පුත්තලම කලපුවේ කෙටසක් ව්‍යාපාරිකයකු  බලෙන් අල්ලාගෙන

57

ප්‍රධාන මාර්ගය අසල ජාවාරම ගැනත්  නිලධාරීන් නිහඬ පිළිවෙතක – ජනතා චෝදනා

ඔප්පුවක් ඉදිරිපත් කළ නිසා මිනුම් කටයුතු කාර්යාලයට යොමු කළා

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරිය


පුත්තලම කලපු තීරයට අයත් කරඹ ප්‍රදේශයේ අක්කර 2 කට ආසන්න භූමි ප්‍රදේශයක ව්‍යාපාරිකයකු නීති විරෝධීව කඩොලාන කපා ගිනි දමා විශාල පරිසර හානියක් සිදුකර ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

එසේම එම භූමි කොටසේ එක් ප්‍රදේශයක බොරළු දමා පුරවා ඇති ආකාරය දැක ගත හැකිය. එම ව්‍යාපාරිකයා විසින් ප්‍රසිද්ධියේ කඩොලාන කපා බොරළු දමා පුරවා දමන තෙක් වගකිව යුතු රාජ්‍ය ආයතන වල නිලධාරීන් නිහඬවීම කනගාටුවට කරුණක් බව ප්‍රදේශයේ ජනතාව කියති. පුත්තලම කලපු තීරයට අයත් මෙම ඉඩම් කොටස කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආරම්භ වන ස්ථානය වන කරඹ සීමාවේ පිහිටා තිබේ. පුත්තලම කලපුවට අයත් සීමාවන් දශක දෙකකට ආසන්න කාලයක සිට නීති විරෝධි ලෙස අත්පත් කරගනිමින් ඉස්සන් ඇති කිරීමට ටැංකි සැකසීම සිදුව තිබුණි. ඉන් පසුව ලුණු සැකසීමට වසර කිහිපයක සිට සියලු පරිසර පද්ධතිය වනසා ඇත්තේ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ද අනුග්‍රහය මත වීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් බව පරිසරවේදීහු පවසති. ඒ ආකාරයටම මෙම භූමි කොටසද වනසා ඇත්තේ සියලු නිලධාරින් බලා සිටියදී බව තතු දන්නෝ පවසති. එසේම මෙම කලපු තීරයට අයත් බොහෝ බිම් කොටස් මේ වන විට ව්‍යාජ ඔප්පු සකසා ඒවා ලියාපදිංචි කර තිබීමද විමතිය දනවන්නකි.

ව්‍යාපාරිකයා අත්පත් කර ඇති කොටස අදාල ව්‍යාපාරිකයාට අයත් ආසන්නයේ පිහිටි ඔහුගේ පොල් ඉඩමට කම්බි ගසා යාකර ඇත්තේද ඔහුට සතු දේපළක් ලෙසිනි.

මේ පිළිබඳ ජනතාව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළද ඇතැම් නිලධාරීන් නිහඬවී ඇති බව සදහන්ය. මේ පිළිබඳ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතාගෙන් කළ විමසීමේදී පවසා සිටියේ අදාල ඉඩම සම්බන්ධ එම තැනැත්තා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැඳවු බවත් එම භූමියට ඔප්පුවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඒ පිළිබඳ සොයා බැලීමට මිනුම් කටයුතු සම්බන්ධ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයට දැන්වූ බවත්ය. එහි නිසි තොරතුරු ලැබෙන තුරු කිසිදු සංවර්ධන කටයුත්තක් කිරීම සම්පුර්ණයෙන් නවතා දැමූ බවත් ඔහු තවදුරටත් පැවසුවේය.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment