙක්පත් ලබාදී ඇති අතර තමන් වංචාවකට අසුවී ඇති බව තේරුම් ගත් පිරිස අවසානයේ නීතියේ පිහිට පතා ඇත.

මෙම සැකකාර කාන්තාව ගුප්ත බලවේග යොදා ගනිමින් මුදල් හිමිකරුවන්ගේ විශ්වාසය දිනා ගන්නේ යැයි ඇයට මුදල් දුන් කීපදෙනකු පවසා ඇත. රුපියල් ලක්ෂ 05, 16, 20, 34, 50 බැගින් මෙන්ම රන් ආභරණ ගනුදෙනු කළ පිරිස ද මෙම ගනුදෙනුකරුවන් අතර සිටින බවට තොරතුරු වාර්තා වී ඇත.

සාපරාධි විශ්වාසය කඩකිරීමේ චෝදනාව මත සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව මහර අධිකරණයේ ගොනුකර ඇත.

අගතියට පත් පාර්ශ්වකරුවන් වෙනුවෙන් නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා අධිකරණයට කරුණු දැක්වූ අතර විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය තම සේවාදායිකාව වෙනුවෙන් ඇප ඉල්ලා සිටිය ද එය ප්‍රතික්ෂේප විය.

කැලණිය මංගලා මදුරප්පෙරුම
 

advertistmentadvertistment
advertistmentadvertistment