පුරන් කුඹුරු අක්කර දෙකහමාරක් අස්වැද්දූ තලාවේ ඉස්කෝලේ ළමයි!

102

පුරන් කුඹුරු අක්කර දෙකහමාරක් අස්වැද්දූ තලාවේ ඉස්කෝලේ ළමයි!
පාසල් සංවර්ධන සමිතියටත් ලොකු ගාණක් හොයල දීලා
පළමු අස්වැන්න නාඩු වී කිලෝ 2000ක්
රුපියල් 80 ගානේ විකුණලා
සිසු දරුවන්ගේ පෝෂණයටත් සහල් වෙන් කරලා
වප් මඟුලක් හා සංස්කෘතික උළෙලකුත් කරලා

මෙය ඔබ ඇසිය යුතු අපූරු කතාවකි. ඇසූ දුටු හැම දේම පීඩාවක් වන යුගයක, එවන් රටක වාසය කරන අපට මේ කතාව විසල් මානසික අස්වැසිල්ලකට හේතුවන බව නිසැකය.

විභාගයක් සමත් වීමේ අරමුණින් හැල්මේ දුවන දරු පරපුරක් බිහිකරන මානසිකත්වයක් ගොඩනැගූ වැඩිහිටියන් වෙසෙන රටකට මෙය ආදර්ශවත් කතාවකි. උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ, පහළ තලාව අධ්‍යාපන කොට්ඨාසයේ තලාව විද්‍යාලය එවැනි ආදර්ශයක් රටට පෙන්වූ විදුහලයි. පහළ තලාව විද්‍යාලය පිහිටා ඇත්තේ මහවැලි එච් කලාපයට අයත් ගොවි ජනපදයකය.

විදුහලේ විදුහල්පති එස්. ගාමිණී සෝමරත්නගේ සංකල්පයකට අනුව විදුහලේ දරුවන් පුරන්ව තිබූ කුඹුරු අක්කර 2.5ක් අස්වද්දා සාර්ථක අස්වැන්නක් ලැබීම ඒ ආදර්ශවත් කතාවය. සිසු දරු දැරියන්ගේ බහුවිධ ජීවන කුසලතා ඔප්නැංවීම එහි අරමුණුගත ඉලක්කය වුවද එහි ඇති සිදුවීම් කතාව ඊටත් එහා ගිය දෙයක් ගැන රටට කියන්නේය. ගොවිතැන බහුල, ගොවිතැනෙන් ජීවත් වන පිරිස බහුලව වෙසෙන ප්‍රදේශයක මෙය අරුමයක් නොවෙතැයි ඔබට සිතිය හැක. ඔබ මේ කතාව කියැවිය යුත්තේ ඒ නිසාමය.

දරුවන් 230 ක් පමණ ඉගෙනුම ලබන පහළ තලාව විදුහලේ සිසු දරුදැරියන්ගේ හපන්කම ගැන එහි නියමුවා වන විදුහල්පති ගාමිණී සෝමරත්න කියන කතාව මෙසේය.

” මම 2021 පෙබරවාරි මාසයේ විදුහල්පති ලෙස පාසලට පැමිණීමෙන් පසුව පළමුවෙන්ම පාසල පිළිබඳව තත්ත්ව විශ්ලේෂණයක් සිදු කළා. එහිදී ප්‍රදේශයේ වෙනත් පාසල්වලට නොමැති අපේ පාසලට සුවිශේෂී වටිනාකමක් ඇති කුඹුරු ඉඩමක් ඇති බව දැනගන්නට ලැබුණා. ඒ ඉඩම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් මෙම පාසලට ප්‍රදානය කරන ලද ඉඩමක්. මෙම ඉඩමේ අක්කර දෙකහමාරක් විතර තියෙනවා. මහවැලි ජලයෙන් යල මහ කන්න දෙක ඉතා හොඳින් වගා කරන්න පුළුවන්. ඒත් නිසි පරිදි වගා නොකර අතහැර තිබීම ගැටලුවක් විදිහටයි මම එය හඳුනා ගත්තේ.”

“ර්‍ පුරන්වීමට ඉඩ ඇරලා තිබූ මෙම කුඹුරු ඉඩම පාසලට සුළු මුදලක් ලබාගෙන ප්‍රදේශයේ ගොවි මහතකුට වගා කිරීමට බදු දීම තමයි සාමාන්‍ය ක්‍රමය වෙලා තිබුණේ. නමුත් පාසලේ ගුරු මණ්ඩලයත්, පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන් සමගත් මෙම කුඹුරු ඉඩම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. පසුව 2022/2023 මාස් කන්නය සඳහා පාසල් සංවර්ධන සමිති සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් හා මූල්‍යමය දායකත්වයෙන් වගා කිරීමට තීරණය කළා.”

ඉතිං මේ වැඩේ ලෙහෙසි නෑ. ඒ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එච් කලාපීය නේවාසික කළමනාකරණ කාර්යාලය හා ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සහය ලබාගන්න තීරණය කළා. මෙම ව්‍යාපෘතිය සඳහා කලාප අධ්‍යාපන කාර්යාලය ද උදව් කළා. පවතින ආර්ථික අර්බුදය නිසා අනාගතයේදී ආහාර හිඟයක් ඇති වේ යැයි විවිධ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එනිසා ආහාර හිඟයට පිළියමක් ද වශයෙන් තමයි මේ ව්‍යාපෘතිය ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කළේ.”

පුරන් කුඹුරු අක්කර දෙකහමාරක් අස්වැද්දූ තලාවේ ඉස්කෝලේ ළමයි!
කුඹුරේ පැළ සකස් කිරීම කෘමි උවදුර පාලනයට නිර්මාණ අටවුම් සවිකිරීම

” මෙම ව්‍යාපෘතිය හරහා කුඹුරු ඉඩම වගා කිරීම තුළින් මෙම පාසලේ දරුවන්ගේ දිවා ආහාරය සඳහා සහල් සපයා ගැනීමත්, පාසල් සංවර්ධන සමිතියට අමතර ප්‍රතිපාදනයක් ලබා ගැනීමත් වගේම පාසලේ දරුවන්ට බහුවිධ ඉගෙනුම් අවස්ථා හා නිපුණතා ළඟා කර දීමත් ඉලක්ක කරගෙන තමයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් සඳහා පාසල් ප්‍රජාවගේ සෘජු දායකත්වය ලබා ගැනීම, පාසලේ සිසුන්ගේ ඉගෙනුම්,

ඉගැන්වීම් ක්‍රියාවලියට කුඹුරේ විවිධ ක්‍රියාකාරකම් යොදා ගැනීම, ගුරුභවතුන්ගේ ආකල්ප සංවර්ධනය කිරීම අරමුණු කීපයක්. ඒ වගේ ම පාසලේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සියලුම දරුවන්, පාසලේ දරුවන්ගේ දෙමාපියන්, ගුරුභවතුන්, ආදි ශිෂ්‍යයන්, අධ්‍යාපන නිලධාරීන් හා ප්‍රදේශයේ පිහිටා ඇති රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් මෙම ව්‍යෘපෘතියෙන් ප්‍රතිලාභ ලබන්නන් බවට පත් වුණා.”

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විදුහල්පති එස්. ගාමිණී සෝමරත්න මහතා වැඩිදුරටත් මෙසේ කීය.

පුරන් කුඹුරු අක්කර දෙකහමාරක් අස්වැද්දූ තලාවේ ඉස්කෝලේ ළමයි!

” කාලයක් තිස්සේ වල් බිහි වී තිබූ පාසලේ මෙම කුඹුරු ඉඩම ශුද්ධ පවිත්‍ර කිරීම දරුවන්ගේ දෙමාපියන්ගේ ශ්‍රම දායකත්වයෙන් පළමුව සිදු කළා. සී සෑමේ අවස්ථාව විශේෂ වප්මඟුල් උත්සවයක් ලෙස අපි පැවැත්තුවා. කුඹුරේ කමතක් නිර්මාණය කරලා කුඹුර හා සම්බන්ධ ගීත, නැටුම්, නාට්‍ය වැනි සෞන්දර්යාත්මක අංගවලින් අලංකාර කළා. දරුවෝ මුලින් කමතේ නටන්න බෑ කිව්වා.‘ඒත් කමතට බැස්සට පස්සේ බොහොම ආශාවෙන් නැටුවා. සීසෑමෙන් පස්සේ හී වැල් දැත්ත කැපීම හා නියර පිළිසකර කර බැඳීම සිදු කළා. මාස් කන්නයට ගැළපෙන බිත්තර වී සපයාගෙන ඒවා පැළ කිරීමට සුදුසු පරිදි පිරිසිදු කර බිත්තර වී ලෙස දියේ දැමීමත්, යහන් කිරීම හා පැළ කිරීමත් සිදු කළා. හොඳින් ප්‍රරෝහණය වූ බිත්තර වී වැපිරීමේ අවස්ථාව ඉතා අපූරු අත්දැකීම් රාශියක් දරුවන්ට ගෙන දුන්නා. ඊට වැඩිහිටියන් විශාල පිරිසකගේ ශ්‍රම දායකත්වයක් ද ලබා දුන්නා.”

” පියවරෙන් පියවර ක්‍රියාත්මක කළ වී වගා ව්‍යාපෘතියේ අස්වැන්න ලෙස නාඩු වී කිලෝ 2000ක් පමණ ගත්තා. නමත් අපිට ගබඩා පහසුකම් නැති නිසා රුපියල් 80 බැගින් විකුණා ඒ මුදල් පාසල් සංවර්ධන සමිති ගිණුමට බැර කළා. ඒ වගේව කාබනික පොහොර භාවිතා කරලා දේශීය වී ප්‍රභේදයක් වන මඩතවාලු වී වගාකරලා මිටි 13 ක් විතර ගත්තා. ඒවා දැනට පන්සලේ ගබඩා කරලා තියෙනවා. ඉදිරියේ දී එම වී සහල් කර දරුවන්ගේ පෝෂණ වැඩසටහන සඳහා යොදා ගන්නවා.”

විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් කුමුදුනි වන්නිනායක දරුවන්ගේ හපන්කම වචනවලට පෙරලූයේ මෙසේය.

අපේ නව විදුහලපතිතුමාගේ පැමිණීමත් සමග පාසලේ විශාල පිබිදීමක් ඇති වුණා. විදුහල්පතිතුමා හැම වෙලාවෙම පාසලේ දියුණුව ගැන විවිධ යෝජනා දෙමාපියන් වන අපට ඉදිරිපත් කරනවා. මේ පාර පාසලේ කුඹුර අපිම වගා කරමු කියලා අපිට යෝජනා කළා. දෙමාපියන් හැටියට අපිත් ඒ අදහසට කැමති වුණා. මොකද අපි දන්න කාලෙක පාසලෙන් ඔය කුඹුර වගා කරලා නෑ. දෙමාපියන් ලෙස අපේ උපරිම ශ්‍රම දායකත්වය ලබා දුන්නා. අපේ දරුවෝ කුඹුරට ගියා අසිරිය බලන්න. ඒවා දකිද්දි හරිම සතුටක් හිතට දැණුනේ.”

පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරික වන කේ. බී. වස්නත කුමාර මහතා මෙසේ කීය.

” කාලයක් තිබුණා පහළ තලාව විද්‍යාලය දිහා දෙමාපියන් බැලුවේ අමුතුම කෝණයකින්. අපේ අලුත් විදුහල්පතිතුමා ආවට පස්සෙ ඒ බලන කෝණය වෙනස් වුණා. ඇත්තටම විදුහල්පතිතුමා පාසල පිළිබඳ බලන කෝණය වෙනස් කළා. ඒ වෙනසේ ප්‍රධානම දේ තමයි පංති කාමරයට කොටු කරාලා උගන්වන ක්‍රමය වෙනස් කළා. පාසලේ තියෙන භෞතික සම්පත් කළමනාකරණය කරගෙන අලුත් විදිහට හිතන්න පටන් ගත්තා. පාසල් කුඹුරත් ඒ වගේ දෙයක්. මෙතෙක් රුපියල් විසි තිස් දාහකට බදු දීලා කාට හරි වගාකර ගන්න දුන්නු එක තමයි කළේ. නමුත් දෙමාපියෝ ළංකරගෙන අවට රාජ්‍ය ආයතනවල උදව් අරගෙන මනා කළමනාකාරීත්වයකින් ඒ දේ විදුහල්පතිතුමා අපූරුවට කළා. දෙමාව්පියන් බොහොම ආශාවෙන් උනන්දුවෙන් සවෙච්ඡාවෙන්ම ඇවිත් උදව් කළා.”

“ඉතිං මේ ව්‍යාපෘතියෙන් දරුවකුට ගෙදර දී ගෙවතු වගාවක් වුවත් කරගන්න පුළුවන් හොඳ උත්තේජකයක් ලැබුණා කියලා හිතනවා. ඒ වගේම තමයි නගරයේ පාසල්වලට වගේ අපේ පාසලේ සංවර්ධන සමිති ගිණුමට කෝටි ගණන් මුදල් එන්න ආදායම් මාර්ග නෑ. සුබපතන්නන් නෑ. ඒක නිසා අපිට පුළුවන් විදිහට යම් ආදායමක් සංවර්ධන ගිණුමට එකතු කරන්න ලැබීමත් සතුටක්.”

” මෙම ව්‍යාපෘතිය ප්‍රායෝගික අත්දැකීම් දරුවන්ට එක් කිරීම සඳහාමයි විදුහල්පතිතුමාගේ අපේක්‍ෂාව වුණේ. ඉතිං කුඹුරේ ජීවීන් විශේෂ රාශියක් දැකබලා ගැනීමටත්, නිරීක්ෂණ කර අධ්‍යයනය කිරීමටත් අපේ දරුවන්ට අවස්ථාව උදා කර දුන්නා. ඒ අතරේ සුලභව දැකිය හැකි ජීවී විශේෂ කිහිපයක්ම හමුවුණා. විවිධ කුරුල්ලන්, මකුළුවන්, කක්කුට්ටන්, බත්කූරන්, ගැඩවිල්ලන්, ඒ අතර විශේෂයි. ඒ වගේම සමහර අවස්ථාවල විවිධ උරගයින්ගේ ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව දැකබලා ගැනීමට දරුවන්ට අවස්ථාව උදා වුණා. කුඹුරේ වර්ණය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. සීසාන අවස්ථාවේ දුඹුරු පැහැයට හුරු කුඹුර පැළ ගොයමත් සමග කොළ පාටට හැරෙනවා. මේ වර්ණ වෙනස්වීම චක්‍රයක් විදිහිටයි ක්‍රියාත්මක වෙන්නේ. බණ්ඩි ගොයමත්, පීදෙන ගොයමත්, කිරි වදින ගොයමත්, පැසුණු ගොයමත් නිරීක්‍ෂණය කරමින් අපේ චිත්‍ර දරුවන් වරින් වර කුඹුරට ගොස් අධ්‍යයනය කළා. ඇත්තටම දරුවන්ට හොඳ ඉගෙනුම් අත්දැකීම් රාශියක් එමගින් ලැබුණා.” පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා වර්ෂා සමාධි ශිෂ්‍යාව මෙසේ කීවා ය.

” අපේ ඉස්කෝලෙට කුඹුරක් තියෙනවා ද කියලාවත් අපි දැනගෙන හිටියේ නෑ. සීසාන වප් මඟුල් උත්සවය දවසේ කුඹුරේ හදපු කමතේ නටද්දී අපිට පුදුම හැඟීමක් දැනුණේ. අම්බරුවෝ ගැන ගීත නැටුම්වලින් උත්සවය ලස්සන වුණා. එදා දවස අපේ ඉස්කෝලෙ කලඑළි වුණා. ආරාධිතයෝ ගොඩාක් ආවා. අපේ හැකියාවන් ඒ වගේ ආරාධිතයෝ ගොඩක් ඉස්සරහ පෙන්වන්න ලැබීමත් වාසනාවක්. අපිට කෘෂිකර්ම ගුරුවරයෙක් නෑ. නමුත් අපේ විද්‍යාව සර් අපිව කුඹුරට අරගෙන ගිහින් පාඩම්වලට අවශ්‍ය සත්ව විශේෂ, ශාක විශේෂ ගැන ඔක්කොම දේවල් කියලා දුන්නා.”

පුරන් කුඹුරු අක්කර දෙකහමාරක් අස්වැද්දූ තලාවේ ඉස්කෝලේ ළමයි!
සී සෑමේ වප්මඟුල් උත්සවය විචිත්‍රවත් කළ පාසල් දරුවෝ

මේ කතාව රටේ හැම පාසලකටම ‘බෝ’ විය යුතු ව්‍යාපෘතියක් බව අපි නොකියමු. එහෙත් මෙය ඇගයීමට ලක්විය යුතුය. පාසලකට කළ හැකි තවත් බොහෝ දේ තිබෙන බව මේ විදුහල්පතිවරයා ප්‍රමුඛ දරුවෝ අපට කියා දෙන්නේය. අප පූර්වාදර්ශයට ගත යුත්තේ එයයි.

තිරප්පනේ
සමන් සිගේරා

advertistmentadvertistment
advertistmentadvertistment