පුතා සමග අහස් ගැබට පිවිස සේවයට සමුදුන් ශ්‍රී ලන්කන් ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවා

304

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වසර 40ක සේවා කාලයක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උත්පල කුමාරසිංහ මහතා ඊයේ (31 දා) ඔහුගේ අවසන් ගුවන් මෙහෙයුම සිදුකළේය. ඉන්දියාවේ මදුරාසි සිට කොළඹට ළඟාවූ යූ.එල්. 138 ගුවන් යානය සමග ඒ මහතා ගුවන් සේවය වෙනුවෙන් දශක හතරක සේවා කාලය අවසන් කරන ලදි. ඒ මහතාගේ අවසන් ගුවන් ගමන වෙනුවෙන් විශේෂ උත්සවයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සංවිධානය කර තිබිණි. එහිදී ගුවන් යානයට චාරිත්‍රානුකූල ගුවන් ජල ආචාරයක් ද සිදුකරන ලදි.

ඒ මහතාගේ අවසන් ගුවන් ගමන සඳහා සහායක ගුවන් නියමුවරයා ලෙස ඔහුගේ පුත්‍රයා වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමු රහල් කුමාරසිංහ මහතා ද එක්වීම මෙහි විශේෂත්වයකි.

උත්පල කුමාරසිංහ මහතා 1979 වසරේ දී සහකාර ගුවන් මෙහෙයුම් නිලධාරියකු ලෙස ගුවන් සේවයට එක්වූ අතර 1982 වර්ෂයේ දී පුහුණු ගුවන් නියමුවරයකු ලෙස සේවය ආරම්භ කළේය. අනතුරුව ඒ මහතා වර්ෂ 1993 දී ගුවන් නියමුවරයකු ලෙස ගුවන් සේවයට එක්විය. එදා සිට අද දක්වාම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ උන්නතිය සහ කීර්තිය වෙනුවෙන් අති විශාල මෙහෙවරක් සිදුකළ ඒ මහතා ඊයේ දින විශ්‍රාම ගියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවරයා ලෙස රාජකාරි කරමින් සිටියදී ය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment