පුත්තලම එස්.ටී.එෆ්. කඳවුර පිටුපස මහා පරිමාණ ස්කාගාරයක්

69

ලක්‍ෂ 10ක බඩු සමග සැකකරු අත්අඩංගුවට

පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර ආසන්නයේ පිහිටි සෙල්ලකන්දල් රක්ෂිතයේ පවත්වාගෙන යන මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වැටලීමට සාලියවැව පොලිස් නිලධාරීන් සමත් වී ඇත.

පෙරේදා (10දා) සවස මෙම වැටලීම සිදු කර තිබේ. ස්කාගාරය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු සමග නිෂ්පාදනය කරන ලද කසිප්පු ස්ප්‍රීත්තු බෝතල් 100 කට ආසන්න ප්‍රමාණයක්, කසිප්පු නිෂ්පාදනයට උපයෝගි කරගන්නා දඟර ඇතුළු උපකරණ රැසක් අත් අඩංගුවට ගෙන තිබේ. මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ඉක්ම වන බව පොලිසිය පවසයි. අත් අඩංගුවට පත් සැකකරු පුත්තලම මානවේරිය ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි අයෙකි. මෙම ස්කාගාරය වසර ගණනාවක් තිස්සේ කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සාලියවැව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සිසිර සේනාරත්න මහතා ඇතුළු නිළධාරින් පිරිසක් අදාළ ස්ථානය වටලන අවස්ථාවේදී කසිප්පු නිෂ්පාදනයට බැරල් 10 ක ගෝඩා සකස් කර තිබී ඇත. සාලියවැව පොලිසියේ පො.සැ. වරුන් වන (7014) පතිරාජ, (74988) සේනාරත්න හා පො.කො. වරුන් වන (72005) රත්නායක, පො.කො. රියැදුරු (13492) දමිත් ඇතුළු නිළධාරින් මෙම වැටලීමට එක්වූහ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment