පුවත අසත්‍යයි – නලින්ට, හෙක්ටර්ට කනගාටුව

2429

ජිනීවා අමතන්න ගිය මන්ත්‍රීලාට බේබදුකම ලොකුවෙලා යන මැයෙන් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ විසින් පසුගිය 08 දා මුල් පුවතකින් පළ කරනු ලැබූ ප්‍රවෘත්තිය සත්‍යයෙන් තොර බවට මේ වනවිට අනාවරණය වී ඇත.

එම පුවත මගින් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන්ට සිත්තැවුලක් සහ අපහාසයක් සිදුවූයේ නම් එම දෙදෙනාට අපි කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු දෙදෙනකු ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට ගිය ද ඔවුන් මත්පැන් සාදයකට සහභාගිවීම හේතුවෙන් නියමිත වේලාවට ඔවුනට අදහස් දැක්වීමට නොහැකි වූ බවද එම පුවතින් වාර්තා කර තිබිණි.

එහෙත් කුරුණෑගල දිස්ත්‍රික් සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා එහිදී සිය අදහස් දැක්වීම සිදුකර ඇති අතර පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාට සංවිධායකයන්ගෙන් මතු වූ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් අදහස් දැක්වීමට අවස්ථාව හිමිවී නොමැත.

ඊට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරු දෙදෙනා ඒ බව අපට සනාථ කළේය.

ඊට අමතරව මන්ත්‍රීවරු දෙදෙනා එවැනි කිසිදු මත්පැන් සාදයකට සහභාගිවී නොමැති අතර වැරදි මූලාශ්‍රයක් මත අදාළ පුවත පළවී තිබේ.

එබැවින් අදාළ මුල් පුවත හේතුවෙන් එම මන්ත්‍රීවරුන්ට නැවතත් කනගාටුව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ විසින් ප්‍රකාශ කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment