පුත්තලමේ ෆයිසර් විදගන්න පිටින් ඇවිත්… වෛද්‍යවරයාට හා පවුල් සෞඛ්‍ය සේවිකාවට මාරුවක්

158

හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කොක්කාවිල රජයේ විද්‍යාලයේ එන්නත්කරණය සිදුකරන අවස්ථාවේ නීති විරෝධී ලෙස නියමිත වයස් කාණ්ඩයට අයත් නොවන අය සඳහා එන්නත් ලබාදීමේ සිද්ධියකට සම්බන්ධ චෝදනා එල්ල වන වෛද්‍යවරයකු හා පවුල් සෞඛ්‍ය සේවිකාව වහාම කි‍්‍රයාත්මක වන පරිදි පුත්තලම මූලික රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බව පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප‍්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

මෙසේ ස්ථානමාරු ලබා දී ඇත්තේ කොක්කාවිල රජයේ රෝහලේ වෛද්‍යවරයකුට හා හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකටය.

කොක්කාවිල විද්‍යාලයේ ඊයේ (25 දා* දින පැවති කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ අවස්ථාවේ වෛද්‍යවරයා තම 12 හැවිරිදි දැරියට විද්‍යාලයේ පිටුපස ස්ථානයකින් මෙම මධ්‍යස්ථානයට ඇතුල් කර එන්නත් ලබාදීම සම්බන්ධව මෙසේ චෝදනා එල්ල වී තිබුණි.

එම අවස්ථාවේදී වෛද්‍යවරයාගේ පවුලේ පිරිසක්ද පැමිණ ඇති බව සඳහන් කරන එම පිරිස අදාළ එන්නත් මධ්‍යස්ථානයට ඇතුල් කිරීම සම්බන්ධව එම ස්ථානයේ රාජකාරි කළ පවුල් සෞඛ්‍ය සේවිකාවකට ද චෝදනා එල්ල වී ඇත.

එදින ගැබිනි මව්වරුන්ට සහ වයස අවුරුදු තිහට වැඩි අය සඳහා ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු යොදා තිබුණි. උදෑසන සිට විශාල පිරිසක් දිගු පෝලිම්වල රැඳී සිටිය ද පුද්ගලයන් කිහිපදෙනෙක් එම මධ්‍යස්ථානයේ පිටුපස වැටෙන් රිංගා පැමිණ එන්නත ලබාගත් බවට ජනතාව චෝදනා කරති. මේ සඳහා එම අවස්ථාවේ සේවයේ යෙදී සිටි හලාවත සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කොට්ඨාසයේ පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ සහය ලබාගෙන තිබේ.

මෙම පිරිස් රැගෙන ඒමට කටයුතු කළ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් එම අවස්ථාවේ එහි රැඳී සිටි මාධ්‍ය ආවරණය සිදු කළ මාධ්‍යවේදීන් වෛද්‍යවරයා කවුරුන්ද යන්න ප‍්‍රශ්න කිරීමේදී ඇය සඳහන් කළේ වෛද්‍යවරයා කවුද කියා කිව නොහැකි බවත්ය. කෙසේ වෙතත් මෙසේ නීති විරෝධී ලෙස පැමිණි අය සඳහා බාධා එල්ල වුවත් ඇය එසේ පැමිණි අයට එන්නත්කරණය සිදු කිරීමට කටයුතු කර ඇත. මෙහිදී මෙම කි‍්‍රයාව සම්බන්ධව පැමිණ සිටි පිරිස් දැඩි දෝෂාරෝපණ එල්ල කළත් ඇය ඒවා මායිම් නොකර කටයුතු කිරීම පිළිකුල් සහගතව පැමිණ සිටි පිරිස හෙළා දකිනු ලැබීය.

අදාළ මධ්‍යස්ථානයේ පිටපළාත්වලින් පැමිණි පුද්ගලයන්ට ද එන්නත් ලබාදීම සිදුවිය. එසේ එන්නත් ලබා ගැනීමට පැමිණි අයගේ මෝටර් රථ නිරීක්ෂණය කිරීමේදී තහවුරු වූයේ බස්නාහිර සහ උතුරු මැද පළාතෙන් පැමිණි අයගේ මෝටර් රථ බවයි.

අවුරුදු 18 න් පහළ අයට ලංකාවේ එන්නත්කරණය සිදුකිරීමට අවසරය නැහැ. අපේ දැනුවත් බවෙන් තොරවයි මෙය සිදුකර තියෙන්නේ. මේ අය වෛද්‍යවරයාගේ ද කියන එක අපිට නිශ්චිතව කියන්න බැහැ. කෙසේ වෙතත් අපි ඉහළ නිලධාරීන්ට මේ සම්බන්ධව දන්වා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නවා. එම ස්ථානය භාර වෛද්‍යවරයා මේ සම්බන්ධව සිදු කළ විමසීමකදී කියා සිටියේය.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment