පුද්ගලයන් ලියාපදිංචියෙන් හා ආගමන විගමනයෙන් ඩයනා ගැන ප්‍රකාශ ගන්න සීඅයිඩීයට නියෝග

121

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ශ්‍රී ලංකාවට පැමිණියේ කවදා ද? ඒ කවර කාල සීමාවක් සඳහා ද එම කාලසීමාව සඳහා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට වීසා බලපත්‍ර ලබාගෙන තිබේ ද යන කරුණු සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරින්ගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (23) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඇය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත් වූයේ කුමන විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගෙන ද යන කරුණු මෙන්ම ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය හා ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඉල්ලුම් කර ඇත්නම් එලෙස ඉල්ලුම් කරනු ලැබුවේ කෙදිනදැයි යන කරුණු සම්බන්ධයෙන් ද තම අධිකරණයට වාර්තා කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

බ්‍රිතාන්‍ය පුරවැසියකු යැයි චෝදනා එල්ලවී ඇති එම රාජ්‍ය අමාත්‍යවරිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ නියෝගයක් ලබාදෙන ලෙසට තම අධිකරණයෙන් ඉල්ලීම් කර ඇති බැවින් එම නියෝගය ලබාදීමට හෝ ප්‍රතික්‍ෂේප කිරීමට පෙර තම අධිකරණය පෙරකී කරුණු පිළිබඳ දැනුවත්ව සිටිය යුතු බව විවෘත අධිකරණය හමුවේ දී පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම නියෝගය කළේය.

පැමිණිලිකාර පාර්ශ්වය හා නීතීඥ ප්‍රජාව අපරාධ විධාන සංග්‍රහයේ 32 වගන්තිය ප්‍රකාරව තම අධිකරණයෙන් ඉල්ලා ඇති නියෝගය ලබන 6 වැනිදා නිකුත් කිරීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දින නියම කළේය.

එම රාජ්‍ය අමාත්‍යවරිය ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවට නිරීක්‍ෂණය වන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව 2019.3.9 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇති මුල් වාර්තාව මගින් ම පෙන්වා දී ඇති බැවින් එකී නිරීක්‍ෂණ මත එකී වැරදි සිදුකර ඇති බවට සාධාරණ සැකයක් මතුවී ඇති බැවින් ඩයනා ගමගේ මහත්මියව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන්නැයි පැමිණිලිකාර ඔෂල ලක්මාල් හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රජගෙදර සිටින අයට මෙන්ම පැල්පතේ සිටින දිළින්දාටත් නීතිය එක සමාන විය යුතු වුවත් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියක් වීම නිසා විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පමණක් නොව නීතිපති දෙපාර්තමේන්තුව ද බියවී ඇයට එරෙහිව කටයුතු නොකොට කල්මරමින් නිටින්නේ යැයි නීතීඥ ප්‍රජාව වෙනුවන් පෙනී සිටි නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට පැවසීය. විමර්ශන සිදුකරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ විමර්ශන උධෘත අධ්‍යයනය කර එම රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව ගොනු කළ හැකි චෝදනා සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව විමර්ශන ලබාදෙන නමුත් ඇය අත්අඩංගුවට ගන්නේ ද නැති ද යන කාරණය තීරණය කළ යුත්තේ විමර්ශන නිලධාරීන් වන්නේ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුලසූරිය මහත්මිය අධිකරණයට පැවසුවාය.

තම දෙපාර්තමේන්තුව විසින් ඕනෑම සැකකරුවකු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදෙනුයේ ඔහුගේ හෝ ඇයගේ තරාතිරම හා තත්ත්වය සම්බන්ධයෙන් සලකා බැලීමෙන් නොව, ඉදිරිපත් වන සාක්‍ෂි පදනම්ව වන්නේ යැයි අධිකරණයට පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් ද අනුගමනය කරනුයේ ක්‍රියාපිළිවෙතම වන්නේ යැයිද ප්‍රකාශ කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment