පුණර්ජනනීය ව්‍යාපෘති කඩාකප්පල් කළ නිලධාරීන් විදුලි අර්බුදයට වගකිව යුතුයි

766

මේ රජය අවුරුදු 2 1/2 ටම පුනර්ජනනීය විදුලිය
මෙගාවොට් 100ක්වත් ජනනය කර නෑ!

දිගින් දිගටම විදුලි ජනන සැලැස්ම ක‍්‍රියාත්මක නොකළ සහ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති කඩාකප්පල් කළ විදුලි ඉංජිනේරුවන් වත්මන් විදුලි අර්බුදයට වගකිව යුතු යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (1 දා) සඳහන් කළේය. කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනන සැලැස්ම ක‍්‍රියාත්මක නොකිරීම විදුලිබල පනතේ හැට තුන් වෙනි වගන්තිය අනුව සිර දඬුවම් ලැබිය යුතු වරදක් යැයි ද ඔහු කීවේය.

හෙතෙම මෙසේ ද පැවසීය. ‘‘2030 වනවිට පුනර්ජනනීය බලශක්තිය සියයට හැත්තෑවක් යන්න ඉෂ්ට වුණා නම් අද අපට අඳුරේ ඉන්න වෙන්නෙ නෑ. එසේ වුණා නම් අද ජාතික පද්ධතියට මෙගාවොට් 1500කට වැඩි ප‍්‍රමාණයක් ජනනය කරන්න තිබුණා. තාම පුනර්ජනනීය බලශක්තිය තියෙන්නේ මෙගාවොට් 510 ක් පමණයි. එයින් මෙගාවොට් හාරසිය විස්සක් පමණ 2016 සෝලා සංග‍්‍රාමයෙන් ආපු ඒවා. 2030 වනවිට පුනර්ජනනීය බලශක්තිය සියයට හැත්තෑවක් වීමට නම් 2030 වනවිට මෙගාවොට් 6000ක නිෂ්පාදනයකට ළඟා විය යුතුයි. ඒ අනුව වසරකට මෙගාවොට් 600ක් ජනනය කළ යුතුයි. නමුත් මේ රජයේ අවුරුදු දෙකහමාර තුළ ජනනය කර ඇති මෙගා වොට් ප‍්‍රමාණය සියයක් පමණ වන අඩු ගණනක්.

2021 විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද දිගු කාලීන ජනන සැලස්ම රාජ්‍ය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට විරුද්ධයි. එය මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දුන්නාම විදුලිබල මණ්ඩලය 2022 ජුනි මාසය දක්වා ජනන සැලැස්ම සෑදීමට කාලය ඉල්ලා තියනවා. 2015 – 2020 ජනන සැලැස්ම අනුව පුනර්ජනනීය බලශක්තිය මෙගාවොට් 401ක් ලෙස සඳහන් වුවද එම සැලැස්ම අනුව අවසන් කර තිබුණේ මෙගාවොට් 100යි. ඒ මන්නාරම් සුළං බලාගාරය. එයත් වසරක් ප‍්‍රමාද කර දුන්නේ 2021 වර්ෂයේදීයි. තවද 2018 – 2031 දිගුකාලීන ජනන සැලැස්ම අනුව පුනර්ජනනිය බලශක්තිය මෙගාවොට් 1137 හා තාප විදුලිය මෙගාවොට් 875ක් නිෂ්පාදනය කළ යුතු වුවත් මේ දක්වා කිසිම කාර්යසාධන වැඩපිළිවෙළක් නෑ. ටෙන්ඩර් කළ යුතු දිනය හා ආරම්භ කළ යුතු දිනය සඳහන් කර තිබුණ ද ඒවා තවම කරලා නෑ.

මේවාට කවුද වගකියන්නේ.

මේ අතර බැටරි සහිත සූර්ය බල ව්‍යාපෘති ද ක‍්‍රියාත්මක නොවීම බරපතළ කාරණාවක්. මෙම ජනන සැලැස්ම ක‍්‍රියාත්මක කළානම් අද අප මේ අඳුරු තත්ත්වයට පත්වන්නේ නැහැ.

මේ සියලු කාරණා අප සංගමයක් හැටියට 2015 සිට පෙන්වා දුන් නමුදු කිසිම නිලධාරියෙක් හෝ දේශපාලනඥයෙක් ඇහුම්කන් දුන්නේ ද නැහැ. මෙය මහත් අපරාධයක්. ජනන සැලැස්ම ක‍්‍රියාත්මක නොකිරීම විදුලිබල පනතේ 63 වැනි වගන්තිය අනුව සිරදඬුවම් ලැබිය යුතු වරදක්. මේ නිලධාරීන් කවුද කියා රටට හෙළි කළ යුතුයි.

මේවා ක‍්‍රියාත්මක නොකරන ඉංජිනේරු සංගමය අද 300% ක වැටුප් වැඩි වීම් ලබා ගනිමින් සියයට 60ට අධික දීමනා ලබා ගනිමින් ඉන්නවා. විගණකාධිපතිගේ තීන්දු ක‍්‍රියාත්මක කරන්නෙත් නෑ. මේ මාෆියාව ඇස් පියාගෙන බලාගෙන සිටින වගකිවයුත්තන් කවුරුන්ද ?

2017 වසරේ ටෙන්ඩර් කිරීමට කිරීමට විදුලිබල මණ්ඩලය අවසර ලබාදී තිබුණු මෙගාවොට් 100 සියඹලාණ්ඩුව සූර්ය බලාගාරය, මෙගාවොට් 100 පුනරින් සුර්ය බලාගාරය, මෙගාවොට් 170 පුනරින් සුළං බලාගාරය අවුරුදු පහකින් ප‍්‍රමාද කිරීම අද පවතින විදුලි අර්බුදය තත්ත්වයට හේතු පාදකයක් වුණා. මේ බලාගාර තුනම ජනන කටයුතු ආරම්භ කිරීම 2022 වර්ෂයේයි. තවද අප සංගමය හඳුනාගත් වැදගත් සාධකයක් වන්නේ දකුණු පළාතේ විදුලි සැපයුම් ජාලය අවුරුදු 5ක් ප‍්‍රමාද කිරීමයි. මෙය ඩීසල් මාෆියාවේ ඒකාධිකාරය වෙනුවෙන් ඇතැම් ඉංජිනේරුවන්ගේ පෙනී සිටීමක් බව පැහැදිලිය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment