පුනරුත්ථාපනය කළ යුත්තේ කවුද?

959

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කඩිමුඩියේ අත්සන් කරන ලද අධිආරක්‍ෂිත කලාප පිළිබඳ ගැසට් නිවේදනය දැන් අහෝසිකර තිබේ. මේ සම්බන්ධයෙන් විපක්‍ෂවලින් මෙන්ම දේශීය හා වෙනත් සංවිධානවලින් ද ආණ්ඩුවට එල්ල වූයේ දැඩි විවේචන ය. මෙයට අමතරව රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් පනවන ලද සමාජ මාධ්‍ය තහංචියට ද බලවත් විරෝධතා මතුවෙමින් තිබේ. මේවා ජනතාව වෙනුවෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීමට ගන්නා ලද තීන්දු තීරණ නොවන බව ආණ්ඩුවට අලුතින් පෙන්වා දිය යුතු නැත. දැන් සමාජ – දේශපාලන අංශවල දැඩි කතාබහට ලක්ව තිබෙන්නේ පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන යෝජනාවය. මෙය රාජපක්‍ෂවරුන්ගේම අදහසක් බලාත්මක කිරීමට දරන ප්‍රයත්නයක් ලෙස බොහෝදෙනෙක් හඳුන්වති. නාමල් රාජපක්‍ෂ ඒ වෙනුවෙන් පෙනීසිටීම ද සමහරු විවේචනය කරති. කුමක් වුවත් අද රටේ තිබෙන මූලික ප්‍රශ්නය ක්‍ෂණික පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ද? එයින් මේ රටේ ආර්ථිකයට හෝ දේශපාලන කැළඹීම්වලට ලැබෙන ප්‍රතිඵලයක් හෝ සහනයක් තිබේද? අනෙක් අතට නාමල් මන්ත්‍රීවරයා පවසන අරගලයට රැවටී නොමඟ ගිය තරුණයන් හඳුනාගෙන පුනරුත්ථාපනය කළ යුතුය යන අදහස වුවද විවාදයට තුඩුදෙන්නකි. මන්ද යත් අරගලයට රැවටුණු අය මෙන්ම දේශපාලන පක්‍ෂවලට රැවටී නොමඟ ගිය අය ද මේ රටේ නොවෙත්දැයි අපි ඔහුගෙන් ම අසමු.

පුනරුත්ථාපනය කළ යුත්තේ කවුද?

අද රාජපක්‍ෂවරුන්ගේ කඳවුරෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුළම ස්වාධීනව සිටින කණ්ඩායම් කීපයක් ම වෙති. ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වූයේ රාජපක්‍ෂ පවුල් පාලනයට විරුද්ධවය. එයින් ගම්‍ය වන්නේ මේ අය, රාජපක්‍ෂවරුන්ට, ඔවුන්ගේ දේශපාලනයට රැවටී සිටි බව නොවේද? එසේනම් ඔවුන්ගේ දේශපාලන ප්‍රතිචාරය ගැන නාමල් මන්ත්‍රීගේ ආකල්පය කුමක්ද?. කුමක් වුවත් පුනරුත්ථාපනය යන්න දේශපාලන දෘෂ්ටිකෝණවලින් බලා නිගමනවලට එළැඹීම ප්‍රශ්නකාරී බව මේ තරුණ මන්ත්‍රීවරයාට ඒ පිළිබඳ දැනුම් තේරුම් තිබෙන ජ්‍යෙෂ්ඨයෝ පහදා දිය යුතු වෙති. කලකට පෙර මෙරටේ තරුණයන් සම්බන්ධ වූ ප්‍රධාන කැරලි දෙකක් විය. ඒ 1971 අප්‍රේල් කැරැල්ල හා උතුරේ තරුණයන් එක්ව සිටි දීර්ඝ බෙදුම්වාදී යුද්ධයයි. මෙම අවස්ථා දෙකෙහිදීම සිදු වූයේ අවිගත් පිරිස්, පැවැති ආණ්ඩුවට විරුද්ධව සටන් වැදීමය. ඔවූහු පොලිසිය හා ආරක්‍ෂක හමුදා සමඟ ද ගැටුම්වලට ගියෝ ය. එසේ වුවද 1971 දී සිදුවූ පුනරුත්ථාපන වැඩපිළිවෙළට පසුකාලීනව වුවද ප්‍රශංසා ලැබුණි. එදා සිරිමා අගමැතිනිය ඒ සඳහා විශේෂ ක්‍රියාන්විතයක් දියත් කළාය. එහෙත් 88 – 89 භීෂණ යුගයේදී බොහෝ තරුණයන්ට අත්වූයේ මරණය බව ද රහසක් නොවේ. උතුරේ එල්.ටී.ටී.ඊ. ව්‍යාපාරයට සම්බන්ධව සිටි තරුණයන් වෙනුවෙන් ද පුනරුත්ථාපන වැඩපිළිවෙළක් විය. එහිදීත් සාධනීය ප්‍රතිඵල රටට ලැබුණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ නායිකාවක වූ තමිලිනී ද පුනරුත්ථාපන මධ්‍යස්ථානයක අලුත් ජීවිත අපේක්‍ෂාවකින් ක්‍රියා කළ තරුණියකි. 2013 ජුනි 26 දින වව්නියාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඇය යළිත් නිදහස් ජීවිතයකට යොමු වූවාය. (පසුව ඇය පිළිකාවකට ගොදුරුව මරණයට පත් වූවාය.) පසුව සිය යුදමය අත්දැකීම්වලින් බිඳක් හෙළිකරමින් ඇය ග්‍රන්ථයක් ද පළ කළාය. ‘තියුණු අසිපතක සෙවණ යට’ නමින් තමිලිනීගේ එම කෘතිය සිංහලට ද නැඟුණි. ඇගේ අත්දැකීම් මෙන්ම ඇය විසින් විඳින ලද වේදනාවන් පිළිබඳව ද ඇගේ අනාවරණයන් අතිශය වැදගත් ය. මේ ඇය විසින් දක්වන ලද අදහසකි.

“අරගලය මුළුමනින්ම තම අන්තර්ගතය බවට පත්කරගත් විමුක්ති කොටි සංවිධානයේ මම ද එක් සාමාජිකාවක්ව උන්නෙමි. අරගලයෙහි අවසන් වසර විස්ස තුළ මම ද සාක්‍ෂියක් ලෙස යුද්ධය සමඟ ජීවත් වූවෙමි. සටන්කාමීන් වූ අපි අපේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූවෙමු. අත දරාගෙන සිටි ආයුධ ආරක්‍ෂා කර ගැනීමට අපි අපේ දේශපාලන අරමුණු පරාජය කළෙමු. අද අපේ ජනතාවගේ ජීවිතය සියවස් ගණනක් පිටුපසට ගොස් ඇතැයි මට දැනෙයි ….. වසර තිස්පහකට වඩා දිග්ගැස්සුණු යුද්ධයෙහි තුවාල තවමත් අපේ පරම්පරාව තම සිත් තුළ දරාගෙන සිටියි.”

“මේ රටේ තවත් වතාවක් ලේ ගංගාවක් ගලා නොයා යුතුය. කිසිම මාතාවක් තම දරුවා වැදූ කුසට ද දරුවා හොවා ඇති මිනී පෙට්ටියට ද ගසමින් අඬා වැළපීම නොකළ යුතුය. අපේ අනාගත පරම්පරාව අපේ බුද්ධිමය ශක්තියෙන් පමණක් ලෝකය දිනාගැනීමට අනවරත උත්සාහයක නිරත විය යුතුය.” (පරිවර්තනය සාමිනාදන් විමල්)

මා මෙය උපුටා දැක්වූයේ අතිශය බිහිසුණු අරගලයක අත්දැකීම්වලින් කම්පනයට පත්වූ තරුණියකගේ පාපොච්චාරණයෙහි වූ වැදගත් හා ගැඹුරු දැක්ම අවධානයට ලක්විය යුතු යැයි හැඟී ගිය හෙයිනි. එහෙත් මේ ගාලු මුවදොර අරගලය තුළ එබඳු ගැඹුරු මානුෂික කම්පනයක් තිබුණු අය සිටිත් ද? අවි අතට ගැනීමක් හෝ ප්‍රචණ්ඩත්වයක් කරා නොගිය සාමකාමී අරගලයකට දායකවූවන්ට එබඳු පුනරුත්ථාපනයක් යෝජනා කිරීම ප්‍රායෝගික හෝ අර්ථපූර්ණ ක්‍රියාවක් ද නොවේ. ඒ අරගලයෙන් ඔවුන්ට ගත යුතු පාඩම් මෙන්ම අත්හල යුතු දේවල් ද තිබේ. ඒ බුද්ධිමත් තරුණ තරුණියන්ට ඒවා වටහා ගත නොහැකි යැයි අපට නම් කිව නොහැක. එහෙත් නාමල් වැනි තරුණ මන්ත්‍රීවරයකු ඒ නොමඟ යෑමක් ලෙස දකින පදනම පැහැදිලි කළ යුතුය. එහෙත් එහිදී නාමල් කියන ගෙවල් ගිනිතැබූ, ජනතා සම්පත් විනාශ කළ අය නීතිය ඉදිරියට ගෙන ඒම හොඳ යෝජනාවකි. එසේම මේ අරගලයේ ගැටුමට තුඩුදුන් සිදුවීමට සම්බන්ධ බව කියන පොහොට්ටුවේ ම පිරිසක් සිටිති. එහි දේශපාලන චරිත ද වූහ. සමහරු දැන් ඇපපිට නිදහස්ව සිටිති. මේ අය ද තමන් කළ විනාශයට වගකිවයුතු වෙති. ඒ නිසා ඔවුන්ට ද පුනරුත්ථාපන ක්‍රියාවලියක් අත්‍යවශ්‍යය. ඔවුන්ට දේශපාලන පරිචයක් නොවූ බව ද පැහැදිලිය. එහෙත් ගාලුමුවදොර එබඳු චරිත කීයක් සිටියෝ ද?

පුනරුත්ථාපනය යනු නොමඟ ගිය අය සමාජගත කිරීම සඳහා පිළිගත් ක්‍රියාදාමයකි. එය ආත්ම සංයමය, නිරීක්‍ෂණ ශක්තිය, මානව වටිනාකම් පිළිබඳ පුහුණුවක් ලබාදෙන ශාස්ත්‍රීය මෙහෙවරක් ලෙස ද පිළිගනු ලැබේ. නාමල් මන්ත්‍රීවරයා පවසන පරිදි රැල්ලට හෝ බලහත්කාරයෙන් හෝ එම විරෝධතාවන්ට එක්වූ අය සිටිත් ද යන්න මෙතෙක් වාර්තා වී නැත. ඒ බව සොයා බලා එබඳු පුනරුත්ථාපන වැඩපිළිවෙළකට යොමු කිරීම වරදක් ලෙස කිව නොහැක.

අද මේ රටේ බොහෝ විෂමාචාර, වංචා, දූෂණ, නාස්තිය ආදී ක්‍රියා පිළිබඳ විවිධ වාර්තා ඇසෙයි. රාජ්‍ය මට්ටමින් කෙරෙන පුනරුත්ථාපන වැඩපිළිවෙළකට මුලින්ම යොමුවිය යුත්තේ එබඳු පිරිස් නොවේද?. ඔවුන්ට තමන් විසින් සිදුකරනු ලබන ගර්හිත, නින්දිත ක්‍රියාවල ආදීනව පෙන්වා ඔවුන් යහපත් අවංක පුරවැසියන් බවට පත්කළ හැකි නම් මෙරටේ තිබෙන ප්‍රශ්නවලින් 3/4 ක් ම විසඳෙනු ඇත. ඇත්ත වශයෙන් ම අද මෙරටේ රාජ්‍ය පාලනයට මෙන්ම රාජ්‍ය සේවයට ද අවශ්‍ය වන්නේ විනයක්, සදාචාරයක් මෙන්ම අවංක හා විවෘත පුද්ගලයන් බව අද ජනතාවම ඉල්ලා සිටිති. ගාලුමුවදොර අරගලයේ හරය වූයේ ද එයයි. ඔවුන් විසින් අවධාරණය කරන ලද්දේ නිදහසින් පසු මේ රටේ බිහිවී ක්‍රමක්‍රමයෙන් බරපතළ විකෘතියක් බවට පත්ව තිබෙන මෙම ක්‍රමය වෙනස් විය යුතු බවය. ‘සිස්ටම් චේන්ජ්’ ක්‍රමයේ වෙනසක් ලෙස ඔවූහු එය හැඳින්වූහ. ඔවුනගේ දෝෂදර්ශනයට, විවේචනයට, අප්‍රසාදයට ලක්වූයේ ඒ පවත්නා ක්‍රමය පමණක් නොව එය නඩත්තු කරන්නා වූ පිරිස් ය. පාර්ලිමේන්තුවේ 225 දෙනාම ඔවූහු ප්‍රතික්‍ෂේප කරති.

මේ වනවිට ජනාධිපතිවරුන්ම කීදෙනෙක් බලයට පත්වී දැයි නිකමට සිතා බලන්න. ආණ්ඩු කීයක් ජනතාව විසින් තෝරාගනු ලැබුණිද. දැන් පක්‍ෂවලටත් කුඩා කණ්ඩායම්වලටත් බෙදී වෙන්ව සිටියත් ඒ බොහෝදෙනෙක්ම මේ රටට අද අත්ව තිබෙන ඉරණමට වගකිව යුතු වෙති. අපට පෙනී යා යුතු වැදගත්ම කරුණ වන්නේ ද මේ හැම නායකයකු මෙන්ම ඒ හැම පාලනයකදීමත් මෙරටේ බහුතර ජනතාව රැවටීමට ලක්ව තිබෙන බවය. වෙනත් ආකාරයකින් කිවහොත් අපට කළ හැකි වී ඇත්තේ එක් කණ්ඩායමක් ඉවත් කර තවත් කණ්ඩායමක් තෝරා ගැනීම පමණි. හොඳම කණ්ඩායමක් තෝරා ගත හැකි වූයේ නම් මේ අත්ව තිබෙන විනාශය යම් පමණකින් අඩුවීමට ද ඉඩ තිබුණි. අපේ තරුණයන් ඉල්ලා සිටියේ ඒ වෙනසය. අපට පසක් නොවුණු දේශපාලන යථාර්ථයක් දුටු තරුණ අරගලකරුවන් පුනරුත්ථාපනය කළ යුතු යැයි සිතීම පවා මුළාවකි.

මෙම අරගලය සර්ව සම්පූර්ණ එකක් නොවූවා සේම එහි විවිධ ගැටලු ද තිබුණි. එහෙත් තරුණයන්ට අප නොසිතූ පෙරළියක් කළ හැකි විය. ඒ අරගලය නොවන්නට ගෝඨාභය තවමත් ජනාධිපති ය. මහින්ද අගමැතිය. ඒ පවුලම නිල බල සහිතව රට මෙහෙයවනු ඇත. එහෙත් දැන් වටයක් කැරකී මුලටම පැමිණ ඇත්තේ තරුණ අරගලය විසින් ප්‍රතික්‍ෂේප කරන ලද දේශපාලන නඩයම නොවේද?. අරගලය අනුමත නොකළත් සිදු වී තිබෙන එකම වෙනස ජනාධිපති ලෙස රනිලුත්, අගමැති ලෙස දිනේෂුත් පත්වීම පමණි. නිල බල නැතත් තවමත් තිරය පසුපස රාජපක්‍ෂ මෙහෙයුම තිබෙන බව ද පැහැදිලිය.

ජනාධිපති රනිල් ආර්ථික අර්බුදයට දී තිබෙන එකම විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව ඒ කටයුතු මෙහෙයවීම පමණි. එහෙත් ඉන්ධන, විදුලිය, ඖෂධ, ගෑස්, පොහොර ඇතුළු ආහාර සුරක්‍ෂිතතාව, ඉහළ යන භාණ්ඩ මිල පාලනය යනාදී කිසිවකට අදාළ පුළුල් සැලසුම් නැත. විවිධ සමාජ කොටස්වලට අයත් අපේ ජනතාවගෙන් නාගරික මැද පන්තිය හා ග්‍රාමීය ජන ජීවිත දැඩි අර්බුදවලට මැදිව සිටිති. පහළ සමාජ තලවල ජීවිත කෙතරම් දුක්මුසු ද? දුසිම් තුනකටත් වඩා රාජ්‍ය ඇමැතිවරුම සිටිති. එහෙත් පොදු ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගෙදර බතක් ඉදෙන්නේ දැයි දැක බලා ගැනීමට කී දෙනෙක් ගියෝද? පොහොට්ටුවේ ඇමැති, මන්ත්‍රී හා ඔවුන්ගේ සමීපතමයන්ට මේ දුක් වැටහී තිබේද? ගොවි බිම්වල විශේෂයෙන් වී අස්වනු විකුණාගත නොහැකි වූ ගොවීහු කෘෂිකර්ම ඇමැතිවරයා පතුරු ගසති. දිනපතාම වාගේ වන අලින් නිසා විපතට පත්වන ජන ජීවිත කිසිවකට වනජීවී බලධාරීහු විසඳුම් නොදෙති.

පසුගිය දිනක ඉන්ධන මිලට දුන් සහනය නිසා ජනතාවට ලැබුණු යහපතක් නැත. ත්‍රිරෝද රියැදුරන් කියන්නේ සතියකට ලැබෙන තෙල් (පෙට්‍රල්) ලීටර් 05 න් කිසිදු සහනයක් ජනතාවට ලබාදිය නොහැකි බවය. ඩීසල් වාහන සමඟ සියලුම ප්‍රවාහන කටයුතු ගැටගැසී තිබීම නිසා පෙට්‍රල් අඩු කිරීමේ වාසිය කාටදැයි සමහරු ප්‍රශ්න කරති. ඇතැම් වෘත්තීය සංගම් කියන්නේ ද ඒ සහනයත් මැති ඇමැති හා නිලධාරීන්ගේ වාහනවලට පමණක් බවය.

මේ අතර ඉන්ධන සම්බන්ධයෙන් එල්ල වන දූෂණ චෝදනා ගැන ජනමාධ්‍ය ඔස්සේ බොහෝ දේ දැකීමට, ඇසීමට ලැබේ. ශ්‍රීලනිපයේ දයාසිරි ජයසේකර චෝදනා කරන්නේ ද තමන්ට වාසි ලැබෙන සමාගම්වලින් තෙල් ගෙන්වන බවය. ලෝකයේ තෙල් මිල අඩුවට තිබියදීත් තමන්ගේ සහෝදරයන්ගේ කොටස් තිබෙන සමාගම්

තෝරාගෙන ඇතැයි ඔහු කරන චෝදනාව බරපතළය. රටේ ප්‍රශ්නවලට විසඳුම් දීමට සම්මත කරගත් ජාතික සභාවට පොහොට්ටුවේ මෝඩයන් පිරිසක් පත්කර තිබෙන බව ද ඔහු කියයි. ලක්‍ෂ 25 ක් මසකට වියදම් කරමින් ඇමැතිවරයකු නඩත්තු කරන රටට තවත් එබඳු නාස්තිකාර ඇමැතිවරුන් කුමකට ද යන ප්‍රශ්නය ද ඔහු නඟා තිබේ. ඒ පක්‍ෂයේම නායක හිටපු ජනාධිපති මෛත්‍රී කියන්නේත් තම පක්‍ෂයේ සමහරුන්ට ඇමැතිකමක් නැතුවම බැරි ලෙඩක් තිබෙන බව ය. ඒ කතාව සැබෑවකි. මේ වනවිට ශ්‍රීලනිපයේ කීපදෙනෙක්ම ආණ්ඩුවේ ඇමැතිවරු වී සිටිති. ඒ පක්‍ෂයේ මතයට පටහැනිවය.

ගාලු මුවදොර අරගලයට එක්වූ ඇතැම් අය පුනරුත්ථාපනය කිරීමට පෙර මේ ආණ්ඩුවේ සිටින දේශපාලන රෝගීන් පුනරුත්ථාපනය කළහොත් එය රටට සේවයකි. පුනරුත්ථාපනයකින් අපේක්‍ෂා කරන මානසික ශක්තිය, සමාජය හා ජීවිතය පිළිබඳ දැක්ම, ආත්ම සංයමය ලබාදිය යුතු සෑහෙන පිරිසක් දේශපාලනයේ ද සිටිති. මේ තරම් විනාශ වී සිටින සමාජයක සම්පත්, පොදු ජන අරමුදල් කොල්ලකෑමට තරම් පෙලඹෙන අය නම් පුනරුත්ථාපනය කිරීමේ තේරුමක් ද තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ ඔවුන් එබඳු කාර්යයක් සඳහා යොදා ගැනීමට හැකි ද යන්නයි. රටට, පොදු ජනතාවට ආදරය කරන මහජන සම්පත් ආරක්‍ෂා කළ යුතුය යන නව චින්තනය ඒ ඇට්ටකුණා වූ දූෂිත දේශපාලනඥයන්ට ද ලබා දිය නොහැකි බව අපගේ අදහසය.

මේ වන විට කෝප් හා කෝපා කමිටුවලට පත්කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය ප්‍රකාශයට පත්ව තිබේ. මෙහිදී හිටපු කෝප් සභාපතිවරයා වන මහාචාර්ය චරිත හේරත්ගේ නම ඉවත්ව තිබේ. සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ හිටපු සභාපතිවරයකු එහි සාමාජිකයකු ලෙස පත්කිරීමය. එහෙත් මහාචාර්ය චරිත හේරත් එම කමිටුවට යෝජනා නොකිරීම ගැන විවිධ විවේචන ඇත. ඔහු කියන්නේත් සිය නිල කාලය තුළ රාජ්‍ය ගනුදෙනු පිළිබඳ බරපතළ ලෙස ප්‍රශ්න කිරීම නිසා කලබලයට හා බියට පත් අය ඔහුගේ පත්වීම වැළැක්වීමට ක්‍රියා කරන්නට ඇති බවය. ඇත්ත වශයෙන්ම ඔහු විසින් කෝප් කමිටවුට කැඳවා සිදුකළ විමර්ශන ඉතා අගය කළ යුතුය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, විදුලිය වැනි ආයතන මොන තරම් මහජන මුදල් නාස්තිකර තිබේ දැයි ඒ විමර්ශනවලින් හෙළිවී තිබේ. නඩු නැති වුවත් ඒ වැඩ මේ ආණ්ඩුවේ ම ප්‍රබලයන්ගේ සෙවණ යට සිදු වූ බවට අනුමාන කළ හැකිය. ඒවා ප්‍රශ්න කළ සභාපතිවරයා යළිත් සාමාජිකයකු ලෙස හෝ එම කමිටුවේ වාඩිකරවීමේ අනතුර ඒවාට හවුල් වූ අය දනිති.

කෝපා කමිටුවෙන් චරිත ඉවත් කිරීම මෙන්ම එයට ආණ්ඩුව නියෝජනය කරමින් පත්ව සිටින අය ගැන ජවිපෙ අනුර කුමාර කළ ප්‍රකාශය කෙතරම් උත්ප්‍රාසනීය ද? ඔහුට අනුව මෙම කමිටුවට පත්වූ පොහොට්ටුවේ ඇත්තන් ගැන පළමුව විමර්ශනය කළ යුතු බවකි. කුමක් වුවත් අද පොහොට්ටුව මේ දේශපාලන ක්‍රීඩාව තුළ තම පැවැත්ම සුරක්‍ෂිත කර ගැනීමේ අරගලයක නිරතව සිටින බව සැඟවිය නොහැක. තමන්ගේ රහස් දන්නා, කලකට පෙර එකට වළඳා, එකට දඩයමේ ගිය අයත් අද විරසකව සිටිති. මේ කෝප් කමිටු බලගැන්වීම ප්‍රවේශමෙන් කළ යුතු බව පොහොට්ටුවේ ප්‍රබලයෝ දනිති. මහාචාර්ය චරිත නම් කීවේ දේශපාලනයෙන් පරිණත වූ ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක් සිටින පාර්ලිමේන්තුවක තමන්ට මුහුණදීමට සිදු වූයේ අවාසනාවන්ත අත්දැකීමකට බවය. එහෙත් මේ නිල බල වලට පසුපස තිරයට මුවාවී සිටින දේශපාලන බලය කුමක් දැයි ඔහු වටහා ගත යුතුය.

කෙසේ හෝ මේ සියලු දේවලින් අපට නම් පෙනී යන්නේ අරගලයේ නොමඟ ගිය හා රැල්ලට ගිය අයට කලින් මේ කුජීත හා අධම දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාම පුනරුත්ථාපනය කළ යුතු බවය. ඇත්ත වශයෙන්ම තවදුරටත් ඒ කණ්ඩායම්වලට පරණ පුරුදු දේශපාලන සෙල්ලමට ඉඩ දිය යුතු නැත. මුලු මහත් සමාජ ආර්ථික දේශපාලනයම ප්‍රපාතයට ඇද දැමූ අය එලෙසම රඳවා තබාගෙන මේ රට ගොඩනැඟිය හැකිද? විපක්‍ෂ නායක සජිත් කී ලෙසම මේ පුනරුත්ථාපනය පටන් ගත යුත්තේ ද දියවන්නාවෙන් ය!

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment