පුතාලා දෙන්නා වැවට බහිනවා එක්කම ගිලී නොපෙනී ගියා – ටී.ආර්.එම්. ජනක චතුරංග සාක්ෂි දෙමින් කියයි

645

අමිඳු හා හසංක

* අපි කෑ ගහලා කිව්වා පුතාල නම්  බහින්න එපා කියලා – පී.එම්. සුමිත‍්‍රා සාක්ෂි දෙමින් කියයි

* පොකුණේ සිටුවීමට නෙළුම් පැළ ගලවන්න උදේ අපි කට්ටියම කහටපිටිය වැවට ගියා – ඞී.එම්. රේණුකා සාක්කි දෙමින් කියයි

* කහටපිටිය වැවේ ගිලී මියගිය ළමයින් දෙදෙනාගේ මරණ පරීක්ෂණය

‘මමයි සුමිත‍්‍රා අක්කගේ පුතයි රේණුකා අක්කගේ ලොකු පුතයි නෙළුම් පැළ ගලවන්න කහටපිටිය වැවට බැස්සා. වැවේ මැද පිහිටි ගලට අපි තුන්දෙනාම ගොඩ වුණා. පසුව මම වැවට බැස්සා. පුතාලා දෙන්නට මම කිව්වා ගල උඩට වෙලා ඉන්න කියලා. නමුත් ඒ දෙන්නත් වැවට බැස්සා. ටික වේලාවකින් දෙදෙනාම දියේ ගිලූණා…’’ යැයි දඹගල්ල කහටපිටිය වැවේ ගිලී මියගිය දරුවන් දෙදෙනාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් යුද හමුදා සෙබළෙකු වන ටී.ආර්.එම්. ජනක චතුරංග (27* යන අය සාක්ෂි දෙමින් පැවසීය.

දඹගල්ල ඌවගංගොඩ සත්දම්ගම පදිංචි ඞී.එම්. අමිඳු ශෂීන්ද්‍ර පේ‍්‍රමතිලක, දඹගල්ල මාරිඅරාව කොල්ලදෙණිය පදිංචි එම්.ජී. හංසක පියුමාල් යන ළමයින් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් දැලිව හදිසි මරණ පරීක්ෂක කේ.එම්. ජයසුන්දර මහතා විසින් මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ මෙම මරණ පරීක්ෂණයන් පවත්වන ලදී. සාක්ෂිකරු මෙසේද කීය.

‘‘සුමිත‍්‍රා සහ රේණුකා අක්කලාගේ පවුල් මම කලක සිට හඳුනනවා. සිකුරාදා 15 උදේ ඔවුන් මට කතා කළා උඩුමුල්ල කහටපිටිය වැවට නෙළුම් පැළ ගැලවීමට යන්න. ඒ අනුව උදේ නවයට විතර මෝටර් සයිකල් තුනකින් මමයි, සුමිත‍්‍රා අක්කයි, එයාගේ පුතා වන හංසකයි, රේණුකා අක්කයි, එයාගේ ලොකු පුතා වන අමිඳුයි, පොඩි පුතයි නෙළුම් පැළ ගැලවීමට කහටපිටිය වැවට ගියා. මමයි, හංසකයි, අමිඳුයි වැවට බැස්සා.අනෙක් අය වැව ඉවුරේ සිටියා. අපි තුන්දෙනා වැව මැද පිහිටි ගල උඩට ගියා. මම පුතාලා දෙන්නට කිව්වා ඔයාලා ගලඋඩට වෙලා ඉන්න. මම නෙළුම් පැළ ගලවාගෙන එන්නම් කියලා. මට පිහිනන්න බැහැ. වැවට බැස්ස මම ඉදිරියට යන කොට ගිලෙන්න ගියා. බොහොම අමාරුවෙන් මම ඉදිරියෙන් තියෙන කුඩා ගලකට ගොඩ වුණා. මම යන්තම් දැක්කා පුතාලා දෙන්නත් වැවට බහිනවා. ඒ දෙන්නා ගිලී නොපෙනී ගියා. මම කෑගැසුවා. පුතාලා දෙන්නගේ අම්මලත් කෑගැසුවා. ඊට පසුව අසල්වාසීන් කිහිපදෙනෙකු පැමිණ වැවේ ගිලී සිටි පුතාලා දෙන්නාව ගොඩට ගෙන දඹගල්ල ඉස්පිරිතාලෙට අරගෙන ගියා. රෝහලට ඇතුලත් කරන විටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බව දැනගත්තා.’’

පී.එම්. සුමිත‍්‍රා මහත්මිය (47) සාක්ෂි දෙමින් මෙසේ කීවාය.

‘‘මියගිය එච්.ජී. හංසක පියුමාල් මගේ පුතා. මට ඊට වැඩිමහල් දියණියක්ද සිටිනවා. මගේ මහත්තයා කටාර් රාජ්‍යයේ රැකියාවක නිරතව සිටිනවා.

මියගිය අමිඳු කලක් මගේ පුතා සමඟ අල්පිටිය මහ විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඒ දෙන්නා හොඳ යහළුවෝ. ඒ දෙන්නම ගෙවල් ඉදිරිපිට පොකුණු දෙකක් හදලා තිබුණා. ඒවායේ නෙළුම් පැළ සිටුවීමට ඔවුන් කතා කරගෙන සිටියා. ඒ අනුව උදේ උඩුමුල්ල කහටපිටිය වැවට නෙළුම් පැළ ගලවන්න ගියා. අපි සමඟ ආමි එකේ වැඩ කරන ජනක මල්ලිත් රේණුකා නංගිගේ පුතාලා දෙන්නත්, මමත් මගේ පුතත් ගියා. අපි වැවේ ඉවුරේ සිටින විට මගේ පුතයි රේණුකා නංගිගෙ පුතයි ජනක මල්ලියි වැවට බැස්සා. වැවේ මැද පිහිටි ගල උඩට ඔවුන් තිදෙනා ගොඩ වුණා. අපි දැක්කා ජනක මල්ලි ගලේ ඉඳන් වැවට බසිනවා. අපි කෑ ගහලා කිව්වා පුතාල නම් බහින්න එපා කියලා. නමුත් සුළු වේලාවකින් ඒ දෙන්න වැවට බැහැලා තිබුණා. පසුව ජනක මල්ලි පුතාලා දෙන්නා වැවේ ගිලූණා කියලා කෑගහලා කිව්වා. අපිත් කෑගැහුවා. පසුව අසල්වාසීන් කිහිපදෙනෙකු පැමිණ වැවේ ගිලී සිටි දරුවන් දෙදෙනා ගොඩට ගෙන ඉස්පිරිතාලෙට අරගෙන ගියා. එහිදී දරුවන් දෙදෙනා මියගිය බව දැනගත්තා.’’ දඹගල්ල ඌවගංගොඩ සත්දම්ගොම පදිංචි ඞී.එම්. රේණුකා දමයන්ති (38* මහත්මිය මෙසේ කීවාය.

‘‘මියගිය අමිඳු ශෂීන්ද්‍ර කවිශාන් පේ‍්‍රමතිලක මගේ වැඩිමහල් පුතායි. මට ඊට බාල තවත් පුතෙකු සිටිනවා. මගේ පුතයි හංසක පියුමාල් පුතායි අල්පිටිය මහ විද්‍යාලයේ කලක් එකට ඉගෙනුම ලැබුවා. දැනට මගේ පුතා මොනරාගල වැලියාය පිරිවෙනේ ඉගෙනුම ලබනවා. ඔවුන් දෙදෙනා යාලූවන්ය. අපේ පවුල් දෙකේ අයද ලඟින් ඇසුරු කරනවා. පුතාලා දෙන්නම ගෙවල් ඉදිරිපිට පොකුණු ඉඳිකර තිබෙනවා. ඒවායේ සිටුවීමට නෙළුම් පැළ ගලවන්න යන්නට උදේ අපි කට්ටිය කහටපිටිය වැවට ගියා. මමයි,සුමිත‍්‍රා නංගියි, අසල්වැසියෙකු වන හමුදාවේ සේවය කරන ජනක මල්ලියි,පුතාල තුන්දෙනයි වැවට ගියා.මමයි සුමිත‍්‍රා අක්කයි,පොඩි පුතයි වැව ඉවුරේ සිටියදී ජනක මල්ලියි, මගේ ලොකු පුතයි සුමිත‍්‍රා අක්කගේ පුතයි වැවට බැස්සා. ඒ තුන්දෙනාම වැවේ මැද තිබූ

ගලකට ගොඩ වුණා. ජනක මල්ලි ගලෙන් වැවට බහිනවා දැක්කා. ටික වේලාවකින් ජනක මල්ලි පුතාලා දෙන්නා ගිලූණා යැයි කෑගැසුවා.

අපිත් කෑගැසුවා පසුව අසල්වාසීන් කිහිපදෙනෙකු පැමිණ වැවේ ගිලී සිටි දරුවන් දෙදෙනාව ගොඩට අරගෙන ඉස්පිරිතාලෙට අරගෙන ගියා. පසුව දැනගත්තා දරුවන් දෙදෙනා මියගිය බව. දරුවන්ගේ මරණ ගැන අපිට කිසිම සැකයක් නැහැ. දරුවන් දෙදෙනාගේ මරණ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයන් මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය එච්.ආර්.එන් යාපා මහතා විසින් පවත්වන ලදි.

පරීක්ෂණයේදී ලද සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව මෙම මරණ දියේ ගිලීමෙන් සිදුවූ මරණ බවට මරණ පරීක්ෂකවරයා විසින් තීරණය කරන ලදි.

දඹගල්ල වැඩබලන පොලිස්  ස්ථානාධිපති බන්දුල ධනපාල මහතාගේ උපදෙස් පිට පොලිස් සැරයන් 36811 ඒ.එම්.එස්.ටී. අත්තනායක මහතා සාක්ෂි මෙහෙයවීය.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment