පුවක් ජාති තුනක් සහ පුවත් ජාති තුනක් (රුක්‍ෂාන් බෙල්ලන සිද්ධිය)

1121

රට පුවක්, මඩ පුවක්, කරුංකා පුවක්, ගොලෑ පුවක් යනාදී වශයෙන් පුවක් වර්ග ගණනාවක් මේ රටේ තිබේ. ඒ ආකාරයෙන්ම රට පුවත්, මඩ පුවත්, කරුංකා පුවත් යනාදී වශයෙන් පුවත් වර්ග කීපයක් අපේ රටේ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලැබේ. රට පුවත් යනු විදේශ ප්‍රවෘත්තිය. මඩ පුවත් යනු සමාජ මාධ්‍ය සහ යූ ටියුබ් පදනම් කරගත් හද්ද බොරු සහ කුණුහරුපවලින් සමන්විත වුණු ප්‍රවෘත්ති ය. කරුංකා පුවත් යනු වියළී කරපට් වුණු ප්‍රවෘත්ති බව අපගේ අර්ථ නිරූපණය වේ. උදාහරණයක් වශයෙන් ගත් කල අරගලය යනු කරුංකා පුවතකි. මෙයට මාස ගණනාවකට පෙර සිදු වූ අරගලයේ නිෂ්ක්‍රීය වූ ඉඳුල් පමණක් දැනට තැන තැන තිබෙන අතර ඉදිරියේදී එම ඉඳුල් කැබලි ප්‍රාදේශීය සභා ඡන්ද අපේක්‍ෂකයන් ලෙස මතුවනවා ඇත. මේ සියලු ප්‍රවෘත්ති අතර ඉකුත් සතියේදී වාර්තා වූ රුක්‍ෂාන් බෙල්ලන පිළිබඳ ප්‍රවෘත්තියෙන් සමාජය තුළ කිසියම් සසලවීමක් ඇති විය. කොළඹ මහ රෝහලේ සුළු සේවකයන් රාජකාරි කාලය තුළ ගංජා සහ කුඩු ගහන බව වෛද්‍ය බෙල්ලන රූපවාහිනියටත් දිවයින ‘යූ ටියුබ්’ චැනලයටත් ප්‍රකාශ කර තිබිණ.

ගංජා වැවීම හෝ විකිණීම හෝ ගැසීම හෝ තවමත් මේ රට තුළ නීතිගත කර නැත. එය නීතිගත කළත් රාජකාරී වේලාව තුළ ගංජා හෝ කුඩු ගැසීම නීතිගත නොවන බව අපට ස්ථිරය. අරක්කු යනු නීත්‍යනුකූල පානයකි. එහෙත් රාජකාරි වේලාව තුළ අරක්කු බීම තහනම් ය. පෞද්ගලික ආයතනයක හෝ රජයේ ආයතනයක රාජකාරි වේලාව තුළ අරක්කු සඟවාගෙන බොන එකෙකු හසු වුවහොත් උගේ ගලග්‍රහයෙන් ගෙන නෙරපා හැරීම ලොක්කන්ගේ පුරුද්ද වේ. එසේම අරක්කු ගසා වාහන එලවීම ද තහනම් ය. වෙනකක් තබා මත්පැන් පානය කර මහපාරේ පයින් යෑම ද තහනම් ක්‍රියාවකි. මෙබඳු බරපතළ නීතිරීති තිබියදී කොළඹ මහ රෝහලේ සුළු සේවකයන් ගංජා හෝ කුඩු ගැසීම රෝගී ප්‍රජාවගේ ප්‍රාණය නිරුද්ධ වන තරමේ අවදානමක් ඇතිකරයි. ඇතැම් විට ලෙඩෙකුගේ සේලයින් එක ඉවරද නැද්ද යන්න බලන්නේ රෝහල් සුළු සේවකයන් විසිනි. තවත් විටෙක රෝගියකු වැසිකිළි ගෙන යෑමට ආධාර උපකාර කරන්නේ සුළු සේවකයන් විසිනි. කසිප්පු හෝ කුඩු ගසා රාජකාරි කරන සුළු සේවකයා අංශභාග රෝගියකු වැසිකිළියට ගෙන යන අතර සූර් එක නිසා බිම ඇද වැටුණොත් ඔහුගේ පිහිටාධාරයෙන් වැසිකිළි යමින් සිටි ලෙඩාද බිම ඇද වැටේ. එවිට ලෙඩාගේ කොන්ද බිඳුණොත් ඔහුට හෝ ඇයට යළි ගොඩඒමක් ඇත්තේම නැත. ලෙඩාගේ ඔළුව බිම වැදුණොත් බොහෝ විට මල් ශාලාවට ආදායමක් ලැබෙන්නේය. මේ දිනවල ඇති ජීවන වියදම අනුව අවමංගල අවස්ථාවක් සංවිධානය කිරීමට අඩුම ගණනේ රුපියල් ලක්‍ෂයක්වත් වැය වේ. ඉතාම ලාභ කරකබල් පිටපලු ලෑලිවලින් නිපදවන මිනී පෙට්ටිය පවා රුපියල් 35,000 කි. ඒ පෙට්ටියේ රුපියල් 500ක ලෑලි නැත. හැබැයි ඉතාම ලාභ පිටපලු ලෑලි නිසා මේ මිනී පෙට්ටිවලට වහා ගිනි ඇවිලෙන අතර, ඉතා කෙටි වේලාවක් තුළ මළමිනිය ඉතිරි වෙද්දී පෙට්ටිය දැවී අළු වෙයි. අපි ඉහතින් කිව්වේ අතුරු කතාවකි. කොළඹ මහ රෝහලේ සුළු සේවකයන් කුඩ්ඩන් බව කී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලනට සිදුවූයේ කුමක්දැයි මීළඟට සොයා බලමු.

වෛද්‍ය බෙල්ලන කුඩ්ඩන් පිළිබඳ කතන්දර කියා තිබුණේ සාක්‍ෂි සහිතව ය. එම සිද්ධිය ඔප්පු කළ හැකි තමන් සතු වීඩියෝපට කීපයක් ද වෛද්‍ය බෙල්ලන විසින් මාධ්‍යයට නිකුත් කර තිබිණ. මේ බව දුටු කොළඹ මහ රෝහලේ සුළු සේවකයන්ට යකා නැග්ග අතර ඔවුහු බෙල්ලනගේ නිල කාමරය වටකොට එම කාමරයෙන් පිටවීම හෝ එයට ඇතුළුවීම වළක්වමින් මහා විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ. මේ රටේ රෝහල් සේවකයන් පිළිබඳ ඇත්ත කතාව මෙසේ ය. මෙහි තිබෙන හැම ප්‍රධාන රෝහලකම සුළු සේවකයෝ ගංජා සහ කුඩු ගසති. රටපුරා තිබෙන ආණ්ඩුවේ ඉස්පිරිතාල සැණෙකින් වටලා හදිසි පරීක්‍ෂණයක් කළොත් රෝහල්වල සුළු සේවකයන්ට මහත් ඇබැද්දියක් සිදු වේ. ඇතැම් සේවකයන් මහ දවාලේ කසිප්පු බී බුලත්විට කමින් හිඟන ජීවිත ගත කරති. අප පෙර කී පරිදිම මෙහි සැබෑ අවදානම ඇත්තේ ලෙඩුන්ටය.

ශ්‍රී ලංකාවේ කුඩු මූලික කරගත් වැඩ සංස්කෘතියට තවමත් අවුරුදු 50 කට වඩා නැත. ලංකාවට මුලින්ම කුඩු එන්නේ 1973 දී ය. ඒ අනුව කැමැති කෙනෙක් වෙතොත් කුඩු ලංකාවට පැමිණීම පිළිබඳව අර්ධ ශතකය සැමරීම සඳහා කිසියම් උත්සවයක් හෝ සංවිධානය කළ හැකිය. අද වන විට ශ්‍රී ලංකාව කුඩුවලින් ස්වයංපෝෂිත වී තිබේ. අයිස් නමැති මත්ද්‍රව්‍ය නිසා කුඩු ගහන අයට සහනයකුත් ලැබී තිබේ. එනම් ඉතා පිරිසිදු කුඩු ග්‍රෑම් 1 ක් රුපියල් 5000 ක් පමණ මිල වේ. මෙයට හුණු කුඩු සහ පැරසිටමෝල් කුඩු එකතුකර තත්ත්වයෙන් බාල කර ග්‍රෑම් එකක් රුපියල් 2500 පමණ මුදලකට ලබාගත හැක. එහෙත් අයිස් ග්‍රෑම් එකක් රුපියල් 500 කි. මේවා තත්ත්වයෙන් බාල කළ බඩු නොව ඔර්ජිනල් බඩු ය. කුඩු යනු සාමාන්‍ය ජනතාවගේ මත්ද්‍රව්‍යයක් නොවේ. විශේෂයෙන් ලංකාව වැනි රටක එදා වේල කන්න නැති ජනයාගේ ආර්ථිකය දෙස බලන විට ඔවුන් රුපියල් 2500 ක් හෝ රුපියල් 5000 ක් වැය කර දිනපතා කුඩු ගහන්නේ කොහොමද යන ප්‍රශ්නය පැනනඟී.

ඒ අතර රේගුව සහ ආරක්‍ෂක අංශ දිනපතා කුඩු කිලෝ හත්අටසීය බැගින් අල්ලති. මේ කුඩුවලට කුමක් සිදුවන්නේද? එවැනි කුඩු තොග නඩු භාණ්ඩ වශයෙන් උසාවියට ඉදිරිපත් කර උසාවියේ ගබඩාවලට යැවූ පසු පාන්පිටි බවට පත්වන අවස්ථා තිබේ. කහ කුඩු මිල අඩුවට තිබූ කාලයේදී රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට ගිය කුඩු කිලෝවක් ආපසු පැමිණියේ කහකුඩු කිලෝවක් බවට පත්වීමෙන් පසුවය. කුඩුවලට කහ කුඩු මාරුකළේ කවුද? මෙය සිදුකළේ ගබඩාවේ සුළු සේවකයන් ද? නො එසේ නම් ඊට වඩා බලගතු අත්වලින් ද? කුඩු ගැන කතා කිරීමට ගිය රුක්‍ෂාන් බෙල්ලන ඔහුගේ නිල කාමරයේ සිරකළ බව අප දනිමු. පැය ගණනාවකට පසු පොලිසියෙන් පැමිණ දැඩි ආරක්‍ෂාව යටතේ ඔහු කැඳවාගෙන යන ලදි. රුක්‍ෂාන් බෙල්ලනගේ දේශපාලන ව්‍යවහාරය ගැන අපටද ප්‍රශ්න තිබේ. එහෙත් මහරෝහලේ කුඩු ගැන ඔහු කී කතාව බොරුවක් නොවේ. එම කතාව ප්‍රසිද්ධ වීමට එරෙහිව එම රෝහලේ සුළු සේවකයන් කටයුතු කළ ආකාරය ඉතාම ගඳගහන සුළුය. අපේ රටේ රාජ්‍ය සේවය මෙබඳු අසූචි ගොඩවල්වලින් සමන්විත වීම ජනතාවගේ සෞඛ්‍යයට කිසිසේත් හිතකර නැත. එබැවින් එම අසූචි ගොඩවල් වහාම ඉවත් කර ජනතාවට ඒවා පෑගීම වැළැක්විය යුතුම ය.

advertistmentadvertistment
advertistmentadvertistment