පුංචි පුතාගේ මාරයා දර ගොඩෙන් මතුවෙයි

890

නිවසේ පැවැති දහවල් දානමය පිංකම අවසානයේ අසල්වැසි ඥාති නිවසකට දිවා ආහාරය රැගෙන ගිය 07 හැවිරිදි පාසල් සිසුවකුට නාගයකු දෂ්ට කිරීමෙන් පසුගියදා මරණයට පත්ව ඇතැයි ඌව පරණගම පොලිසිය පවසයි.

මෙසේ අවාසනාවන්ත ලෙසින් මරණයට පත්ව ඇත්තේ ඌව පරණගම මැදිපොකුණ, උළුගලගාව හේන නිවසේ පදිංචීව සිටි ටත්සිළු මින්හස් (07) නම් සිසුවෙකි. ඔහු මැදිපොකුණ පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලැබුවේය.

පසුගිය 31 දා භික්ෂුන් වහන්සේ වෙනුවෙන් මියගිය සිසුවාගේ නිවසේ දහවල් දානමය පිංකමක් පවත්වා තිබේ. දානමය පිංකම අවසානයේ එම පිංකම් අවස්ථාවට සහභාගී වීමට නොපැමිණි අසල්වැසි නිවසක පදිංචි ඥාතියකුගේ නිවසට දිවා ආහාරය රැගෙන යෑමට භාරවී ඇත්තේ මියගිය සිසුවාට හා ඔහුගේ මිතුරකුටය. ආහාර බඳුන් රැගෙන ගිය මිතුරන් දෙදෙනාගෙන් එක් අයකු නිවැසියන් ගැන විපරම් කරද්දී මියගිය ටත්සිළු මින්හස් එම නිවසේ පසෙකින්

ගොඩගසා තිබුණු දැව ගොඩක් මත තම අත තබාගෙන සිට ඇතැයි පැවසේ. එම අවස්ථාවේදී දැව ගොඩ තුළ සැඟව සිටි නාගයකු ටත්සිළු මින්හස් අතට දෂ්ට කර ඇත.

මොවුන් කඩිනමින් නිවසට ගොස් සිදුවීම දෙමාපියන්ට පැවසීමෙන් පසු වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කළත් සිසුවා සර්ප විෂෙන් මරණයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

මියගිය සිසුවාගේ පියා වන අනිල් දේවින්ද බන්ධනාගාර නිලධාරියෙකි. වරුණි දමයන්ති මව වන අතර මියගිය සිසුවා එම පවුලේ දෙවැනි දරුවා බව පැවසේ.
බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment