පුපුරන්නට පෙර පිපිරීගිය බොරැල්ල පල්ලියේ බෝම්බය

584

වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සංසිඳේ’’ මේ බුදු වදන සිහිවූයේ වෙනකක් නිසා නොව ඒ බුදු වදනට කදිමට ගැලපෙන සිද්ධියක් දුටු නිසාය. ඒ වෙනකක් නොව බොරැල්ල සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බයක් ඇටවූ මහමොළකරු කළ පාපොච්චාරණ දුටු පසුවය.

මේ කියන පුද්ගලයා හැත්තෑපස් හැවිරිදි වියපත් අයෙකි. ඔහු වෛද්‍යවරයෙකි. දැන් විශ‍්‍රාමිකය. විශ‍්‍රාමික වුවත් ඔහු දන්නා වෛද්‍ය ශාස්ත‍්‍රය අත්හැරියේ නැත. පිළියන්දල ප‍්‍රදේශයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක ඔහු වෛද්‍ය ප‍්‍රතිකාර කරගෙන ගියේ වයස අමතක කර දමා, තව කීයක් හෝ උපයා ගන්නට පොටපාදා ගනිමිනි.

මේ වෛද්‍යවරයා තරුණ කාලයේදීම අප කොයි කවුරුත් වගේ පේ‍්‍රමයක පැටලිණි. මෙකී වෛද්‍යවරයා උපතින්ම කතෝලිකයෙකි. ඇය බෞද්ධ ය. නමුත් ආගම ඔවුනගේ පේ‍්‍රමයට බාධාවක් වූයේ නැත. පේ‍්‍රමය යනු එහෙව් එකකි. ආදරය සෙනෙහස තරුණ හැඟීම් මෝදු වී දෙදෙනා අතර ගොඩනැඟුන බැඳීම විවාහය දක්වා ගලාගියේ ඒ සියලූ බාධා පරාජයට පත්කර දමමිනි.

ඔහු ඇයට අසීමිතව පෙම් කළේය. ඇය ද එසේමය. කතෝලික ආගමට අනුව පල්ලියේදී අදාළ විවාහ උත්සවය ගැනීම ඔහුගේ සිහිනය වී තිබිණි. ඊට ඇගෙන් කිසිදු බාධාවක් එල්ල වූයේ නැත. දෙදෙනා අතර තිබුණේ එවන් බැඳීමකි. එවැනි ආදරයකි. එකිනෙකා අතර ඇති වී තිබූ බැඳීමට විරුද්ධ මත මතු වූයේම නැත.

ඒ අනුව බොරැල්ල සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථානය මේ දෙදෙනාගේ මංගල උත්සවයට තෝරා ගත්තේ ද ඔහුය. නමුත් ඇය බෞද්ධ තැනැත්තියක වීම මත හෝ වෙනත් කාරණයක් මත විවාහ උත්සවය යෙදී තිබුණ ද පෙරවරුවේ සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අදාළ විවාහ ගිවිස ගැනීමට හා පූජාවට ඉඩ ලබාදී නැත. ඊට හේතු තිබිය හැකිය. බොරැල්ල සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථානයේ කතෝලික විවාහ උත්සවවලට ප‍්‍රසිද්ධම දේවස්ථානවලින් එකකි.

කෙසේ හෝ මෙකී වෛද්‍යවරයාගේ විවාහ උත්සවය ඒ දේවස්ථානයේදීම සිදු වූයේ එදින සවසය. ඔහුගේ හිත තුළට වෛරයේ විෂබීජය පළමුවතාවට ඇතුළු වුණේ එදිනය. ඒ මීට වසර තිහකට එහා සිදුවීමකි. වසර තිහක් තිස්දෙකක් විතර පැරණි ඒ සිද්ධිය සිත තුළ තබාගෙන සිටි මේ පුද්ගලයා මහ කුහක මිනිසකු යැයි යමෙකුට සිත් විය හැකිය. අනෙක් අතකට ඔහු වෛද්‍යවරයෙකි. දැන උගත් මිනිසෙකි. මිනිස් සිරුරේ පමණක් නොව මිහිපිට ජීවත් වන සෑම සතකුගේ ශරීර අභ්‍යන්තරයේ ගලායන ලේ මෙන්ම මේ පංචස්කන්ධයේ නිස්සාර බව ඔහු හොඳ හැටි දැන සිටි අයෙකි. අනෙක් අතට ඔහුගේ බිරිඳ බෞද්ධ කාන්තාවකි. ඇගෙන් ඉගෙනගත් බොහෝ දේවල් ද මේ වෛද්‍යවරයා සතුව තිබෙන්නට ඇත. නමුත් ඒ සිත තුළ පැසව පැසවා වැඩෙන්නට ගත්තේ වෛරයේ විෂබීජය. විවාහ උත්සවයදා බොරැල්ල සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථානය ඔහුට කළේ අසාධාරණයකැයි ඔහු දිගින් දිගටම කල්පනා කළේය.

පුපුරන්නට පෙර පිපිරීගිය බොරැල්ල පල්ලියේ බෝම්බය

කාලය ගෙවී ගියේය. වෛද්‍යවරයාටත්, ඔහුගේ බිරිඳටත් වැඩිකල් නොගොස්ම දරු සුරතල් බලන්නට ද දෙවියන් වහන්සේගේ ආශීර්වාද ලැබී තිබිණ.

මොහු තුළ මොන තරම් වෛරයේ විෂබීජ සිත යට රෝපණය වෙමින් තිබුණත් දෙවියන් වහන්සේ ඒ දේව පුත‍්‍රයාට සමාව දුන්නේ එලෙසිනි.

වෛද්‍යවරයා රෝහල් කිහිපයකම රාජකාරි කරමින් පුද්ගලික වෛද්‍ය ප‍්‍රතිකාර කරමින් යහමින් මුදල් ඉපැයීය. දරුවාට උගන්වා උස් මහත් කර යුතුකම් ද ඉටු කළේය. ගෙයක් දොරක් තනාගෙන සැපවත් ජීවිතයක් ද ගත කළේය.

බිරිඳටත්, දරුවාටත් අසීමිතව ආදරය කළ ඔහු ඒ දෙදෙනාට නිසි රැකවරණය ද සලසා දෙන්නට අමතක කළේ නැත. ඉදිරි දිනවල දේව මෙහෙයන්වලට ගොස් ආගමික කටයුතුවල නිරත වුවත් ඔහුගේ යටි සිත තුළ වෛරය මෝදු වූයේ දියේ එබූ රබර් බෝලයක් මෙනි.

මේ ආකාරයට කාලය ගතව යද්දී ඔහුට පිළියන්දල රෝහලට මාරුවක් ද ලැබිණි. විශ‍්‍රාම යන්නට සිටි අවසාන කාලයේදී පිළියන්දල රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරයා ලෙස ද කටයුතු කළේය. මේ කාලය වනවිට මහරගම ප‍්‍රදේශයේ තෙමහල් නිවසක් ද ඉදිකර තිබූ ඔහු ඒ නිවසට අවශ්‍ය සියලූ පහසුකම් ද අඩු නොමැතිව ගොඩගසා ගත්තේ ද ඔහු ඇදහු දෙවියන් වහන්සේගේ ආශීර්වාදයෙනි.

මේ අතර කාලයේදී මෙකී වෛද්‍යවරයා විශ‍්‍රාම ගියේ පිළියන්දල රෝහලේ අවසාන වශයෙන් සේවය කළ පසුව ය. නමුත් වෛද්‍ය විද්‍යාව දත් මොහු එතැන් පටන් කාලයත් ශ‍්‍රමයත් වැය කළේ පුද්ගලික ප‍්‍රතිකාර කටයුතු සඳහා ය. මොන තරම් මුදල් උපයාගනු ලැබුවත් එහි අවසානයක් නැත. ඒ නිමක් නැති අරගලයේ ඔහු ද නිරත විය. මේ අතර කොරෝනා වසංගතය අප රට පුරා ද පැතිර යන්නට පටන් ගත්තේ මෙකී වෛද්‍යවරයා ද නිවසට කොටු කර දමමිනි. වරින්වර රට වසා වරින්වර රට විවෘත කරද්දී වෛද්‍යවරයා ද සිය කටයුතු එකී සෞඛ්‍ය උපදේශනවලට යටත්ව කරගෙන ගියේ ඉන් ආරක්ෂා වෙමිනි. නමුත් නොසිතූ මොහොතක සිය ආදරණීය බිරිඳට මෙකී මාරාන්තික වෛරසය ශරීරගත වී ගියේ වෛද්‍යවරයාගේ සිත සසල කර දමමිනි.

”ඔයාට මුකුත් වෙන්නෙ නෑ. මම ඉන්නවනෙ’’ ඔහු දන්න සියලූ වෙද හෙදකම් කළේ ඇය පණ මෙන් ආරක්ෂා කරගනිමිනි. නමුත් බිරියගේ තත්ත්වය නරක අතට හැරිණි. ජීවිත කාලය පුරා රෝගීන් සමග කටයුතු කළ මෙකී පළපුරුදු වෛද්‍යවරයාගේත් හෘදස්පන්දනය ඉහළ දමමින් ඇගේ රෝගී තත්ත්වය තව තවත් නරක අතට හැරී යමින් තිබිණි. පියත් පුතත් එකතු වී මව මුලින්ම රැගෙන ගියේ කොම්පඤ්ඤ වීදියේ පිහිටි පුද්ගලික රෝහලකටය. නමුත් කොරෝනා රෝගී මව එම රෝහලට ඇතුළත් කර ගත්තේ නැත. ඉන් පසුව ඇය රැගෙන ගියේ නාරාහේන්පිට පුද්ගලික රෝහලකටය.

එම රෝහලෙන් කොරෝනා ආසාදිතව සිටි මැය භාර ගෙන ඇත. කොරෝනා රෝගීන් සම්බන්ධව රෝහල් කටයුතු කළ යුතු ක‍්‍රමවේදයක් සකස් කර තිබූ ඒ සමයේදී එම රෝහලත් කළේ ඒ නීති රීති, උපදේශ පිළිපැදීමය.

මෙකී වෛද්‍යවරයා සිත තුළට දෙවැනි වරට වෛරී සිතුවිල්ල කිඳාබැස ගියේ ඒ සිද්ධියට ය. කෙසේ හෝ ඇය කොරෝනා රෝගය වැළඳී අවාසනාවන්ත ලෙස මියගියේ වෛද්‍ය සැමියාගේ සිතේ වැපිරී තිබූ වෛරයේ ගිනි සිළුව අවුලවා දමමිනි.

පුපුරන්නට පෙර පිපිරීගිය බොරැල්ල පල්ලියේ බෝම්බය

‘‘කාලකණ්ණි’’ වෛද්‍යවරයෙක් වුවත් ඔහු ද පෘතග්ජනයෙකි. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ඇය ස්වර්ගයට ගිය බව කියා සිතාගත යුතුව තිබුණත් වෛද්‍යවරයා ඇයව භාර ගන්නට බැරි යැයි කී නාරාහේන්පිට පුද්ගලික රෝහලට ද වෛර කරන්නට ගත්තේ අමන සිත් ඇතිව ය.

මොහු කලක පටන්ම අවි ආයුධවලට ආශා කළ අයෙකි. අවි ආයුධ යනු විනාශකාරී උපකරණය. වෛද්‍යවරයෙක් ආශා කළ යුත්තේ අවි ආයුධ හෝ මුදල්වලට නොවුවත් මොහු එහි අනෙක් පැත්ත ය. මිනිසෙකුගේ වේවා, සත්ත්වයකුගේ වුව ද වටිනාම දේ ප‍්‍රාණය ය. ප‍්‍රාණය රකින්නට හිපොක‍්‍රටීස් ප‍්‍රතිඥාව දී වෙද නළාව අතට ගත් වෛද්‍යවරයකු ගිනිඅවි අතට ගන්නවා යනු එහෙම පිටින්ම උඩු යටිකුරු වීමකි.

පසුගිය දිනක රටපුරාම මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූයේ බොරැල්ල සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථානය තුළ අත්බෝම්බයක් තබා තිබූ සිද්ධිය ය. පාස්කු ප‍්‍රහාරයට දින 1000 පිරෙන කාලවකවානුවේදී යළිත් දේවස්ථානයකින් අත්බෝම්බයක් හමුවීම මෙරට පමණක් නොව පිටරටවල් පවා කලබලයට පත්කරන සිද්ධියක් බවට පත්ව තිබිණි. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවා දැඩි සේ මේ සිද්ධිය විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටින්නට වූහ. පොලිසිය පරීක්ෂණ සිදුකළේ රටේ ජාතික ආරක්ෂාවට ද එය දැඩි තර්ජනයක් වී තිබූ බැවිනි. දේශපාලන වේදිකාව ද උණුසුම් කර දමා තිබිණි. ඒ අනුව පොලිස් විශේෂ කණ්ඩායම් කිහිපයක් මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබිණි. දේවස්ථානයේ සීසීටීවී දර්ශනවලට අනුව සැකකරුවන් දෙදෙනකු පිළිබඳ හෝඩුවා ලැබිණි. පොලිස් නිලධාරීන් දිවා ? නොබලා සැකකරුවන් අල්ලා ගැනීමට පොලිස් දැලක් එලා දැමූයේ මෙය අතිශය වැදගත් විමර්ශනයක් වී තිබූ නිසාය.

ඒ අනුව එක් සැකකරුවකු පොලිස් දැලට හසු විය. ඔහුගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කළ පසු වැදගත් තොරතුරු රැසක් අනාවරණය විය. පනාමුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු කළ හෙළි කිරීම් මත අප පෙර කී 75 හැවිරිදි වෛද්‍යවරයා එම බෝම්බ සිද්ධියට අනුබල දී ඇති බව කියැවී ඇත. ඒ අනුව ඉකුත් 17 වැනිදා රාති‍්‍රයේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහරගම පිහිටි මෙකී වෛද්‍යවරයාට අයත් දෙමහල් නිවසක් වට කළහ. ඒ වනවිට එම නිවසේ සිට ඇත්තේ එකී වෛද්‍යවරයාගේ හතළිස් පස් හැවිරිදි පුතු, ලේලිය, එකොළොස් හැවිරිදි මුණුබුරා සහ රාජා සහ ගජන් නමැති සේවකයින් දෙදෙනාය. පොලිසිය ගේ වටලා, නිවැසියන්ට දන්වා ගේ පරීක්ෂා කළේ ඊට පසුවය. තෙමහල් නිවසේ පහළ තට්ටුවේ වෛද්‍යවරයාගේ නිදන කාමරය පරීක්ෂා කළ පොලිසියට පිස්තෝල හතරක්, රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක්, වර්ගය හඳුනා නොගත් අවියක් එහි තිබී සොයා ගැනිණ. සැකකාර වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට ගත්තේ වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලටය. මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු වහා කි‍්‍රයාත්මක වූ සැකකාර වෛද්‍යවරයාගේ පුත‍්‍රයා වන ඔෂධ හේරත් නමැත්තා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා පියා අත්අඩංගුවට ගැනීම හා ඊට අදාළ පොලිස් මෙහෙයුම වූ ආකාරය පිළිබඳ රටටම හෙළි කළේය. එහි අරමුණ පැහැදිලි නැත. කෙසේ හෝ පොලිස් අත්අඩංගුවට ගත් සැකකාර වෛද්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට (සීසීඞී) භාර කෙරිණි. මේ අතර දේවස්ථානයේ සීසීටීවී කැමරාවේ සිටි අනෙක් සැකකරු හම්බන්තොට රන්න ප‍්‍රදේශයේදී 20 වැනිදා අත්අඩංගුවට ගැනිණි. පොලිස් ප‍්‍රශ්න කිරීම්වලින් පසු සැකකාර වෛද්‍යවරයා බොහෝ දේ පිළිගෙන ඇතැයි පොලිසිය පවසයි.

‘‘1974 මම බෞද්ධ කාන්තාවක් සමග විවාහ වුණා. විවාහය දවසේ බොරැල්ල සියලූ සාන්තුවරයන්ගේ දේවස්ථානයේ පූජකවරයා විවාහ උත්සවයට එදින පෙරවරුවේ පූජාව ලබා නොදුන් බවත් ඒ නිසා සිත්තැවුලට පත්ව සිටි බවත් පිළිගෙන ඇත. ඒ වෛරය පිරිමසා ගැනීමට තම සගයා යොදවා දේවස්ථානයට අත්බෝම්බය තැබූ බව ද පිළිගෙන ඇතැයි පොලිසිය කියා සිටී. නාරාහේන්පිට බෝම්බය තැබුයේ ද තමාගේම උපදෙස් මත යැයි ද සැකකාර වෛද්‍යවරයා පවසා ඇත. කොරෝනා වෛරසයට ගොදුරු වූ පසු බිරිඳ කොම්පඤ්ඤ වීදියේ පුද්ගලික රෝහලකට ගෙන ගියා. ඒ රෝහල ඇයව භාර ගත්තෙ නෑ. නමුත් නාරාහේන්පිට රෝහල ඇයව භාර ගත්තා. එහිදී මිය ගියා. නමුත් ඒ රෝහල ප‍්‍රසිද්ධියට පත් කරන්නයි වැසිකිළියක බෝම්බයක් තිබ්බේ’’ සැකකරු පවසා ඇතැයි පොලිසිය කියයි. බිරිඳ මියගොස් ආදාහනය කළ පසු ඇගේ අළු යොදා සැකසූ මුදුවක් ඔහු පැළඳ සිටින බව ද හෙළි වී ඇත. වෛරය මොන තරම් නපුරුද? ඔහු පේ‍්‍රම කළේ ඇයට ය. වෛර කළේ තව තැනකටය. පාස්කු ප‍්‍රහාරයෙන් නිරපරාදේ මියගිය මිනිසුන්ගේ විලාප තාමත් අපට ඇසේ. එහෙව් කලක මෙකී සැකකාර වෛද්‍යවරයා බෝම්බ අටවන්නට ගත්තේ අහවල් මඟුලකටද? තිස් වසරක ශාපලත් යුද්ධයක නටබුන් මැද සිටින අපට උන්මත්තකයින් ද හොඳින් ඉන්නට දෙන්නේ නැත්තේ මන්ද?

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment