පුත්තලමේ පුද්ගලයාගේ ඉතාලි හොර වීසාව ගුවන්තොටේදී පත්තු වෙයි  

613

කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත‍්‍රයක් උපයෝගී කර ගනිමින්, තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යෑමට තැත් කළ ශ‍්‍රී ලාංකිකයකු 21 වැනිදා රාත‍්‍රී කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 58 හැවිරිදි පුත්තලම නගරයේ පදිංචිකරුවෙකි.

ඔහු 21 වැනිදා රාත‍්‍රී 09.35ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබූ තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 735 දරන ගුවන් යානයට පිවිසීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ගුවන් සේවා නිශ්කාෂණ කටයුතු සඳහා ඔහු ඉදිරිපත් කළ ඉතාලි නේවාසික වීසා බලපත‍්‍රය පරීක්ෂා කළ ගුවන් සේවා නිලධාරීන් එය කූඨ ලෙස සකස් කළ එකක් බවට අනාවරණය කර ගෙන ඇත. මොහු කලක් ඉතාලියේ රියැදුරකු ලෙස සේවය කළ අයකු බව හෙළිව තිබේ. ඔහුගේ බිරිඳ සහ ළමයි තවමත් ඉතාලියේ වාසය කරති.

මොහු මීට සෑහෙන කාලයකට පෙර ඉතාලියේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණ තිබූ අතර, ඒ කාලයේදී ඔහුගේ නේවාසික වීසා බලපත‍්‍රය කල් ඉකුත් වී තිබේ.

එනිසා මොහු කූඨ ලෙස මෙම ව්‍යාජ ඉතාලි නේවාසික වීසා බලපත‍්‍රය සකස් කර ගෙන තිබේ. මොහු වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment