පුවත ගැන ආරක්‍ෂක අංශ සීරුවෙන් – ශ්‍රී ලංකාවට 18දා කොටි ප්‍රහාරයක්?

440

ඉන්දීය බුද්ධි අංශ සාමාන්‍ය පුවතක් බව කියයි

මෙරට රැකවල් තර කරයි

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මෙම 18 වැනිදා ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැළසුම් කර ඇති බවට පසුගිය 13 වැනිදා The Hindu පුවත්පතේ ඇති පුවත සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර අදාළ ආරක්ෂක අංශ දැනුවත් කර ආරක්ෂාව තර කිරීම සඳහා සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

The Hindu පුවත්පත පළකර ඇති තොරතුරු සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසීමෙන් අනතුරුව එම තොරතුර සාවද්‍ය තොරතුරක් ලෙස දන්වා ඇති බවත් මේ පිළිබඳව විමර්ශනය කර වැඩිදුර තොරතුරු වේ නම් ඒවා පිළිබඳව මෙරටට දැනුම්දීමට කටයුතු කරන බවටතක් ඉන්දීය බුද්ධි අංශ දැනුම් දී ඇතැයිද ආරක්ෂක අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව ගැඹුරු ආර්ථික සහ දේශපාලනයක පැටලී ඇති අවස්ථාවේ මෙරට තුළ ප්‍රහාර ක්‍රියාත්මක කිරීම සඳහා තහනම් සංවිධානයක් වන කොටි සංවිධානය හෙවත් එල්. ටී. ටී. ඊ සංවිධානයේ පැරණි සාමාජිකයන් යළි එක්ව සිටින බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇති බව The Hindu පුවත්පත සිය පුවත මගින් ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ලංකාව තුළ උග්‍රවන ප්‍රචණ්ඩ විරෝධතා මධ්‍යයේ අවස්ථා දෙකකදී හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත්කර ඇති බැවින් බහුජාතික සම්බන්ධතා ඇති ශ්‍රී ලංකා දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර පවතින ගැටුම් අතරතුර තම අරමුණු ඉටුකර ගැනීම සඳහා උත්සහ කරමින් සිටින බවද The Hindu පුවත්පත සිය පුවතේ සඳහන් කර ඇත.

මෙම 18 වැනිදාට යෙදී ඇති මුල්ලිවයික්කාල් සංවත්සරය සැමරීමට සූදානම් වන ඇතැම් කණ්ඩායම් “දෙමළ ජන සංහාර සැමරුම් දිනය’ ලෙස ප්‍රකාශ කර මෙම ප්‍රහාරය දියත් කිරීමට සැළසුම් කර ඇතැයි The Hindu පුවත්පත පවසා ඇත.

ඉන්දීය බුද්ධි අංශ තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාව තුළ ත්‍රස්ත සැළසුම් ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් පිරිසක් තමිල්ලනාඩුවට ඇතුළුවී තිබෙන බවද The Hindu පුවත්පත පවසයි.

මෙම තත්ත්වය හමුවේ වෙරළබඩ දිස්ත්‍රික්කවලින් ලබාගත් තොරතුරු අනුව රාජ්‍ය බුද්ධි අංශ සහ ප්‍රාදේශීය පොලිසියේ විශේෂ කණ්ඩායම් ප්‍රාන්තයේ කිලෝමීටර් 1000 කට වැඩි වෙරළ තීරයේ සෝදිසියේ යෙදී සිටින බවද The Hindu පුවත්පත කියා සිටී.

මෙම අවදානම් තත්ත්වය පිළිබඳව මුහුදු යන ධීවරයන්ද දැනුවත් කර තිබෙන අතර ගැඹුරු මුහුදේ සහ ජාත්‍යන්තර මුහුදු සීමාවෙන් කිසියම් සැක කටයුතු පුද්ගලයන් හෝ සැක කටයුතු ක්‍රියාකාරකමක් සිදුවේ දැයි සොයා බලන ලෙස ද උපදෙස් ලැබී ඇතැයි The Hindu පුවත්පත පවසයි.

මෙම පුවත සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් පණිඩිඩයේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සබඳතා වැඩි දියුණු වෙමින් පවතින අවස්ථාවේදී එය කැළඹීමට පත් කරන මෙම පුවතේ සත්‍ය අසත්‍යතාවය කුමක්ද යන්නයි.

මුල්ලිවයික්කාල් සැමරුම් වැළැක්වීම සඳහා මෙවැනි තත්ත්වයන් වාර්තා කරන්නේද? යනුවෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබන ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ චානක්‍යයන් රාසාමානික්කම් මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ ඇත්තටම මෙය සත්‍ය පුවතක්ද එසේ නැතහොත් අවධානය වෙනතකට යොමුකර පනවා ඇති හදිසි නීති තත්ත්වය සාධාරණීකරණය කිරීමට හෝ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීම සඳහා මෙවැනි පුවතක් පළ කළේද යන්නයි.

පාස්කු ප්‍රහාරයේදී රෝ සංවිධානය ඒ බව දැනුම් දුන්නේ ශ්‍රී ලංකා බුද්ධි අංශයට මිස මාධ්‍යයට නොවන බවත් මෙවර එය ලබාදී ඇත්තේ මාධ්‍යයට බවද බිමල් රත්නායක මහතා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

වසන්ත ලියනගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment