පුස්සන් උස්සන්න පොලිස් තැතක් – නිස්සෝ නීතිය හමුවට යති

273

දේශපාලන අවශ්‍යතා මත සුදුසුකම් නැති නිලධාරීන් පිරිසකට උසස්වීම් පිරිනැමීමට උත්සාහ දරන බවත් ඒ හරහා සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා උසස්වීම් පිරිනැමීම ඉතාම අසාධාරණ ආකාරයට සිදුවන බවත් කියමින් පොලිස් නිලධාරීහු පිරිසක් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටිති.

සුදුසුකම් සම්පූර්ණ නොකළ නිලධාරීන් පිරිසක් සහ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ බව කියන නිලධාරින් පිරිසකයට සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා උසස්වීම් ලබාදීමට දරන උත්සාහයක් නිසා එම උසස්වීම් ලබාදීම මේ වන විට දැඩි අක‍්‍රමවත් තත්ත්වයකට පත්ව ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් අසාධාරණයට ලක්වූ නිලධාරින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින අතර තමන්ට සිදු වී ඇති අසාධාරණයට එරෙහිව අධිකරණයේ සහාය ලබාගැනීමට ද ඉදිරියේදී පියවර ගනිමින් සිටියි.

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් 230 දෙනකු සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා උසස්වීම් ලැබීමට නියමිතව සිටින අතර එම ලැයිස්තුවේ සිටි නිලධාරීන් 25 දෙනකුට හදිසියේම ක්‍ෂේත‍්‍ර උසස්වීම් ලබාදීමට කටයුතු කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී අසාධාරණයට ලක් වූ නිලධාරියකු කියා සිටියේ සුදුසුකම් සම්පූර්ණ නොකළ නිලධාරීන් පිරිසක් සහ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ නිලධාරීන් යැයි කියන පිරිසක් මෙම උසස්වීම් ලැයිස්තුවට ඇතුළත් කිරීමට ගන්නා උත්සාහය නිසා මෙම උසස්වීම් පිරිනැමීම් දිනෙන් දිනම ප‍්‍රමාද කරමින් සිටින බවයි.

සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා සම්මුඛ පරීක්‍ෂණ අවසන් කර මාස 5 කට වැඩි කාලයක් මේ වනවිට ගතවී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment