පුංචි වාසියවත් පොඩි එකාට නැතිද?

547

නිදහසින් පසු අප රට මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයට පසුගිය කාලයේදී මුහුණ දීමට අප රටේ ජනතාවට සිදුවිය. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් එහි ප්‍රතිඵලයන්ය. එපමණක් නොව අප රටේ ජනතාවට පැය ගණන් අඳුරේ සිටීමට ද මේ නිසා සිදුවිය. වැඩිවන බඩු මිල හමුවේ ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය හීන විය. එහි ආසන්නම ප්‍රතිඵලය වූයේ මන්දපෝෂණයෙන් හෝ අඩු පෝෂණයෙන් පෙළෙන දරුවන් බිහිවීමයි. රටක් වශයෙන් ගත් කළ මෙය ඉතාම නරක තත්ත්වයකි.

ලෝකයෙන් ගත් ණයවලට වාරික ගෙවා ගැනීමට නොහැකි මට්ටමට අප රටේ ආර්ථිකය පල්ලම් බැස්සේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නැවත ණය ලබාගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය වැනි කාරණාවලට අපට යෑමට සිදුව ඇත්තේ එවන් පසුබිමකය.

කවරක් නමුත් අප රටේ මේ වනවිට පෝලිම් යුගය අවසන් වී තිබේ. විදුලි බිල ඩබල් ගෙවා අඳුරෙන් එළියට යෑමට ජනතාවට හැකිව තිබේ. නමුත් මේ කිසිවක් නිසා අප රටේ ජනතාව සුවෙන් සතුටෙන් සිටිනවා යැයි සිතීමට හැකියාවක් නොමැත. තවදුරටත් නොවිසඳුනු ප්‍රශ්න හමුවේ ජනතාව සිටින්නේ අන්ත කලකිරීමෙනි. මෙහිදී මතක් කළ යුතු විශේෂ කාරණය වන්නේ රජය විසින් සිදුකරනු ලැබූ සමහර යහපත් දේවල්වල ප්‍රතිලාභ පවා ජනතාවට නොලැබීමය.

පසුගිය දිනවල ඉන්ධන මිල රජය විසින් අඩුකිරීම ජනතාවට අස්වැසිල්ලක් විය. ගෑස් මිල ද රුපියල් දහසකින් අඩු කිරීමට හැකියාව ලැබීම ද අගය කළ යුතුය. නමුත් මෙම මිල අඩු කිරීම්වල වාසිය ජනතාවට ලැබෙනවාද නැද්ද යන්න සොයා බැලීමට රජයට යාන්ත්‍රණයක් නොතිබීම බරපතළ ගැටලුවකි. පාරිභෝගික අධිකාරිය කියා ආයතනයක් ඇතත් එහි ක්‍රියාකාරීත්වය ගැටලු සහගතය. විශේෂයෙන් ඉන්ධන මිල අඩුවීම, ගෑස් මිල අඩුවීම මෙන්ම පාන් පිටිවල මිල පහළ යෑම නිසා ලැබුණු ලාභයේ පංගුව අද පාරිභෝගිකයාට
ලැබෙන්නේ නැත. පාන් ගෙඩියක මිල යම් ප්‍රමාණයකින් අඩුවී ඇති මුත් අනෙකුත් කෙටි කෑමවල මිල පවතින්නේ පෙර මිලටමය. ආප්ප කොත්තු වැනි ආහාරවල මිල ද පහළ බැසිය යුතු වුවත් එය එසේ වී නොමැත. කෑම පාර්සල්වල ප්‍රමිතිය මෙන්ම මිල ගණන් පිළිබඳ විවිධ ගැටලු තිබේ. තෙල් මිල අඩුවීම නිසා ප්‍රවාහන වියදම අඩුවීමේ වාසිය යම් ප්‍රමාණයකින් හෝ සියලුම පාරිභෝගික භාණ්ඩවලට ලැබිය යුතුය. නමුත් ඒ පිළිබඳව අදාළ බලධාරීන් සොයා බලන බවක් නොපෙනේ. ඒ ගැන අවබෝධයක් ලබා ගැනීමට නගරයේ මාළු ලෑල්ලක් ළඟට ගියත් ප්‍රමාණවත්ය. අප රටේ මාළු මිල කාලයක් තිස්සේ පවතිනුයේ ඉතාමත් අධික ප්‍රමාණයකිනි. ඉන්ධන මිල අඩු කිරීම නිසා යම් ප්‍රමාණයක් හෝ මාළු මිල අඩුවිය යුතු වුවද එසේ වී නොමැත. මෙම තත්ත්වය හමුවේ අප රටේ බහුතර ජනතාවට පෝෂදායී මාළු කෑල්ලක් කෑම සිහිනයක්ව පවතී. මාළු මිල එසේ තිබියදී දුප්පතාගේ බත් පතේ ප්‍රධාන ආහාරයක් වූ බිත්තරයට ද ලබා ඇත්තේ නරක කලදසාවකි. පාරිභෝගික අධිකාරිය බිත්තර සඳහා මිල ගණන් තීන්දු කළ ද එම මිලට බිත්තර දිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. මේ දොගොල්ලන්ගේ කඹ ඇදිල්ල නිසා අදටත් දුප්පත් ජනතාවට බිත්තරයක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. මාළු මිල ඉහළ යෑම මෙන්ම බිත්තර වෙළෙඳපොළේ පවතින මෙම ප්‍රශ්න නිසා අපේ දරුවන්ගේ පෝෂණ ඌණතා තවදුරටත් ඉහළ යා හැකිය. ඒ තුළ අප නිරෝගී ජාතියක් අනාගතයට දායාද කරන්නේ කෙසේද?

මෙවැනි දහසකුත් එකක් ප්‍රශ්න තිබියදී අප රටෙන් රිළවුන් ලක්‍ෂයක් චීනයට යවනු ලබන පුවතට මාධ්‍යයෙන් පවා ඉහළ ප්‍රතිචාරයක් ලැබිණි. ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය මේ පිළිබඳව නිකුත් කළ ට්ව්ටර් පණිවුඩය සමග එකී ආන්දෝලනය ක්‍රමයෙන් පහව යමින් පවතී. අවසානයේදී චීනය ප්‍රකාශ කළේ අපි ඉල්ලපු රිළවකු නොමැති බවය. රිළවුන් ගැන උනන්දු වෙනවා සේම අපේ අනෙකුත් සමාජීය ප්‍රශ්න පිළිබඳව අදාළ නිලධාරීන් හා ඒ පිළිබඳව හඬ නඟන පාර්ශ්ව අවදානය යොමු කරන්නේ නම් හෙට දවස යහපත් කර ගැනීමට පුළුවන. එහෙත් බොහෝ තැන්වල ප්‍රශ්නය උඩින් පල්ලෙන් අතගා අත්හරිනවා විනා ඒ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් නොමැතිවීම කනගාටුදායකය. අප රටේ නිෂ්පාදන ආර්ථිකය දිරිමත් කිරීම, කර්මාන්ත අංශය පුළුල් කිරීම මෙන්ම අපනයන කෘෂිකර්මය නැංවීම වැනි වැඩපිළිවෙළකට අප වහා යා යුතුව ඇත. එසේම අප රටට ඩොලර් ගෙනෙන විදේශීය රැකියා වෙළෙඳපොළ තවදුරටත් පුළුල් කිරීම මෙන්ම වර්ධනය වෙමින් පවතින විදේශීය සංචාරක ව්‍යාපාරය ආකර්ෂණීය අයුරින් ඉදිරියට ගෙන යෑම වැනි බහුවිධ ක්‍රියාමාර්ග ඔස්සේ මේ රට ගොඩනැඟිය හැකිය. මේ අංශ ප්‍රවර්ධනය කරන අතරේ ඉන් ලැබෙන ප්‍රතිලාභ සමාජයේ පහළම කොටස්වලටත් ගලා යන යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. එසේ නොමැති වුවහොත් ජනතාව තුළ පවතින අසහනය දුරු නොවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment