පුතා හවසට සෙල්ලම් කරලා අම්මේ… කියාගෙන ගෙදරට එන හැටි මතක් වෙන කොට මට ඉන්න බෑ

446

මං වැඳලා කියන්නම් මගේ දරුවා මට දෙන්න – මව හඬමින් කියයි

එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු රවටා පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් දින 04 ක් ගතවී ඇතත් මෙතෙක් එම දරුවා සම්බන්ධයෙන් හෝ පැහැර ගැනීම සිදුකළ පුද්ගලයා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයා ගත හැකි වී නැත.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අංක 16 ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි පී. කේ. දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නම් නව හැවිරිදි පිරිමි දරුවෙකි. ඔහු කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.

මෙම සිසුවා එම ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ සමීප ඇසුරක් තිබූ බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා රවටා පැහැර ගෙන යන්නට ඇති බවට සැක කරන බවත් දරුවාගේ දෙමාපියන් එප්පාවල පොලිසියට පැමිණිලි කර ඇත.

පසුගිය (19 දා) රාත්‍රි 8.30 න් පසුව දරුවා නිවසේ නොමැති බව දැන ගෙන සොයා බැලූවද ඊයේ (22දා) පස්වරුව වන විට දින හතරක් ගත වී ඇතත්, දරුවා සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණ බව දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය හඬා වැළපෙමින් පැවසූවාය.

තම පාසලේ මිතුරා ගැන තොරතුරක් අපේකෂාවෙන් පාසල නිමවී ඔහුගේ පන්තියේ මිතුරන්ද අතුරුදන් ගෞරවගේ නිවසට පැමිණ සිටින අයුරුද එහි ගිය අපිට දැක ගත හැකි විය.

දරුවා පැහැරගෙන ගිය බවට සැක කරන ඇස්වැද්දුමේ අසේල ප්‍රියන්ත නම් 45 හැවිරිදි විදුලි කාර්මිකයා සන්තකයේ දරුවා සිටින බව පොලිසිය අනාවරණය කර ගෙන තිබේ. අදාළ විදුලි කාර්මිකයා පැහැරගත් දරුවාද සමඟ පසුගිය (19 දා) වැනි දින නාවුල හා මාතලේ ප්‍රදේශයේ ඔහුගේ සහෝදරයකුගේ හා සහෝදරියකගේ නිවෙස් දෙකකට ගොස් පසුදින (20 දා) අලුයම එම නිවසකින් දරුවාද රැගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත. ඔහුට අයත්, YI – 1752 දරණ රතු පැහැති ත්‍රිරෝද රථයෙන් දරුවා පැහැර ගෙන ගොස් ඇති බවටද පොලිසිය අනාවරණය කර ගෙන ඇත. ඔහුගේ දුරකථන අංකයට ලැබුණු ඇමතුම් මෙන්ම, ඔහුගේ සමීපතමයන් රැසකගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද පොලිසිය පවසයි.

දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය:

පුතා අතුරුදන් වී අදට (22) දවස් 04 ක් වෙනවා. තවම තොරතුරක් නෑ. අනේ රත්තරන් පුතේ මට ඔයා නැතිව මේ ගෙදරට වෙලා ඉන්න බෑ, පුතා හවසට සෙල්ලම් කරලා චණ්ඩියෙක් වගේ අම්මේ කියාගෙන ගෙදරට එන හැටි මතක් වෙන කොට මට ඉන්න බෑ. මං එයාගේ ෆොටෝ ළඟ තියාගෙන බල බලා ඉන්නේ හැම වෙලාවකම, කොයි වෙලාවක හරි පුතා එයි කියලයි. කොයි වෙලාවකට හරි මගේ රත්තරන් පුතා මට කථා කරයි කියලා මං බලාගෙන ඉන්නවා.

මගේ පුතා හොඳින් ඉන්නවා කියලා මං දන්නවා, මගේ දරුවා ගෙනියපු කෙනාගෙන් මං ඉල්ලන්නේ මගේ දරුවාව මට දෙන්න. මට ඕන මගේ දරුවා විතරයි. මට දරාගන්න බෑ මගේ දරුවා මතක් වෙන කොට. මගේ දරුවා ආපහු එවන්න පිං සිද්ධ වෙනවා.

මගේ පුතේ ඔයා ඉන්න තැනකින් මට කථා කරන්න. මට ඔයාගේ කටහඬ හරි අහන්න ඕන මගේ පුතේ. මට ඔයා නැතිව පපුව පැලෙන්න එනවා. මං හොඳින් ඉන්නවා කියලා කියන්න ඉන්න තැනකින් මගේ පුතේ. මං වැඳලා කියන්නේ මගේ දරුවා ගෙනියපු කෙනාට කිසිම කරදරයක් කරන්නේ නෑ… මගේ දරුවා මට දෙන්න… යනුවෙන් හඬා වැටෙමින් පැවසුවාය.

තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment