පුනර්ජනණීය නංගිව පෙන්නලා දූෂිත අක්කාව ජනතාවගේ පිට දැම්මා

388

මෙගා වොට් 100ට වැඩි ව්‍යාපෘති ටෙන්ඩර් කළානම් හොරා කන්න බෑ

විදුලි බල පනත සංශෝධනය කිරීමට ගත් ක්‍රියාමාර්ගය ඓතිහාසික වැරැද්දක්!

විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා ඉතා සක්‍රීය ලෙස වැඩ කිරීම පිළිබඳ විපක්ෂයක් ලෙස බොහෝ පැහැදීමකින් සිටියද විදුලි බල පනත සංශෝධනය කිරීමට ගත් ක්‍රියාමාර්ගය ඓතිහාසික වැරැද්දක් යැයි සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (10දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ විදුලිබල පනත් සංශෝධනය ලංකාවේ ඛේදනීය ඉරණම පිළිබිඹු කරන මොහොතක්. මේ රටේ තරුණ පරම්පරාව රටෙන් දූෂණය අතුගා දමන්න, හොරකම් කරපුවා අල්ලන්න, හොරාකාපුව නැවත ගේන්න කියන මොහොතක පුනර්ජනණීය නංගිව පෙන්නලා දූෂිත අක්කාව ජනතාවගේ පිට දැම්මා. විදුලිය කපන නිසා මිනිස්සු පෝලිම්වල ඉන්න නිසා කොහෙන් හරි ගෙනල්ල කරන්ට් එක දෙන්න පෝලිම් ටික නැති කරන්න කියලා ජනතාවගේ ඉල්ලීමක් තිබුණා. ඒක පාවිච්චි කරලා මේ ව්‍යසනකාරී තත්ත්වය තුළ රටේ ජාතික සම්පත් කොල්ල කන්න ඉඩ දෙන්න බැහැ. අගමැති තුමා කිව්වා මේ ව්‍යාපෘති ආදානිලාට දෙන්නෙ නැතිව නැවත ඉන්දියාවෙන් ණය ඉල්ලන්න බැහැ කියලා. ඒ කතා කරන්නේ හිඟාකන එකක් ගැන. ඒ නිසා නෙළුම් කුළුණ, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය, සූරියවැව ක්‍රීඩාංගණය එවැනි මහා පරිමාණ ව්‍යාපෘති කිසිම කළමනාකරණයක් නැතුව කරලා අද රටට අත්වෙලා තියෙන ඉරණම මොකක්ද? අවසානෙදී ඒ සියල්ල නිසා ණය ගෙවා ගන්න බැරි තත්වයට වැටිලා. ආර්ථිකය බංකොලොත් වෙලා. මිනිස්සුන්ට කන්න නැතුව පෝලිම් යුගයක් නිර්මාණය වෙලා.

ආණ්ඩුවේ කට්ටිය උත්සාහ කරා විපක්ෂයේ කට්ටිය ඩීසල්, ඉංජිනේරු මාෆියාවට යටවෙලා පනතට විරුද්ධ වෙන්න යනවා කියන්න. මේ ඉංජිනේරු මාෆියාවට විපක්ෂය යට වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි විදුලිබල මණ්ඩලයේ සේවකයෙක්ට අවුරුදු තුනකට සැරයක් පඩි වැඩි කිරීම සඳහා ජනතාවගේ ඒක අය කරගන්න හෝ ලංකාවේ දේශීය සම්පත් විකුණලා ලැබෙන මුදල් අරගෙන ඒකෙන් වැඩි පඩි ගෙවන්න අපි එකඟ වෙන්නෙත් නෑ. අපි කිව්වේ මොකක්ද මෙගා වොට් 10ට අඩු ව්‍යාපෘතිවලට ටෙන්ඩර් ඕන නෑ. ඒකට අපි එකඟයි. මොකද අපේ ගෙදර තමන්ගේ තියෙන වත්තේ හුළං මගින් විදුලිය ගන්න එකට තව කෙනෙකුට ටෙන්ඩර් දාන්න බැහැ. අපිට ඒක තේරෙනවා. අපි කිව්වේ මෙගා වොට් 100ට වැඩි ඒවා ටෙන්ඩර් කිරීම හරහා පමණක් නෙමෙයි විදුලි බල මණ්ඩලය අනුමත කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න කියල. ඒකෙදී හොරකම් කරන්න බෑ. විනිවිදභාවයක් ඇතුව කරන්න වෙනවා. හොරා කන්න තියෙන ඉඩ අහුරනවා. මොකක්ද මේගොල්ලෝ කරේ. ඇමතිතුමාගේ තක්කඩි කතා සහ ඒකටම හරියන අගමැති පත්වෙලා ඉන්නවා.

දහයෙන් එහා ඒවත් අපිත් එක්ක එකතු වෙලා ටෙන්ඩර් නැතුව දෙන්න යන්නේ. මේ ලංකාවේ භූමියේ ප්‍රතිලාභ හිමි විය යුත්තේ ලංකාවේ ජනතාවට. එතකොට ආදානී හෝ වෙනත් සමාගමක් ලංකාවට ඇවිත් ලංකා භූමියට පතිත වන හිරු එළිය ඔවුන්ගේ ප්‍රාග්ධනය වශයෙන් පාවිච්චි කරලා ඒක අපිටම විකුණනවා ඒක මාර වැඩක්. ඒ නිසා පැහැදිලිව කියනවා පහුගිය දවස් වල අපි කාංචන විජේසේකර සක්‍රීයව වැඩ කරන එක ගැන විපක්ෂයක් විදියට බොහොම පැහැදීමෙන් හිටියා. නමුත් ඊයේ වැඩේ කැතයි ඒක ඓතිහාසික වැරැද්දක් මොකද හේතුව මේ ව්‍යසනකාරී තත්ත්වය තුළ අපි කල්පනා කරන්න ඕන නැවත නැවතත් දිගින් දිගටම හිඟමනේ යෑම නවත්තලා අපි කොහොමද ස්වයංව කකුල් දෙකෙන් හිට ගන්නේ කියලා.

බැසිල් රාජපක්ෂගේ ගෝලයෝ රොත්ත තමයි 69 ලක්ෂයක් හරහා පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ. ඔළුගෙඩි සෙල්ලම්වලින් තමයි මේ කුපාඩි වැඩ ටික සේරම කරන්නේ. එතකොට බැසිල් රාජපක්ෂ අයින් වුණා කියලා එකපාරම ඕක නැති වෙන්නේ නෑ හැබැයි බැසිල් රාජපක්ෂගේ ගෝලයෝ මම දැක්ක විදිහට තුෂ්නිම්බූත වෙලා ඉන්නේ ලොක්කා පාර්ලිමේන්තුවේ නෑ. මොකද අපිට වෙන්නේ. තවදුරටත් බැසිල් රාජපක්ෂ කියන්නේ රට තුළ ජනප්‍රිය චරිතයක් නෙමෙයි. තවදුරටත් ජනවරම හිමිවන චරිතයක් නෙමෙයි. ඔහු පෙන්වපු මායාවල් තුළ මොළ හතක් තියෙනවා හරියට කරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන්. මොළ හතක්ද බූරුවෙක් ද කියන්න මම දන්නෙ නැහැ. රටේ ජනමතය මොකක්ද කියන එක තේරෙනවා. ඒ නිසා ඒ අයගේ දේශපාලන අනාගතය ගැන කල්පනා කරන බවක් පේනවා. බැසිල් රාජපක්ෂ කියන්න තවදුරටත් මේ රටේ දේශපාලනය අක්‍රීය වෙමින් දිය වෙමින් යන චරිතයක්. නමුත් බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේන් එලියට ඇවිත් ඊයේ දුන්න පොරටෝක් ටික දෙන්න කිසිම අයිතියක් නෑ. බැසිල් රාජපක්ෂට දේශපාලනය කරන්න පුළුවන් හැබැයි ඒ අයට හිමිවිය යුතු තැන අනාගතයේ දී අපි ලබා දිය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද මෙහිදී අදහස් දැක්වීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment