පුරාතන ශ‍්‍රී ලංකාව සහ චීනය අතර පැවැති සංස්කෘතික සබඳතා (ක‍්‍රි. ව. 6 වන සියවස දක්වා)

1556

ෆාහියන් හිමි ඉන්දියාවේදී

ශ‍්‍රී ලංකාව සමග සංස්කෘතික සම්බන්ධතා පැවැත් වූ වැදගත් රාජ්‍යයක් වශයෙන් චීනය පෙන්වාදිය හැකිය. එහෙත් ලාංකේය සාහිත්‍ය මූලාශ‍්‍රවල ඒ සම්බන්ධයෙන් එතරම් කරුණු අනාවරණය නොවන අතර විදේශීය සාහිත්‍ය මූලාශ‍්‍ර මගින් ඒ පිළිබඳව කරුණු අනාවරණය කරගත හැකිය. මෙලෙස දෙරට අතර සංස්කෘතික සබඳතා ඇති වීමට බලපෑ හේතු පිළිබඳව විමසීමේදී වාණිජ කටයුතු, බෞද්ධාගමික සහ දේශපාලන සාධක හේතු වූ බව හඳුනාගත හැකිය. ඒ අනුව සාගරය හරහා ගමන් කිරීමට පෙර ශ‍්‍රී ලාංකිකයන් චීනය හා සබඳතා පවත්වනු ලැබුවේ හිමාල කඳුවැටිය ඔස්සේ බව ක්ලෝඩියස් විසින් පිළිගනු ලැබූ එක් සිංහල තානාපතිවරයකු ප‍්‍රකාශ කළ බවට ප්ලීනී සඳහන් කොට ඇත. මෙම ප‍්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය කුමක්ද යන්න නිශ්චිත නොවූවද ඈත අතීතයේ පටන් චීනය හා ලංකාව අතර දේශපාලනික සබඳතා පැවති බවට මෙමගිින් අදහසක් ලබාගත හැකිය.

එමෙන්ම හන් රාජවංශයේ පින්ග් අධිරාජ්‍යාගේ (ක‍්‍රි.ව. 1-6) කාලයේදී ඔහු විසින් චීන නිලධාරීන් පිරිසක් දකුණු ආසියාතික ප‍්‍රදේශයට එවන ලද බවට ”හන්ෂු’’ හෙවත් ”හන් පරපුරේ ඉතිහාසය’’ නම් ග‍්‍රන්ථයේ සඳහන් වී ඇත. මෙහි සඳහන් එක් රාජ්‍යයක් වශයෙන් ෂූ-චෙන්ග්-පූ යන පදයෙන් හඳුන්වනු ලැබූ ප‍්‍රදේශය පෙන්වාදිය හැකිය. එම පදයෙන් ”සිංහ ද්වීප’’ හෙවත් ”සිංහල ද්වීපය’’ අර්ථවත් වන බවට විද්වතුන් විශ්වාස කරනු ලබයි. ඒ අනූව මෙම ගමන්වල අරමුණ වී ඇත්තේ අධිරාජ්‍යාගේ අධිකාරි බලය හා ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කිරීම හා විදේශීය රටවල භාණ්ඩ ලබා ගැනීම බවට පැහැදිලි වේ. ඒ අනුව මෙලෙස ගොඩනැ`ගුණු සබඳතා හේතු කොටගෙන චීනය සමග පැවති සංස්කෘතික සබඳතාවයන් ද ක‍්‍රි. ව. 1 වන සියවස දක්වා ඈත අවධියකට දිවයන බව පෙනීයයි.

පුරාතන ශ‍්‍රී ලංකාව සහ චීනය  අතර පැවැති සංස්කෘතික සබඳතා (ක‍්‍රි. ව. 6 වන සියවස දක්වා)
ෆාහියන් හිමි

එමෙන්ම ක‍්‍රි. ව. 3 වන සියවසට පමණ අයත් චීන වාර්තාවන් තුළින් ද ලංකාව හා චීනය අතර ඉතා සක‍්‍රීය විදේශ වෙළෙඳාමක් වූ බව තහවුරු වේ. එකී වෙළෙඳ සබඳතාවයන් පාදක කරගනිමින් සංස්කෘතික සබඳතාවයන් ද වර්ධනය වූ බව අනුමාන කළ හැකිය. එමෙන්ම සංස්කෘතික සබඳතා ගොඩගැනීමට බලපෑ ප‍්‍රධාන සාධකයක් වශයෙන් බෞද්ධාගම පෙන්වා දිය හැකිය. ඒ අනුව චීන බෞද්ධයන් ලක්දිව වූ බෞද්ධාගමික දියුණුව හේතුවෙන් ආගමික ස්ථාන වන්දනා කිරීම, බෞද්ධාගමික පොත්පත් ලබා ගැනීම, සහ බෞද්ධාගමේ දියුණුව වාර්තා කිරීම යන අරමුණු සඳහා මෙරටට පැමිණි අතර ඒ ඔස්සේ දෙරටේ සංස්කෘතික සබඳතා ගොඩනැ`ගී ඇත.

ඒ සම්බන්ධයෙන් විමසීමේ දී වැදගත්ම මූලාශ‍්‍රය වන්නේ ක‍්‍රි.ව. 4 වන සියවසේ දී ශ‍්‍රී ලංකාවේ සංචාරය කළ ෆාහියන් හිමියන් විසින් රචනා කරන ලද දේශාටන වාර්තාවය. එසේම චීන මූලාශ‍්‍ර තුළ ක‍්‍රි.ව. 412 දී ජෙඞ් නම් පාෂාණයෙන් තනන ලද බුද්ධ ප‍්‍රතිමාවක් චීනයට රැගෙන ගිය බවට තොරතුරු සඳහන් වන අතරම ක‍්‍රි. ව. 426 දී ලංකාවෙන් චීනයට අභයගිරි භික්ෂුණීන් වහන්සේලා සහ දේවසාරා භික්ෂුණිය ද වැඩි බවට තොරතුරු අණාවරණය වේ. ඒ අනුව චීනය සහ ශ‍්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ගොඩනැ`ගීමට බෞද්ධාගම ප‍්‍රධාන සාධකයක් වූ බව තහවුරු වේ. ඒ අනුව මෙලෙස ශ‍්‍රී ලංකාව සහ චීනය අතර සංස්කෘතික සබඳතා ගොඩනැ`ගීම සඳහා ද දේශපාලන, ආර්ථික, සමාජ සහ සංස්කෘතික යන බහුවිධ හේතූන් බලපෑ බව ඉතිහාස අධ්‍යයනයේ දී හඳුනාගත හැකිය.

එබැවින් පුරාතන ශ‍්‍රී ලංකාව විසින් ඉන්දියාව මෙන්ම සංස්කෘතික සබඳතා පවත්වන ලද වැදගත් රාජ්‍යයක් වශයෙන් චීනය පෙන්වා දිය හැකිය. එම සබඳතා මූලික වශයෙන් බෞද්ධාගම කේන්ද්‍ර කොටගෙන සිදු වූ බව පෙනීයයි. එහෙත් ලාංකේය වංශකථා සාහිත්‍ය තුළ ඒ සම්බන්ධයෙන් එතරම් කරුණු දක්වා නොමැති නමුත් චීන සාහිත්‍ය මූලාශ‍්‍ර තුළ සඳහන් කරුණුවලින් මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක තුළින් දෙරට අතර සමීප සංස්කෘතික සබඳතා පැවති බවට තොරතුරු අනාවරණය වේ. ඒ අනුව චීන මූලාශ‍්‍ර තුළ සඳහන් කරුණු පිළිබඳව විමසීමේ දී චීන වාර්තාවලට අනුව ක‍්‍රි. ව. 97 දී පමණ ශ‍්‍රී ලංකා තානාපතියෙකු චීනයට ගිය බව පැහැදිලි වේ. එහිදී යු-ෂ-බී සහ ෂෙන් රජවරුන් ඇත්දත්, මී හරක් අං හා විශාල ගොණුන් තානාපතියන් අත එවූ බවට සඳහන් වේ. මෙහිදී ෂෙන් යනු ශ‍්‍රී ලාංකේය රජුන් බවට හඳුනාගෙන ඇත.

එසේම නැවත ලංකාවෙන් ක‍්‍රි.ව. 120 දී පමණ තනාපතියන් චීනයට පැමිණි බවට චීන වාර්තා තුළින් තොරතුරු හඳුනාගත හැකිය. එසේම හන් ඉතිහාසයට අනුව භාතිකාභය රජු දවස චීන දූතයන් දිවයිනට පැමිණි බවට මෙන්ම හන්-ෂූ (Hou-han-Shu) ග‍්‍රන්ථයට අනුව ක‍්‍රි. ව. 131 දී ගජබාහු රාජ්‍ය සමයේදී ද චීන ලංකා සබඳතාවයක් පිළිබඳව තොරතුරු හෙළිවන බවට ද ඇතැම් විද්වතුන් පෙන්වා දීමට උත්සහ කොට ඇත. මෙසේ සඳහන් තොරතුරුවලට අනුව පෙනී යන්නේ ක‍්‍රි. ව. 1 වන සියවස හා ඒ අවට කාලය වනවිට දී ශ‍්‍රී ලංකාව චීනය සමග තානාපති සබඳතා පවත්වා ඇති බවත් ඒ ඔස්සේ සංස්කෘතික සබඳතා පැවැත් වූ බවත් අනුමාන කළ හැකිය.

එමෙන්ම ක‍්‍රි.ව 3 වන සියවසට පමණ අයත් චීන වාර්තාවන් තුළ ශ‍්‍රී ලංකාවේ (Shihtze), කුරුඳු (Cinnabar), රසදිය (Mercury), Hsunlun, Tumerc, Slorx, Costus සහ වෙනත් සුවඳ විලවුන් වර්ග පිළිබඳව සඳහන් වන බැවින් සමකාලීන අවදියෙදී ලංකාව හා චීනය අතර ඉතා සක‍්‍රීය විදේශ වෙළෙඳාමක් වූ බවට විශ්වාස කළ හැකිය. එසේම මැද පෙරදිග ප‍්‍රදේශයේ භාණ්ඩයන් වෙළෙඳුන්ට ලබා ගැනීමේ දී ශ‍්‍රී ලංකාව විශේෂ භූමිකාවක් ඉටු කරන්නට ඇති බවටද හඳුනාගත හැකිය. මෙම වෙළෙඳ සබඳතා ඔස්සේ ද දෙරට අතර සංස්කෘතික සබඳතාවන්හි වර්ධනයක් ඇති වූ බවට විශ්වාස කළ හැකිය.

එමෙන්ම චීනය සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත් වූ සංස්කෘතික සබඳතා පිළිබඳව විමසීමේ දී වැදගත්ම මූලාශ‍්‍රය වන්නේ ෆාහියන් හිමියන්ගේ වාර්තාවය. (ක‍්‍රි. ව. 409-411 ශ‍්‍රී ලංකාවේ අභයගිරි විහාරයේ වාසය කළ බවට පිළිගැනේ.) ඒ අනුව අභයගිරි විහාරය බෞද්ධ රාජ්‍යයන් රැුසක් සමග සංස්කෘතික සබඳතා පැවැත් වූ බවට තොරතුරු හමු වේ. එ් අනුව ෆාහියන් හිමි ලංකාවේ අනුරාධපුරයේ අභයගිරි විහාරයේ වසර 02 කාලයක් වැඩ වසමින් එහිදී ප‍්‍රත්‍යක්ෂ ලෙස දැනගත් තොරතුරු පාදක කරගනිමින් දේශාටන වාර්තාව රචනා කර ඇත. මේ අතර අභයගිරි විහාරය මෙම අවධියේ ලාංකේය සමාජ, සංස්කෘතියට විශාල බලපෑමක් කරමින් ඉදිරියට පැමිණ තිබූ බව මෙම වාර්තාවේ සඳහන් කරුණු අනුව පෙනීයන අතර එහි කීර්තිය විදේශීය බෞද්ධ රාජ්‍යයන් වෙත ද පැතිරී තිබූ බව වාර්තාවේ සඳහන් කරුණු අනුව පෙනීයයි. එම විස්තර පිළිබඳව මහාචාර්ය රණවීර ලෙස්ලි ගුණවර්ධනයන් ෆාහියන් වාර්තාවේ සඳහන් කරුණු හා වෙනත් විදේශීය මූලාශ‍්‍ර උපයෝගී කරගෙන අභයගිරිය සම්බන්ධයෙන් කරන ලද විස්තරය තුළින් දෙරට අතර පැවැති සංස්කෘතික සම්බන්ධතාවයන් පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිය. ඒ අනුව,

‘‘බෞද්ධ පාණ්ඩිත්‍යයේ හා විශාරදත්වයේ කේන්ද්‍රයක් වශයෙන් අභයගිරි විහාරය ලැබූ කීර්තිය දිවයින් වෙරළින් බොහෝ ඔබ්බව පැතිරිණ. මේ විහාරය ගැන ෆාහියන් විසින් කරන ලද විස්තරය හැරුනු විට තවත් බෞද්ධ විශාරදයෙකුගේ ගමනක් ගැන විස්තරයක් චීන ඉතිහාස කථාවල අඩංගු වී ඇත. වජ‍්‍රයාන දර්ශනයේ සුප‍්‍රකට ආචාර්යවරයකු වූ වජ‍්‍රබෞධී ඉන්දියාවේ සිට චීනයට යන ගමන් මාස හයක් අභයගිරියේ ගත කළේය. අභයගිරි නිකායේ කෘතියක් ලෙස පී. සී. බග්වි විසින් හදුන්වනු ලබා ඇති විමුක්තිමග්ග ග‍්‍රන්ථය ක‍්‍රි. ව. 505 දී පූනාන්හි භික්ෂුවක් වූ සෙං-චියෙ-පෝ-ලෝ (සංඝපාල) විසින් චීන භාෂාවට පරිවර්තනය කරන ලදී…

වශයෙනි. ඒ අනුව අභයගිරි විහාරය ලංකාවේ සංස්කෘතික කටයුතු සඳහා මෙන්ම ආසියානු කලාපයේම බෞද්ධාගමික කටයුතු සඳහා දායකත්වයක් සැපයූ ආගමික මධ්‍යස්ථානයක් ලෙස හඳුනාගත හැකිය.

එමෙන්ම දළදා වහන්සේ පිළිබඳව චීන රජ්‍යය තුළ පැවැති ගෞරවයත් දළදාව හා සම්බන්ධව දෙරට අතර ගොඩ නැ`ගුණු අන්තර් සංස්කෘතික සබඳතාවය පිළිබඳව ෆාහියන් වාර්තාව මෙන්ම අනිකුත් චීන මූලාශ‍්‍ර මගින් ද හෙළිකරගත හැකි අතර විශේෂත්වය වන්නේ මහානාම රාජ්‍ය කාලයේ දීම දළදා අනුරුවක් චීනයට යැවූ බව සඳහන් වීමය. ඒ අනුව ෆාහියන් හිමියන් පැමිණ වසර 15 ගිය පසු එනම් ක‍්‍රි. ව. 428 දී සිංහල දේශයේ මො-හා-නාන් රජුගෙන් (Mo-ho-nan) සංදේශයක් රැගෙන ගිය දූත පිරිස දළදා මාළිගාවේ අනුරුවක් ගෙන ගිය බව එම චීන මූලාශ‍්‍රයේ දැක්වේ. ඒ අනුව ෆාහියන් හිමියන් දළදා වහන්සේ සම්බන්ධයෙන් සිදුකරන ලද වාර්තාවෙන් අනතුරුව චීන ජනතාව තුළ ඇති වූ උනන්දුව නිසා මහානාම රජු මෙලෙස දළදා මාළිගයේ අනුරුවක් යැවූ බව පෙනීයයි. එමෙන්ම රාජ්‍ය දූත සේවයන්වල දී දළදා මාළිගයේ අනුරුවක් යැවීමට තරම් රාජ්‍යයන් ද්විත්වය අතර මනා සංස්කෘතික සබඳතාවයක් බෞද්ධාගම මූලික කර ගනිමින් ගොඩනැ`ගී තිබූ බව පැහැදිලි වේ.

එසේම ක‍්‍රි.ව. 3 වන සියවස හා 8 වන සියවස අතර කාලය තුළදී ශ‍්‍රී ලාංකේය රජවරුන් චීනය සමග තානාපති සේවයන් පවත්වාගෙන ගිය බවට තොරතුරු හමුවන අතර එහි මූලික අරමුණ වෙළෙඳාම පදනම් කොටගත් අරමුණක් බවට විශ්වාස කරනු ලැබේ. ඒ අනුව මෙම කාල පරිච්ෙඡ්දයේ දී ක‍්‍රි.ව. 435, 515, 527, 531, 670, 711, 746, 750, සහ 762 යන කාලයන්හී දී දිවයිනෙන් චීනයට දූතයන් යැවූ බව සඳහන් වේ. එහිදී ශ‍්‍රී ලංකාවෙන් චීන අධිරජුට ප`ඩුරු වශයෙන් මුතු, කැටයම් දැමූ රත්තරං, මැණික්, ඇත්දත්, ලොවිච්චි සහ සිනිදු ලොම් රෙදි ආදිය යවා ඇති බවට හඳුනාගත හැකිය. ඒ අනුව චීනය හා ශ‍්‍රී ලංකාව අතර පැවති විදේශීය වෙළෙ`දාම පිළිබඳව තොරතුරු හඳුනාගත හැකිය. එසේම චීනයේ ෂා ඕ (618-627) නම් රජු විසින් නිකුත් කරන ලද කාසි හා ක‍්‍රි. ව. 976 – 1268 දක්වා විසූ ඇතැම් චීන රජවරුන්ගේ කාසි රාශියක් පොළොන්නරුවේ නිධානයක තිබී හමුවීම තුළින් දෙරට අතර වූ වෙළෙඳාම පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය.

ඒ අනුව චීනය සහ ශ‍්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා ගොඩනැ`ගීමට බෞද්ධාගම හා වෙළෙඳ සබඳතා ප‍්‍රධාන වශයෙන්ම බලපා ඇති බව පෙනීයයි. ඒ අනුව ශ‍්‍රී ලංකාව චීනය සමග සමීප සංස්කෘතික සබඳතා පැවැත් වූ බව චීන සාහිත්‍ය මූලාශ‍්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර තුළින් පැහැදිලිව තහවුරු වේ. එබැවින් දෙරට අතර ද්වීපාර්ශවික වශයෙන් සබඳතා ඇති වීම කෙරෙහි මෙකී සංස්කෘතික සබඳතා හේතු වූ බව පැහැදිලිය. එහෙත් ශ‍්‍රී ලාංකේය සාහිත්‍ය මූලාශ‍්‍ර චීනය සමග පවත්වන ලද සංස්කෘතික සම්බන්ධතා පිළිබඳව අඩු අවදානයක් යොමුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දීර්ඝව විමසා බැලීමට අපහසු ය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

කුලතුංග, ටී. ජී., පුරාණ අභයගිරි විහාරය, කොළඹ, මධ්‍යම සංස්කෘතික අරමුදල, 2014.

ගුණවර්ධන, රණවීර, සිවූර සහ න`ගුල, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය, කොළඹ, 1993.

ධීරානන්ද හිමි, හ`ගුරන්කෙත, ”පූරාතන ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ නැ`ගීම හා සමාජ-දේශපාලන ප‍්‍රවර්ධනය’’, සමර්චනා : නිට්ට -ඹුගම වාචිස්සර නාහිමි අනුස්මරණ ශාස්ත‍්‍රීය සංග‍්‍රහය, සංස්x මිනුවන්ගමුවේ මහානාම හිමි, මාගධි පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනය, කොළඹ, 2010.

පල්ලියගුරු, චන්ද්‍රසිරි, විදේශීන් දුටු සිංහල ලකුණු, කොළඹ, පුබුදු මුද්‍රණ ශිල්පියෝ සහ ප‍්‍රකාශකයෝ, 1986.

බෞද්ධ රාජධානි පිළිබඳ තොරතුරු නම් වූ ෆාහියන්ගේ දේශාටන වාර්තාව, අනුx විමල් ජී. බලගල්ලේ, බොරලැස්ගමුව, විසිඳුනු ප‍්‍රකාශන, 1999.

Senaveratne, Johe M., “Chino – Sinhalese Relations in the Early and Middle Ages”, Royal Asiat -ic Society 1915 – 1916: Vol. XXIV Part 1, Colombo, The Colombo Apothecaries Co. LTD., 1917.

එන්. ජී. ආර්. පී. වික‍්‍රමරත්න
ඉතිහාසය අධ්‍යයන අංශය,
ශාස්ත‍්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

advertistmentadvertistment
advertistmentadvertistment