පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ලොක්කෝ පැන යති… නිරෝධායනය වන මන්ද මානසික වැඩිහිටියෝ බඩගින්නේ

178

කටුනායක ටී.කේ.ජී. කපිල
 
 කටුනායක සීදුව, දුම්රිය පොළ පාරේ පවත්වා ගෙන යමින් තිබූ මන්ද මානසික රෝගීන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පළමු පෙළ ආශ‍්‍රිතයන් පිරිසක් නීති විරෝධී ලෙස ඔවුන්ගේ නිවෙස්වලට යවා එම පාලනාධිකාරිය ද හොර රහසේ පැන ගොස් ඇත.
 
 ඉතිරි රෝගී වැඩිහිටියන් පිරිස දින ගණනාවක් තිස්සේ නිරාහාරව සිටියදී ප‍්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ සීදුව පොලිසියේ නිලධාරීන් එක්ව බේරා ගැනීමට මැදිහත් වී තිබේ.
 
 නීතිඥවරයකු විසින් පවත්වා ගෙන යනු ලබන මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මන්ද මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන වැඩිහිටියන් 107දෙනකු ප‍්‍රතිකාර ලබමින් පසු වී තිබේ.
 
 ඉකුත් ජුනි 28 වැනිදා මෙම පිරිස අතර සිටි 30දෙනකු කොරෝනා ආසාදිතයන් බවට පත් වී සිටි අතර, ඔවුන් වැඩිදුර වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
 
 ඉතිරි රෝගී වැඩිහිටියන් පිරිස කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළම පළමු පෙළ ආශ‍්‍රිතයන් ලෙස නිරෝධායන ක‍්‍රියාවලිය සඳහා යොමු කර තිබේ.
 
 ඉන් පසුව මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පාලනාධිකාරිය විසින් මෙම පළමු පෙළ ආශ‍්‍රිතයන් පිරිස, නීතිවිරෝධී ලෙස ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝගයන්ට එරෙහිව ඔවුන්ගේ නිවෙස් වෙත යවා තිබේ.
 
 තවදුරටත් මෙම මධ්‍යස්ථානයේ 30දෙනකු පමණ නිරෝධායනය වෙමින් සිටින අතර ඔවුන් හැර දමා මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පාලනාධිකාරියේ සාමාජිකයන් පිරිස පලා ගොස් තිබුණි.
 
 මෙයින් පසු දින ගණනාවක් මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ නිරාහාරව සිටින මෙම පිරිස පිළිබඳ තොරතුරු ප‍්‍රදේශවාසීන් වෙත ලැබී තිබූ අතර, ඔවුන් වහාම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් සහ සීදුව පොලීසියේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
 
 ඒ අනුව එම නිලධාරීන් මෙම වැඩිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ජුලි 02 වැනිදා දහවල් ගොස්, එම මධ්‍යස්ථානයේ පාලනාධිකාරියේ කීපදෙනෙකු සොයා මෙහි නේවාසිකව සිටින මෙම වැඩිහිටියන්ට ආහාර සම්පාදනය සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
 
 එසේම නිරෝධායන නීතිරීති කඩ කරමින් මෙම පළමු පෙළ ආශ‍්‍රිතයන් වූ මන්ද මානසික වැඩිහිටියන් පිරිස ඔවුන්ගේ නිවෙස් වෙත යොමු කිරීම ගැන සහ වැඩිහිටියන් ආරක්ෂා කිරීමේ පනත යටතේ මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පාලනාධිකාරියට එරෙහිව මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment