පුත්තලමේ මද්‍රසා පාසලේ සිසුන්ට යුද මානසිකත්වය දෙන දේශන පැවැත්වූ දෙදෙනා ඇතුළු 4 දෙනා 31දා තෙක් රිමාන්ඩ්

348

පාස්කු ප්‍රහාරයට පෙර පුත්තලම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය පුත්තලම අල් සුහරියා මද්‍රසා පාසලේ සිසුන්ට යුද මානසිකත්වය දෙමින් දේශන පැවැත්වූ දේශකයන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (18 දා) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අනාස් අන්වර්, මොහොමඩ් ජුසෙයිල් අබ්දුල් හමීඩ් ජාබර් නමැති දේශකයන් දෙදෙනා සහ එම ස්ථානයේ රැඳී සිටි මොහොමඩ් අසිපත් අබුබකර් සිද්ධික් සහ රාවුත්තර් නෙයිනා අසනාත් මරක්කාර් යන අයයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සිව් දෙනා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩනය ඉදිරි දින ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

රටේ ජනතාවට අධිකරණය සම්බන්ධයෙන් සැකයක් ඇති නොවන ලෙස විමර්ශන සිදු කළ යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරමින් දන්වා සිටි මහෙස්ත්‍රාත්වරයා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන හිස් කොළ ඉදිරිපත් කර නියෝග ඉල්ලා නොසිටින ලෙසත් දැනුම් දුන්නේය.

ඉදිරි දින සාක්ෂි සම්පිණ්ඩනය සලකා බලා සැකකරුවන් සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් සිදු කරන බව ද මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

මෙම සැකකරුවන් ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම, පහර දීම, පලස්තීන යුද්ධය සම්බන්ධයෙන් ඇතුළු ලෝක යුද ඉතිහාස වාර්තා ඉදිරිපත් කරමින් එම මද්‍රසා පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට යුද මානසිකත්වයක් ලබා දී ඇති බවට එම පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ගේ ප්‍රකාශ තහවුරු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

එම කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව අයදින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ල නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියහ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment