පුස්සදේව යෝධයාගේ මහා නිධානය සැඟවුණු සංඛපාල කඳුවැටියත් බිමටම සමතලා වෙයි

3144

සංඛපාල කඳුවැටිය රජයට අයිති රක්‍ෂිත ප‍්‍රදේශයක්…
සංඛපාල රජමහා විහාරයේ භාරකාර කොකාවල කෝසල හිමි

ගල්බොක්කයාය රක්ෂිතයේ ගල කඩලා කැලෑව විනාශ කළොත් අවට ගම්මානවලට වතුර නැති වෙනවා…
මීගහයාය ප‍්‍රදේශවාසීහු

සංඛපාල කඳු වැටියට කිසිම හානියක් කරන්නේ නෑ…මීගහයාය ගමේ යටිතල පහසුකම් දියුණු කරනවා…
හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ප‍්‍රධානියෙක්…

ඇස ගැටෙන සෑම තැනම වගා බිම්ය. එහෙත් ඒ වගා බිම්වල වැඩ කරන මිනිස්සු නැත. ඈතට ඈතට පිහිටි ගෙවල් ඉදිරිපිට ද මිනිස් රුවක් ඇස නොගැටෙන තරම්ය. දැඩි පෑවිල්ලත් සමඟ වියරු හිරුගේ ගිනියම නිසා දහවල් කාලයේදී ප‍්‍රදේශවාසීන් නිවෙස් තුළින් එළියට නොයෙන සේය. ඇඹිලිපිටිය – රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ ගල්කොරිය හන්දියෙන් වමට හැරී මීගහයාය ගම මැදින් සංඛපාල ගල්බොක්කයාය රක්ෂිත ප‍්‍රදේශයට යන තෙක් මිනිසුන් තුන්හතරදෙනකුට වඩා මුණ නොගැසිණි.

‘සංඛපාල ගල්බොක්කයාය රක්ෂිත කඳුවැටිය කොම්පැණිවලට විකිණීමට එරෙහි ජනතා උද්ඝෝෂණය’ ගැන දැනුවත් කිරීමේ දැන්වීම් පුවරු නම් පාර දිගට ගහෙන් ගහට අලවා තිබෙන අයුරු ඇස ගැටිණි. දූවිලි වලා මැදින් ගුරු පාර දිගේ කඩතොලූ වූ කොන්ක‍්‍රීට් මාර්ගයේ ද කාපට් ඇතිරූ පාර දිගේ දුර ගමනක් ගිය අපි සංඛපාල කඳු බෑවුමේ පොඩි මැණිකෙලාගේ නිවස අසළ නතර වීමු. අපි එන ආරංචියට ගමේ හතරපස්දෙනෙක් එම නිවසට පැමිණ සිටියහ. ඔවුන් අතරින් ගමේ කතාවට මුල පිරුවේ ගුණවර්ධනය.

‘‘අපේ ගමේ වගේම මේ අවට ගම්මානවල ජීවත්වන පවුල්වල ප‍්‍රධාන ජීවනෝපාය ගොවිතැන. මේ පොළොවේ මොනව වගා කළත් පැළ වෙනවා. ඒ තරම් සාරවත්. රතුළුණු සරුවට හැදෙනවා. ඒ සියලූ වගා කටයුතු කරගෙන යන්නේ උල්පත් ජලයෙන්. මහ පෑවිල්ලකට වුණත් අපේ වගා ළිංවල වතුර තියෙනවා. එහෙම දිය සිරාව තියෙන්නේ මේ කන්ද නිසා. මේ කඳුවැටිය සුද්ධ කළාට පස්සේ වගාවක් කරගන්න වතුර පොදක් නැති වෙයි කියලා අපිට ලොකු බයක් තියෙනවා. ඒ වගේම මේ කන්ද නිසා සුළඟෙන් අපේ ගම්මාන ආරක්‍ෂා වෙලා තියෙනවා…’’ ගුණවර්ධන පාරම්පාරික ගොවියෙකි. වයස අවුරුදු පනස් පහකි. දෙදරු පියෙකි. ඔහුගේ දරු පවුල ජීවත්වන්නේ ගොවිතැනෙන් ලැබෙන ආදායමෙනි. එහෙයින් ගුණවර්ධනලාගේ හිත්වලට දැනෙන බිය සාධරණය.

පුස්සදේව යෝධයාගේ මහා නිධානය සැඟවුණු සංඛපාල කඳුවැටියත් බිමටම සමතලා වෙයි

මීගහයායට පමණක් නොව අවට ගම්මානවලට ආරක්‍ෂිත බැම්මක් සේ ඇති මහා විශාල සංඛපාල කඳු වැටිය ජල පෝෂක ප‍්‍රදේශයකි. අලි, ඇතුන් නොහිටියාට දිවියාගේ සිට මෙරට ජීවත්වන සියලූ වන සතුන් එම රක්‍ෂිත ප‍්‍රදේශයේ ජීවත්වන බව ප‍්‍රදේශවාසීහු කියති. එම රක්‍ෂිත ප‍්‍රදේශයට ආවේණික ඖෂධ පැළෑටි විවිධ ශාක බොහෝමයක් ඇති බව ද ප‍්‍රදේශවාසීන්ගේ අදහසය. මහා පෑවිල්ලකට වුව ද දිය නොසිඳෙන ගල් පොකුණු කිහිපයක්ම කඳුවැටිය පුරා විසිරී තිබෙන බව ද ඔවුහු කියති. ඔවුන්ගේ කතාවලින් අපට තේරුම් යන යථාර්ථය නම් සංඛපාල කඳුවැටිය ප‍්‍රදේශයට මහා සම්පතක් බවය.

‘‘අපි ජීවත්වන ඉඩම්වලට ඔප්පු නෑ. මේ සේරම ඉඩම් අයිති වෙන්නේ සංඛපාල විහාරයට. ඔය කඩන්න යන ඩොලමයිට් ගල තියෙන කඳු වැටියත් අයිති වෙන්නේ සංඛපාල විහාරයට. අක්කර පනහ ප‍්‍රදේශයෙන් යනකොට සංඛපාල කඳුවැටියේ තවත් ගල් කඩන ස්ථාන කිහිපයක්ම තියෙනවා. ඒ සෑම ප‍්‍රදේශයක්ම අයිති වෙන්නේ සංඛපාල විහාරයට. සංඛ්‍යපාල විහාරයේ අවසරයක් නැතිව මේ ඉඩම්වල මොනවත් කරන්න බෑ…’’ ගලාගෙන යන කතාවට ආනන්ද සේනාරත්න ද එසේ සම්බන්ධ විය.

‘‘අපි වගා කරන ඉඩම්වලට අවුරුද්දට රුපියල් සීයක බද්ධක් පන්සලට ගෙවන්න ඕනෑ. වෙනත් කෙනෙකුට ඉඩම විකිණුවොත් හතරෙන් එකක් පන්සලට ගෙවන්න ඕනෑ. අපි බදු ගෙවන්නේ, පවුල් නඩත්තු කරන්නේ අස්වනු විකුණලා ගන්න ආදායමෙන්. මේ රක්ෂිත එළිපෙහෙළි කරලා පොළව යට තියෙන ගල කැඩුවට පස්සේ වතුර නැති වෙලා මේ ගම් කාන්තාර වෙනවා. අපි තව ටික කාලයකින් මැරිලා යයි. ඒත් අපේ දරුවො මේ ඉඩම්වල ගොවිතැන් කරගෙන ජීවත්වෙන්න ඕනෑ. ගල කඩනවට විරුද්ධ වෙන්නේ අපි ගැන හිතලා නෙමෙයි, අපේ දරුවො ගැන හිතලා…’’ ආනන්ද උච්ච ස්වරයකින් කතාව නතර කළේය. ඔහුට වයස අවුරුදු හතළිස් දෙකකි. දරු දෙදෙනකුගේ පියෙකි. යල, මහ ගොවිතැන් කර ලැබෙන ආදායමෙන් සරල දිවිපෙවෙතක් ගෙවන බව හේ අපට පැවසීය. ආනන්දලා පමණක් නොව මීගහයාය ගමේ කළවරේ සංඛපාල කඳුවැටිය සමීපයේම ජීවත්වන ඞී. පොඩි මැණිකේ අම්මලා ද ගොවිතැන් කර දිවිමඟ අසීරුවෙන් යනෙන බව ඇය අප සමඟ පැවසුවාය. හිඟුරාණෙ සිට මීගහයායට දීගතල පැමිණි දා සිට ඇය ජීවත්වනුයේ සංඛපාල කඳුවැටිය පාමුල පිහිටි නිවසේය. දැන් ඇයට වයස අවුරුදු හැත්තෑතුනකි. පස්දරු මවකි. ඇය අපට පැවසුවේද කන්දෙ ගල කැඩුවොත් ගමට වතුර නැති වෙයි කියා බයක් තියෙන බවය. කතාව එසේ ගලාගෙන යන අතරේ ගුණවර්ධන නැවතත් කතාවට එකතු විය.

‘‘සංඛපාල කඳුවැටියේ ගල්බොක්කයාය ප‍්‍රදේශයෙන් අක්කර දෙසීය පනස්තුනක් කොම්පැණියකට දීලා කියලා ආරංචියි. ඒ භූමි ප‍්‍රමාණය එළිපෙහෙළි වුණොත් අපේ ගම් වේළෙනවා නියතයි. දැනටමත් මීගහයාය හන්දියෙන් මේ ප‍්‍රදේශයට පාර කපාගෙන එනවා. පාරේ වැඩත් දැන් ගොඩක් ඉවරයි. පාරවල් කැපෙන එක නම් හොඳයි. ගල කඩන එක තමයි නරක…’’

රත්නපුර දිස්ත‍්‍රික්කයේ, ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනාඩුව ග‍්‍රාම සේවා වසමේ ජීවත්වන පවුල් අටසීය ගාන මෙන්ම සංඛපාල කඳුවැටියට මායිම් වූ සෙසු ග‍්‍රාම සේවා වසම්වල ජනතාව බියෙන් සලිත වී සිටිනුයේ කඳුවැටිය එළිපෙහෙළි කිරීම තුළ ප‍්‍රදේශයේ ජල උල්පත් සිඳී ගොස් වගා කටයුතු සිදු කිරීමට නොහැකි වෙයි කියාය. පසුගිය 23 වැනිදා ගල්කොරිය හන්දියට එකතු වූ ප‍්‍රදේශවාසීන් ගල කැඞීමට එරෙහිව උද්ඝෝෂණය කළේ ද ඒ නිසාය. මීගහයාය ගමේ මිනිස්සු කියන කතාව සිතේ තබාගෙන පෙළගැසෙන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට සංඛපාල රජමහා විහාරයේ භාරකාර උඩවලව ගුණරතන පිරිවෙනේ කත්‍යාධිකාරි, කොකාවල කෝසල හිමියන් බැහැදැකීමට අපි ගියෙමු. පෙළගැසෙන සිද්ධිය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ පැනයන්ට උන්වහන්සේ දැක්වූයේ මෙවැනි අදහසකි.

‘‘සංඛපාල විහාර නින්දගමට අයිති වෙන්නේ රාජාධිරාජසිංහ රජු විසින් කරතොට ධම්මාරාම හාමුදුරුවන්ට පූජා කරන ලද අක්කර දොළොස්දාහස් හයසීයක භූමි බාගය. 1938 අවුරුද්දේ ඒ භූමිය සම්පූර්ණයෙන් මැනුම් කටයුතු සිද්ධකරලා තියෙනවා. එම මැනුමේදී කැලෑ රක්‍ෂිත, ගඟ රක්‍ෂිත, දොළ රක්‍ෂිත කියලා වෙන් කරලා එම රක්‍ෂිත ප‍්‍රදේශ රජයට පවරාගෙන තියෙනවා. නින්දගමට අයිති ඉතිරි ඉඩම් ටික සංඛපාල විහාරයට පවරා දීලා තියෙනවා. නඩු තීන්දුවකිනුත් ඒ අයිතිය විහාරයට පවරා දීලා තියෙනවා. ඒ නිසා සංඛපාල කඳුවැටිය පන්සලට අයිති නෑ. ඒක රජයට අයිති රක්ෂිත ප‍්‍රදේශයක්. පන්සලේ නින්දගමට අයිති පහළ භූමිය…’’ ‘‘ඒ වගේම ගල්බොක්කයාය කඳුවැටියේ ගලක් කඩන්න යනවා කියලා මීගහයාය ගමේ මිනිස්සු උද්ඝෝෂණ කරනවා. ඔය කියන සුනංගුවට ගල් කඩන්න බෑ. ගලක් කඩන්න අවසර ගතයුතු ආයතන කිහිපයක් තියෙනවා. ඒ සියලූ ආයතනවලින් අනුමැතිය ලැබුණට පස්සෙ තමයි ගලක් කඩන්න පුළුවන්. එවැනි පසුබිමක ගල කඩන්න යනවා කියන හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාවේ අයිති මහත්තයත් ඇවිත් මට කරුණු පැහැදිලි කරලා ගල කඩන ප‍්‍රදේශයට යන්න පන්සලේ ඉඩම්වලින් පාර කපන්න අවසර ඉල්ලූවා. ‘බොක්කු මෙච්චර ප‍්‍රමාණයක් වැටෙනවා. පාළම් දානවා. හොඳට පළලට පාරවල් හදනවා’ කියලා ඒ මහත්තයා මට කිව්වා. ඕනෑම ප‍්‍රදේශයක යටිතල පහසුකම් දියුණු වෙනකොට ඉඩම්වලට වටිනාකමක් එනවා. ප‍්‍රදේශවාසීන්ට පහසුවෙන් ගමන් බිමන් යෑමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඒ යෝජනාවට මම කැමති වුණා. ගමට යන්න පාර කැපෙනවට ප‍්‍රදේශයේ මිනිස්සුත් කැමති වුණා. මිනිස්සු පදිංචි ඉඩම්වල වටිනා ගස් කැපෙන ඒවාට, පාරට යන වගා බිම්වල වටිනාකමත් ඒ මහත්තයා ගෙව්වා. එවැනි සමකාමී පරිසරයක තමයි හිටිහැටියේ ප‍්‍රදේශවාසීන් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තේ…’’

‘අපේ හාමුදුරුවනේ ගල කැඞීමේ මුවාවෙන් නිධන් සෙවීමේ වෑයමක් තිබෙන බවට ප‍්‍රදේශවාසීන් චෝදනා කරනවා…’ උන්වහන්සේගේ කතාවට මම අතුරු ප‍්‍රශ්නයක් යොමු කළෙමි.

‘‘රටේ පිළිගත්, දේශීය ව්‍යාපාරිකයෙක් වන ඒ මහත්තයට තවත් නිධන් ඕන නෑ. මෙරටත්, විදේශීය රටවලත් ලොවම පිළිගත් ව්‍යාපාර එතුමාට තියෙනවා. ඒ නිසා එම චෝදනාව එකහෙළා මම බැහැර කරනවා. ඒ වගේම සංඛපාල කඳුවැටියේ නිධන් ගැන ප‍්‍රදේශවාසීන් ලොකු උනන්දුවක් තියෙනවා. මම නම් ඒ මාතෘකාව කතා කරනවාටත් අකමැතියි. සංඛපාල පූජා භූමියත් අවට නින්දගමත් ඓතිහාසික ප‍්‍රදේශයක්. රහතන් වහන්සේලා වැඩ සිටි බවට සංඛපාල කඳුවැටියේ කඨාරම් කෙටූ ගල් ලෙන් කිහිපයක්ම තියෙනවා. ඒ හා බැඳුණු ජනප‍්‍රවාද තියෙනවා. ඒ වගේම සංඛපාල ප‍්‍රදේශය දුටුගැමුණු රජතුමා විසින් පුස්සදේව යෝධයාට ලබාදීපු ගම්වරයක්. ජනප‍්‍රවාදයේ කියැවෙන විදිහට ඒ ගම්වරය ගව් නවයක් දිගයි. ගව් නවයක් පළලයි. පසුකාලීනව පුස්සදේව යෝධයා ජීවිතයේ යථාර්ථය තේරුම් ගෙන මහණ වෙලා තියෙනවා. පැවිදි ජීවිතයට ඇතුළත් වෙනකොට පුස්සදේව යෝධයා සන්තකයේ තිබුණු මුතු, මැණික්, රත්තරං සියලූ ධනය සංඛපාල කඳු මුදුනේ විශාල ගලක නිධන් කරලා තියෙනවා කියලා ඉතිහාස පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. අවසානයේ පුස්සදේව හාමුදුරුවෝ රහත්භාවයට පත්වෙලා සංඛපාල විහාරයේදීම පිරුණුවන්පාලා උන්වහන්සේගේ දේහය ආදහානය කරලා තියෙන්නේ විහාරයට පහළ අක්කර හතරක විතර මහා ගල් තලාවක් මැද. අදටත් ඒ සොහන තියෙනවා…’’ සංඛපාල රජමහා විහාරයේ ඉතිහාසයත්, වාර්ථමානයේ උද්ගතව ඇති ගැටලූව ගැනත් කෝසල හාමුදුරුවෝ කරුණු පැහැදිලි කළහ. අනතුරුව සංඛපාල කඳුවැටියේ පිහිටි ඩොලමයිට් ගල කැඞීමට සැලසුම් කර ඇති හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ආයතන ප‍්‍රධානියෙක්ට ද දුරකථනය ඔස්සේ කතාකර උද්ගතව ඇති ගැටලූව සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළෙමු. මේ ඔහු කියන කතාවය.

පුස්සදේව යෝධයාගේ මහා නිධානය සැඟවුණු සංඛපාල කඳුවැටියත් බිමටම සමතලා වෙයි

‘‘සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් 95%ක් ගෙන්වන්නේ පිටරටින්. 5% ක් වැනි සුළු ප‍්‍රමාණයක් තමයි මෙරටින් ලබාගන්නේ. සංඛපාල නින්දගම සතු ඉඩම්වල කැඩෙන ගල්වලින් දැනටත් අපි ඩොලමයිට් ගන්නවා. මේ ගල කඩන්න ගත්තත් මහා පරිමාණයෙන් කෑඞීමක් කරන්නේ නෑ. සුළු වශයෙන් තමයි ගල් ගන්නේ. ඒ වගේම මේ ගල කැඩුවා කියලා සංඛපාල කඳුවැටියට කිසිදු හානියක් වෙන්නේ නෑ. මහා කැලෑ විනාශයක් නොවන නිසා ප‍්‍රදේශයේ ජල සම්පතට හානියක් වෙන්නෙත් නෑ…’’

‘‘කඳුවැටියේ ගල කැඩුවොත් මහා විනාශයක් වෙනවා කියලා විපක්‍ෂයේ දේශපාලන කණ්ඩායම් මීගහයාය ප‍්‍රදේශවාසීන්ව බයකරලා තියෙනවා. ජනතාව ඒකරාශි කරගෙන උද්ඝෝෂණ කරවන්නේ විපක්‍ෂයේ දේශපාලඥයින්. ඒ කවුද කියලත් අපි දන්නවා. අපි සියලූ දේ කරන්නේ නීත්‍යානුකූලව. ඒ නිසා විපක්‍ෂයේ උසිගැන්වීම් වැඩක් වෙන්නේ නෑ. වැඩි දවසක් නොගිහින් ප‍්‍රදේශවාසීන් ඇත්ත තේරුම් ගන්නවා. ඒ වගේම මීගහයාය ගම්මානයට හරිහැටි මාර්ග පහසුකම් තිබුණේ නෑ. දැන් අපි ගම පුරා විහිදී යන පුළුල් කොන්ක‍්‍රීට් මාර්ග හදාගෙන යනවා. පාරවල් කපන්න ගත්ත දවස්වල ප‍්‍රදේශවාසීන් හරි උනන්දුවෙන් අපිට උදව් කළා. මෑතක තමයි ගමේ ජනතාව වෙනස් වෙන්න පටන් ගත්තේ. ඒ වගේම මේ ගැටලූවත් එක්ක සංඛපාල රජමහා විහාරයේ භාරකාර හාමුදුරුවන්ට සමහර අය චෝදනා කරනවා. මේ ගල අයිති රක්‍ෂිතයට. නින්දගමට කිසිදු සම්බන්ධයක් නෑ. උන්වහන්සේට බොරුවට චෝදනා කිරීම පාපයක්…’’

‘‘විශේෂයෙන්ම කියන්න ඕනෑ අපි මේ රටේ ව්‍යාපාරිකයො. අපි උපන් රටට ආදරෙයි. මේ මහපොළවට, අපේ ජනතාවට හානියක් වෙන අඹමල් රේණුවක තරම් අවැඩක් සිද්ධ කරන්නේ නෑ. අපේ මේ වෑයම රටේ ආර්ථිකයට ශක්තියක් ලබාදීමයි. ගෙයක් දොරක් හදාගන්න සිමෙන්ති නැතිව ලතවෙන මිනිසුන්ට සාධාරණ මුදලට සිමෙන්ති කොට්ටයක් ලබාදීමයි. හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව විවෘත කරනවා කියන ආරංචියට වෙළෙඳපොළට සිමෙන්ති ඇවිත් තියෙනවා. පහුගිය කාලයට වඩා සිමෙන්ති මිලේ යම් අඩුවීමක් පෙන්නුම් කරනවා. හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ වුණාට පස්සේ වෙළෙඳපොළේ සිමෙන්ති මිල තවත් අඩු වෙනවා. ඒ නිසා විපක්‍ෂයේ දේශපාලනඥයන්ගේ බොරු බේගල් පිළිගන්නේ නැතිව අපි කියන ඇත්ත පිළිගන්න කියලා මීගහයාය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා…’’ සිමෙන්ති මිල මෙන්ම ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය සියලූ භාණ්ඩ සහ ද්‍රව්‍යවල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක සිමෙන්ති මිල අඩු වෙනවා කියන ආරංචියම රටේ ජනතාවට සතුටකි. ශ‍්‍රී ලංකා රාමක්‍ද්ක්‍ද මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක, ඇඹිලිපිටිය ශී‍්‍ර බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවෝ කියන මේ අපූරු වචන කිහිපය ද පෙළගැසෙන කතාවට ආශිර්වාදයකි.

‘‘හම්බන්තොට සිමෙන්ති නිෂ්පාදන ආයතනයක් විසින් සංඛපාල කඳුවැටිය ආශ‍්‍රිත ගලක් කැඞීමට සැලසුම් කිරීමත් සමඟ ප‍්‍රදේශවාසීන්ගේ විරෝධතාවයක් මතුවෙලා තියෙනවා. යම් ප‍්‍රශ්නයක් පිළිබඳ තීන්දු, තීරණ ගත යුත්තේ ඒ සම්බන්ධයෙන් ජනතාවට සිදුවන යහපත හෝ අහයපත කියන පදනම යටතේ. ඒ වගේම යම් කැණීමක් කිරීමේදී අවසර ගතයුතු ආයතන කිහිපයක් තියෙනවා. භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. එම ආයතනවල අවසරය ඇතිව යම් කැණීමක් සිදු කෙරෙන්නේ නම්, එම කැණීම නිසා රටේ ආර්ථිකයට, සංවර්ධනයට යම් දායකත්වයක් ලැබේ නම් කිසිදු වරදක් නෑ. ඒ වගේම එම ආයතනවල අවසරය ඇතිව සිදුකෙරෙන කැණීම්වලදී පරිසරයට, වනසතුන්ට සහ ප‍්‍රදේශයේ ජීවත්වන ජනතාවට විපත්තියක්, විනාශයක් නොවන බවද මගේ අදහස. ඒ නිසා රැල්ලට යන විරෝධතාවලට සම්බන්ධ නොවී ප‍්‍රදේශවාසීන් විදිහට සිහිබුද්ධියෙන් කටයුතු කිරීම ඔබටත්, රටටත් යහපතක්. මේ රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගැනීමට නම් මහා පරිමාණ කර්මාන්ත ශාලා වැඩි, වැඩියෙන් ආරම්භ විය යුතුයි. නිත්‍යානුකූලව, පරිසරයට හානියක් නොවන ආකාරයට කර්මාන්ත ශාලා ආරම්භවීම ගැන රටේ ජනතාව සතුටු වෙන්න ඕනෑ…’’

ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවන්ගේ කෙටි දේශනයට තවත් අටුවා ටිකා ඇවැසි නැති බව සැබෑය. එහෙත් මොහොතින්, මොහොත ගිලෙන මේ රටට යහපතක් වෙනවා නම් එක සිතින් අප ද කැමති බව පැවසිය යුතුය. අනේක විධ ගැටලූවලින් හෙම්බත් වී සිටින ජනතාවට යම් හෝ අස්වැසිල්ලක් ලැබීම ද සතුටකි. එහෙත් මුතුන් මිත්තන්, අප දුටු ඓතිහාසික සංඛපාල කඳු වැටිය අනාගත පරපුරටත් එලෙසින්ම දැකබලා ගැනීමට ශේෂ විය යුතුය. එහි නිධන් ගත පුරාවස්තු ජාතියේ නාමයෙන් ආරක්‍ෂා කළ යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment