පුරාණ හෙළ කවියෙහි අබිනික්මන

911

සිය දහස් වර කියවීම තුළ ද නැවුම් හැඟීම් ජනිත කරවීමට සාමර්ථ වූ රසයෙන් අනූන වැකිය කවියක් ලෙස හඳුනා ගැනීමට පුළුවනි. එවන් කවියකට සපයනු ලබන විවරණයන් ද එම ස්වරූප ගැනීම ස්වාභාවිකය. එයින් වඩාත් උසස් විචාරය තීරණය කිරීම උසස් කවිය කුමක් දැයි තීරණය කිරීමට සමානය. එ නිසාවෙන් ඇතැම් තැන්හි දි කවියෙහි අර්ථයන්ට වඩා විමසුම්කරුගේ අර්ථයන් තීව‍්‍ර වන්නේ ය. ඇතැම් තැන්හිදි විචාරය නිසාවෙන් කවියෙහි අර්ථය නිසරු වන්නේ ය. ඇතැම් තැනෙක කවිය හා විචාරය ද සම ස්වරූප ගනියි. එහෙයින් කාව්‍ය නිර්මාණකරුවා හා විචාරකයා අතර පවතින සබඳතාවය මත උසස් කාව්‍යයන් සමාජයට තිළිණ වේ.

 නිදසුනක් ලෙස හයිකු කවිය නැතහොත් කෙටි කවිය උසස් නිර්මාණයක් වනුයේ කවිය නිසාවෙන් ද විචාරකයා නිසාවෙන් ද යන්න තීරණය කිරීම හා සමාන බැව් දැක්විය හැකිය. එම කවි සම්ප‍්‍රදාය විචාරක හෝ සහෘද ඥානයෙහි ප‍්‍රමාණය මැනීම පිණිස යොදාගත් තාර්කික ප‍්‍රකාශනයක් යැයි ද ඇතැම් විට හැෙඟයි.

 මෙබඳු ප‍්‍රවේශයක් මා විසින් ගනු ලැබුවේ විමසුම් ඇසට ගොදුරු වූ කාව්‍ය සංග‍්‍රහයට කෙතරම් දුරට සාධාරණයක් ඉටු කළ හැකි වේ ද යන උභතෝකෝටියක සිත නිමග්න වූ හෙයිනි. එම කාව්‍ය සංග‍්‍රහය නම් සිරි ගුනසිංහයන්ගේ ”අබිනික්මන” යි. ”මස් ලේ නැති ඇට” මැයෙන් ස්ව ප‍්‍රථම නිදහස් කාව්‍ය සංග‍්‍රහය සහෘදයා වෙත දායාද කළ ඔහු සැබැවින්ම නිසඳැස් කාව්‍යකරණයෙහි පුරෝගාමියකු ලෙස සැලකිය හැකිය. නිසඳැස් කාව්‍ය යනු කුමක් ද සමාජගත කිරීමට ඔහු ස්වකීය නිර්මාණයන් හා විචාරයන් හරහා ප්‍රෝත්සාහී විය.

 ඒ සඳහා ඔහු උපයෝගී කර ගනු ලැබුවේ ”ජී. බී. සේනානායකයන් නිසඳැස් කවියේ මූලිකයාය” යන සමාජ මතය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමය. එහිදි කිසි විටක ඔහුට අවැසි වූයේ මූලිකයා කවුරුන් ද යන වග තීරණය කිරීම නොව එම මතය තුළ හිඳ නිසදැස් කවියෙහි සාහිත්‍යාත්මක අගය පෙන්වා දීමය. ”පුරෝගාමියා කවුද යන්නට වඩා අගය කළ යුත්තේ නිසඳැස් ඉතිහාසය මොකක් ද කියන එකයි. සාහිත්‍ය විචාරය කිරීමේදීත් සාහිත්‍ය ඉතිහාසය නිරාකරණය කිරීමේදීත් පුරෝගාමියාට වඩා සැලකිල්ලට භාජනය විය යුත්තේ අලූත් නිර්මාණයට පසුබිම් වූ චින්තනයයි.” (අබිනික්මන)

 අබිනික්මනෙහි එන ”වෙනස” නම් වූ කාව්‍ය පන්තිය තුළින් නිසඳැස් කාව්‍ය සම්ප‍්‍රදාය හරහා සමාජගත කිරීමට අපේක්ෂා කළ සර්ව කාලීන සමාජ දහමක් ප‍්‍රකාශිත වේ. මෙහි මාතෘකාවම කවියක් යැයි යන ඇතැම් විචාරකයන්ගේ අති මනෝහර වාග් පාඨය භාවිතයට නො ගැනීමට පරිස්සම් වෙමි. මක් නිසාද යත් කවිය නොව කවියන්ව මුදුනතෙහි ඔසවා තබන එබඳු නිසරු වදන් භාවිතයෙන් මතුවෙහි කවි නොව කවි මාතෘකා පමණක් සහෘදයා වෙත තිළිණ කිරීමට පෙළඹි කවිය මිහිදන් වෙනු ඇතැයි සිතෙන හෙයිනි.

 කවියම මාතෘකාවකැයි යන වදන්හි ගැටලූ සහගත ස්වභාවය අබිනික්මනෙහි සඳහන් කාව්‍ය මාතෘකාවන්ගෙන් සනාථ වේ. ”වැස්ස, මී හරකා, බුදුන් දැකීම” ආදී මාතෘකාවන් කවි නොවේ. විචාරක මනසේ ඥාන සම්භාරය උපයුක්ත කර කවි කළ හැකි මාතෘකාවන් ය. සිරි ගුනසිංහයන් වැනි නිදහස් චින්තනධාරියකුට එය කළ නො හැකි වූයේ කිමද යන්න විමසීම නිෂ්ඵලය. මක් නිසාද යත් සැබැවින්ම කාව්‍ය මාතෘකාව කාව්‍යයට පෙරවදනක් සපයන්නක් මිසෙක කවිය නො වන වග ඔහු දැන සිටි නිසාවෙනි.

 ආකර්ෂණීය මාතෘකා යොදමින් හරසුන් චින්තනයන් ප‍්‍රක්ෂේපණය කිරීමට වෑයම් කිරීම වාණිජකරණය වූ සමාජයක විද්‍යමාන වන්නා වූ නිර්ලජ්ජි ක‍්‍රියාවකි. කවියන් ඔසවා තබන ඇතැම් විචාරක ප‍්‍රකාශනයන්ගෙන් ද එබඳු දෑ උත්පාදනය වීම වැළැක්විය නො හැකි යැයි හඟිමි. එය කෙතරම් දුරට නිරවද්‍ය සිතුවිල්ලක් ද යන්න තීරණය කිරීම ඔබ සතුය.

 වෙනස යනු කිනම් දෙයක් ද එම වෙනස කථකයාට දැනුන ආකාරය එය ඔහු තුරුලූ කරගත් ආකාරය මෙන්ම එයින් කිනම් අංශයකින් සහෘදයාව ඥානනයෙන් සුපෝෂිත කිරීමට වෑයම් කළේ ද යන වග පද්‍ය පන්තිය නිරීක්ෂණයේ දී අවබෝධ වේ. ආගමික හා දාර්ශනික අර්ථයෙන් ගත් කල්හි වෙනස නම් බන්ධනයන් මගින් ක්ෂණයක් ක්ෂණයක් පාසා පුද්ගල මනෝභාවයන් උත්පාදනය කරන්නාවූ සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාවන්ගෙන් චිත්ත සන්තානයට සිදු කරනු ලබන බලපෑමය. එකී බලපෑම තුළ නො සැලී සිටීමට හැකි වීම උත්තම පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකුගේ ලක්ෂණයකි. කවියා මෙහිදී සාකච්ඡුා කරන වෙනස කෙබඳු ද යන්න විමසමු.

 හිරිකඩයෙන් වලකින්නට
 ඇඟට තවම මයිල් නාපු
 රෝස පාට මී පැටියෙක්
 වගේ මගේ ලදරු කලදි

 මොහොතක් නැත මට තනිකම කාරුණික අකාරුණික යන දෙ අංශයන් මිනිස් සිතෙහි සාපේක්ෂ ස්වභාවයන් ය. තවකෙකුගේ දුකට පිහිට වීම මානවීය ගුණයකි. කිසි පිහිටක් නො මැති කෙනෙකු දුටු විටදි ඔහුට පිහිට වීමට මිනිස් සිත පසුබට නොවන්නේ කාරුණික ස්වභාවය හේතුවෙන් ය. අසරණයා ද උපකාරී කරන්නන්ද එකල අන්‍යොන්‍ය සබඳතාවයෙන් ක‍්‍රියා කරයි. එකී ස්වභාවය ඉහත පද්‍ය ඛාණ්ඩයෙන් ප‍්‍රකාශිත වේ.

 මිට මොලවන් මුලූ ලෝකය
 සීලිම හා හිනහ වෙවී
 සිටි මට ඇයි අද එය බැරි

 වත්ත පුරා දුව පනිමින්
 බිංකුන්ඩන්ගේ තාලෙට
 ගී කියන්න ඇයි දැන් බැරි

 ඇයි මෙතරම් මට තනිකම
 මල් මා හා කතා කළා
 තණකොළ මට හිනහ උනා
 ඔක්කොම අද ගල් ගැහිලා

 පරෝපකාරය මත නැගී සිටින මිනිසා පසුව සියල්ලන්ම තම සන්තකයට ලබා ගනියි. ඔහු රිසි රිසි සේ ලෝකය පාලනය කිරීමට සමත්කම් පායි. නමුත් එය ඔහුගෙන් ගිලිහෙන දිනක් එන්නේ ය. එවන් දිනක් කථකයාගේ ජීවිතය ට එළඹී ඇත. එය වෙනස නම් නියතියයි. පෙර සමීපයෙහි හුන් ස්වභාව ධර්මය පවා ඔහුව අතැර ගොසිනි. කවියා මෙහිදී ඉදිරිපත් කරන ”සීලිම, මල් තණකොල” යන යෙදුමන්හි නිදන්ගත අරුත් සෙවීමට වඩා සංක්ෂිප්තව සාරය උකහා ගැනීම සුදුසු යැයි සිතමි. එහිදී ප‍්‍රකට වන කරුණක් නම් බන්ධනයන්ගේ ගිලිහී යෑමය.

 සත්‍ය වශයෙන්ම වර්තමානය යනු වරද නිවරද යන දෙයංශය මුහු වූ අතීතයේ නිර්මිතයකි. එම නැවුම් නිර්මිතය තුළ වේදනාවෙන් මියැදීමට වඩා එය දරා සිට නිදහසේ සැරිසැරීම විමුක්ති සුඛාස්වාදයට හේතුවන්නකි. එය ද අර්ථාන්විත වනුයේ අතීතය නැවත නොවීමට වග බලා ගැනීම තුළින් ම ය. සිරි ගුනසිංහයන්ගේ මෙම නිර්මාණය මධ්‍යස්ථව ලොව දැකීමට සහෘදයා යොමු කරවන උසස් නිර්මාණයක් යැයි මාගේ අදහසයි.

 හෙළ කාව්‍යයට නව්‍ය වූ ආකෘතියක් අත්හදා බලන සමයක නිපන් මෙම කාව්‍ය සංග‍්‍රහයේ දී භාවිතයට ගත් බස් වහර ද තත්කාලීන සමාජයෙහි නියෝජනයකි. එමගින් නව්‍ය සංකල්පනාවන් ධ්වනිත කරවීමට ගුනසිංහයන් සමත් වූ අයුරු පහත නිදසුන් තුළින් විද්‍යමාන වේ.

 ”හිස් බුද්ධියේ බදාම ගා
 පන්ඩිත බස් මුක්කු ගසා
 දැඩිකර ගන්නට
 වෙහෙස උනත් කොතෙකුත්
 පදනම පස යට සෙලවෙනවා

 පොත්වල වේලූනු කොල අස්සේ
 සොයමුද සැනසීමක්
 කහඹිලියා ගොන්නක
 ලැබේ ද සෙවනක්
 ලේ එනතුරු කැසිල්ල මිස”
(කහඹිලියා ගොන්න, පිටු 80 )

 ”සමහර විටකදි මූනිස්සන් මෙන්
 ඔබේ වචන කෑ ගහ ගෙන යනවා”

 ”වමාරන්නේ ඇයි මෙතරම් කාරා
 වචනවලින් නැත ඔබට වැඩක්”
 (පිලූන් ගඳ, පිටු 76 )

 ”කවි එනවා කැරකි කැරකි
 සිගරැුට් දුම් වළලූ වගේ”
 (නොලියවෙන කවිය, පිටු 42)

 මාර්ටින් වික‍්‍රමසිංහයන් මෙබඳු බස් වහර ප‍්‍රිය නොකළ බැව් ගුනසිංහයන් පිළිබඳව තබන සටහනකින් පිළිබිඹු වේ. ”සිංහල ලේඛකයෙකු ලෙස ලත් විශාල පරිචයක් නැති ඔහු තමාගේ හැඟීම් හා සිතුම් කියනු සඳහා අලූත් බස් වහරක් සොයයි. ඒ වෑයමෙහි දී ඔහු නොමඟ යයි.” (නව පද්‍ය සිංහලය) එහෙත් එම නැවුම් බස් වහර මගින් උපන් සංකල්පනාවන් පසුකාලීන කවියන්ගේ කවි සිත පුබුදුවාලීමට තරම් සවිමත් විය.

 ”සිගරැුට් දුම්
 වලලූ දිගේ
 ගමන් කරන කවි
 පු:
 මේ
 කවි කියවා
 හිතුනා මටත්
 ලියන්න

 කවි (මට සුපුරුදු මේ නගරේ, ජනක මහබෙල්ලන)

 ඒ නයින් බලන කල්හි අබිනික්මන කාව්‍ය සංග‍්‍රහය කවියට හිතැති සැම විසින් රස විඳිය යුතු මෙන්ම නූතන සිංහල කවියෙහි නැඟි සිටීම පිළිබඳව හැදෑරීම පිණිස පරිශීලනය කටයුතු කෘතියක් වශයෙන් සැලකිය යුතු මනාය.

 * තැන්නහේනේ නාගිත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment