පුද්ගලයකුට ළඟ තබා ගත හැකි විදේශ මුදල් ප්‍රමාණය ඩොලර් 10,000ට බස්සයි

430

පුද්ගලයකුට තම සන්තකයේ රඳවා තබාගතහැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 15,000 සිට ඇමෙරිකානු ඩොලර් 10,000 හෝ ඊට සමාන වෙනත් විදේශ විනිමය ප්‍රමාණයක් දක්වා අඩුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවේ සිටින සහ නේවාසික පුද්ගලයන්ට මේ නියමය අදාළ වන අතර එම නියමය බලාත්මක වන දිනයේ සිට එම විදේශ මුදල් බංකුවක තැන්පත් කිරීමට හෝ බලයලත් වෙළෙන්දෙකුට විකිණීමට දින 14ක පොදු සමාකාලයක්ද ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව මෙසේද පවසයි.

මහජනතාව අත ඇති විදේශ ව්‍යවහාර මුදල් විධිමත් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 8 වන වගන්තිය යටතේ නියමයන් පහත පරිදි නිකුත් කර ඇත. එනම් ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයකුට තම සන්තකයේ රඳවා තබාගත හැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් 15,000 සිට ඇ.එ.ජ. ඩොලර් 10,000 හෝ ඊට සමාන වෙනත් විදේශ විනිමය ප්‍රමාණයක් දක්වා අඩුකර ඇති අතර පහත සඳහන් දෑ සඳහා, ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන් සඳහා නියමය බලාත්මක වන දිනයේ සිට (2022 ජුනි 16) වැඩකරන දින 14ක පොදු සමාකාලයක් ලබාදී ඇත.

නියමයේ දක්වා ඇති පරිදි, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණීජ බැංකුවකට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට) විකිණීමට.

එකී පොදු සමා කාලය අවසානයේදී මෙම නියමය උල්ලංඝනය කරමින් තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබාගන්නා පුද්ගලයන්ට එරෙහිව විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියාමාර්ග ආරම්භ කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී. වැඩිදුර තොරතුරු ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ සම්බන්ධවීමෙන්, විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් විදේශ විනිමය පනතේ 8 වැනි වගන්තිය යටතේ වූ නියමයට 2022 ජුනි 16 දිනැති අංක 2284/34 දරන (අති විශේෂ) ගැසට් නිවේදනය මගින් සිදුකරන ලද ඉහත සංශෝධනයන් පරිශීලනය කිරීමෙන් සහ 011-2477255, 011-2398511 යන දුරකථන අංක මගින් විදේශ විනිමය දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment