පුසුල්පිටිය වෙහෙර අනතුරේ!

84

පුරාවස්තු හොරුන්ගේ කල්ලමරේ

සම්බුද්ධ ශාසනය විනාශ මුඛයට පත් කළ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවූ කාලයේ ජාතියේ මුදුන්මල්කඩ වූ දළදා වහන්සේ සඟවා තිබූණේ කොත්මලේ පුසුල්පිටිය රාජ මහා විහාර භූමිය තුළ බව ජන ප්‍රවාදගතය. මේ ආරාජික සමයේ කීරවැල්ලේ ශ්‍රී මල් බණ්ඩාරයන් සතුව තිබූ දළදා වහන්සේ දඹදෙණියේ පුස්තකාලාධිපතිව වැඩ විසූ වාචිස්සර නම් මා හිමිපාණන් වෙත භාර කරන ලදුව පුසුල්පිටියට වැඩම කර එක් අප්‍රකට ස්ථානයක නිධන් කර ඇත. අනතුරුව උන්වහන්සේ එතර වැඩමකොට ජීවිත ආරක්ෂා කරගත් බව ඉතිහාසයේ සඳහන්ය. මාඝ ආක්‍රමණය නිසා විනාශ වූ රටත් ශාසනයත් නැවත බැබළ වීමේ අධිෂ්ඨානයෙන් කටයුතු කළ කාලිංග විජයබාහු නොහොත් ශ්‍රී මල් බණ්ඩාර දඹදෙණිය සිය රාජධානිය බවට පත් කර දළදා වහන්සේ කොහි වැඩ සිටින්නේ දැයි විපරම්කොට බැලීය. කොත්මලේ පුසුල්පිටියේ එය තැන්පත්ව ඇතැයි යන ආරංචිය ලැබ පස්වනක් ප්‍රීතියට පත් වූ රජු මහ පෙරහරින් පැරණි ශ්‍රී පාද ගමන් මාර්ගයේ ගොස් පස්බාගේ ගඟින් එතෙරව දිඹුලට පැමිණ දිඹුල කන්දේ (විජයබාහු කන්ද ) ගමන් මාලිගාවක් තනා එහි රැය ගතකර අනතුරුව සාමාන්‍ය පෙරහරකින් නියම්ගම් දොරට පැමිණ එහි සිට සූදානම්ව පුද සිරිත් සහිත පෙරහරකින් පුසුල්පිටිය රාජ මහා විහාරස්ථානයට ගොස් සියලු පුද සිරිත් සිද්ධකොට දළදා වහන්සේ නිශ්චිතවම දකින්නට කැමතිව ප්‍රාතිහාර්ය පාන ලෙසට සැදැහැ සිතින් ))සත්යෝ ක්‍රියා කළේය. දළදා වහන්සේ අහසට පැන නැඟ සවණක් රැස් විහිඳුවා සපුගසක් මත මද වේලාවක් වැඩ සිට රජතුමාගේ හස්තයට වැඩම කළ බව ජන ප්‍රවාදයේ සඳහන්ය. අනතුරුව රජු මහ පෙරහරින් පැරණි පෙත්මඟ ඔස්සේ අටබාගේට පැමිණ දළදා වහන්සේ දඹදෙණියට වඩම්මවා විජයසුන්දරාමයේ තැන්පත් කර මහත් පුද සිරිත් පළ කළ බව ඉතිහාසයේ සඳහන්ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පිහිටි පුසුල්පිටිය රාජ මහා විහාරය දෙවන පෑතිස් රජ දවස ඉදි කරන ලද රාජ අනුග්‍රහය ලද පූජනීය ස්ථානයකි. අවස්ථා ගණනාවකදී මේ වෙහෙර රාජ සම්මානයට පත් විය. දඹදෙණි යුගයෙන් පසු අවස්ථා දෙකක දී දළදා වහන්සේ මෙහි වැඩමකොට ආරක්ෂා කරන ලද්දේය. ගම්පොළ යුගයේ සතරවන බුවනෙකබා රජ දවස මෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස දී මේ විහාරස්ථානයට කරන ලද සත්කාරයන් අපමණය. මලියදේව මහ රහතන් වහන්සේ විසින් දඹදිව් තලයෙන් වැඩම කරවන ලද දඹරන් පිළිම වහන්සේ සිවුනමක් අතරින් එක්නමක් වැඩ සිටින්නේ පුසුල්පිටිය රාජ මහා විහාරස්ථානයේය. ඒ සමග කලාත්මක වටිනාකමකින් යුක්ත වූ දැවමය මකර තොරණ ඇත් දළ යෙන් සකස් කරන ලද කරඬු ආදී මහාර්ඝ පූජා වස්තූන් මෙහි තැන්පත්ව පිහිටියේය.

මේ සා මහා වැදගත්කමක් උසුලන මෙම විහාරස්ථානය 1983 වර්ෂයේ දී නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් විය. නාවලපිටිය කොත්මලේ මාර්ගයේ පිහිටි කලපිටියෙන් හැරී කි.මි. තුනක් පමණ මඟ ගෙවා පැරණි පෙත්මඟක පැමිණ උස්කඳු මුදුනක පිහිටි මේ විහාරයට පැමිණිය හැකියි. ඒ පිහිටීමේ හුදකලා බව නිසා ම මේ වනවිට සත්වතාවක් නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක් වී ඇත. 2009 ජනවාරි 17 වැනි දින මේ ස්ථානයට ළඟා වූ නිධන් හොරුන් තඹ හා පිත්තල බුදු පිළිම වහන්සේ නමක් සොරා ගෙන ගෙස් තිබේ. ඉන් පසු 2009 සැප්තැම්බර් පළමු වැනි දින මෙලෙසම පෞරාණික බුදු පිළිම වහන්සේ නමක් සොරා ගෙන ගොස් තිබේ. අනතුරුව 2011 දෙසැම්බර් 14 වැනි දින මෙම විහාරයට පැමිණි නිධන් හොරුන් එහි තිබෙන කුඩා චෛත්‍යයේ හතරැස් කොටුව බිඳ නිධන් වස්තු සොරා ගෙන ගොස් තිබේ.

ඉන්පසු 2015 අගෝස්තු මස 16 වැනි දින පස්වන වතාවටත් එහි පැමිණි පිරිසක් පෞරාණික බුදු පිළිම වහන්සේලා සොරා ගෙන ගොස් තිබේ. 2016 අගෝස්තු මස 16 වැනි දින මෙම විහාරස්ථානයේ තිබූ වටිනාම පූජා වස්තුවක් වූ ඇත් දළ මුවා, දළකඩ තොරණ නමින් හඳුන්වන මකර තොරණ සොරා ගෙන ගොස් තිබේ. පුසුල්පිටිය රාජ මහා විහාරාධිපති පූජ්‍ය අමුණුගම විපස්සී නායක හිමියන් විසින් මෙයට අදාළ පැමිණිල්ල පොලිසිය වෙත කළ පසු සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත් වී තිබේ. අවසාන වතාවට 2017 අගෝස්තු මස 03 වැනි දින සිවුදෙනකු පැමිණ දුටුගැමුණු කුමරුගේ කෙවිට, රන් ආභරණ සහ පෙති පිළිම වහන්සේලා තැන්පත් කර තිබූ චේතියඝරය සහිත කුඩා චෛත්‍ය ගර්භය බිඳ නිධන් වස්තු පැහැර ගෙන ගෙස් තිබේ.

පුසුල්පිටිය වෙහෙර අනතුරේ!

මෙම ප්‍රවෘත්තිවලින් කියැවෙන කාරණා කිසිවක් අලුත් දේ නොවේ. එහෙත් පුසුල්පිටිය වැනි ඓතිහාසික විහාරස්ථානයකට අත්ව ඇති ශෝචනීය ඉරණම සහ මෙරට ආරක්ෂාව භාර අංශ සහ පැරණි දේ සුරැකීම වෙනුවෙන් පිහිටුවා තිබෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමේ ගැටලු සහගත ස්වභාවය හෙළි කිරීමට මේ සිද්ධි ඉවහල් වන ආකාරය පැහැදිලි කළ හැකිය. මේ සිද්ධි දාමයේ බරපතළම සොරකම සිදු වූයේ 2016 වර්ෂයේදීය. එනම් විහාරස්ථානය සතුව තිබූ සතර වන බුවනෙකබාහු රජු විසින් පූජා කරන ලදැයි සැලකෙන දළකඩ මකර තොරණ සොරා ගැනීමට අදාළව ආරක්ෂක අංශ ගත් පියවර සහ නීතිමය කටයුතුවල වර්තමාන තත්ත්වය තුළ අපට දක්නට හැකි වන්නේ සොරුන් නිදැල්ලේ පුරාවස්තු අනතුරේ යන්නයි.

2016 දී සිදු කළ මේ පුරාවස්තු සොරකමින් පසු පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට පත් කර ගෙන ඇත. ඒ සාක්ෂි අනුව නඩු අංක බී/181/16 යටතේ නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන ලද සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. මේ සම්බන්ධව පොලිසිය විසින් 2016/9/20 දින යොමු කරන ලද ලිපිය අනුව මධ්‍යම පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයාව සිටි ගුණතිලක බණ්ඩා මහතා ක්‍රියාත්මක වී පුරාවස්තු ආරක්ෂණ කොට්ඨාසයට දන්වන ලදුව 2016 ඔක්තෝබර් මාසයේ දී අවශ්‍ය ස්ථානීය පරීක්ෂාව සිදු කර තිබේ. අනතුරුව 2017 ජනවාරි මස 27 වැනි දින පොලිසිය විසින් යළි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලදුව 2017 පෙබරවාරි 7 වැනි දින අධිකරණයට මෙම පුරාවස්තුවේ වටිනාකම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. ඒ වාර්තාව අනුව සැකකරුවන්හට ඇප ලබාදිය නොහැකි බව පැහැදිලි වේ.

මෙම දළකඩ මකර තොරණ උසින් අඩි 3.5 කි. දැවයෙන් සහ ඇත් දළවලින් නිම කරන ලද මේ මකර තොරණ සොරා ගෙන යන දින විහාරයේ සවිකර තිබූ CCTV කැමරාවේ සොරකම කරන ආකාරය මනාව සටහන් වී තිබුණි. මකර තොරණ ගලවා කර තබා ගෙන යන ආකාරය තුළින් ගම්‍ය වනුයේ ඒ ස්ථානයට තිබූ ආරක්ෂාවේ දුර්වල ස්වභාවයයි. මේ මහා හොරකම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබුණ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි ඉහළ නිලධාරීන් ගේ පක්ෂපාතීත්වය හෝ නොසැලකිල්ල මත අපරාධකරුවන්ට ඇප ලැබී තිබුණි. එසේම සොරාගත් මකර තොරණ ද ඔවුන් ගෙන් ලබාගැනීමට හැකියාව මෙතෙක් ලැබී නැත. මේ හා සමානව දැදිගම කොට වෙහෙරෙන් හමු වූ රන් කරඬුවට ද අත්ව තිබෙන්නේ ද මේ ඉරණමයි. පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂතාවය නිසා මේ වටිනා පූජනීය වස්තූන් කිසිවක් මෙතෙක් නැවත ලබාගැනීමට හැකියාව ලැබී නොමැත. අවසානයේ දී මේ ඇප දීමට එරෙහිව නඩු කීමට සිදු වූයේ පුසුල්පිටිය රාජ මහා විහාරයේ භාරකාර තැන්පත් ලංකා තිලක විහාරයේ බස්නායක නිලමේ ප්‍රියන්ත අමුණුගම මහතාටය. ඔහු ඉහළ අධිකරණයට ඉදිරිපත් කරන ලද නඩුකරය බෙහෙවින් ප්‍රබල විය.

නඩු වාර ගණනාවකට පසු 2024 මැයි මාසයේ 31 වැනි දින නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ දී පවත්වන ලද නඩු විභාගයේ දී නැවතත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව සැල වී තිබේ.

පුරාවිද්‍යා ආඥා පනතේ 15(අ) වගන්තිය අනුව පුරාවස්තු සොරකමකදී දෙපාර්තමේන්තුවට කළ හැකි දේ සීමිතය. එම පුරාවස්තුවේ වටිනාකම සහ එහි ඓතිහාසික අගය සම්බන්ධව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා විනා එය නැවත ලබාගැනීමට මැදිහත් වීමට හෝ නඩුකරය මෙහෙයවා ඉදිරියට ගෙන යෑමට ප්‍රතිපාදන නොමැත. සියලුම වගකීම පැවරෙන්නේ පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. පොලිසිය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 366 වගන්තිය අනුව නඩු පවරා ඒ අපරාධමය වරද ඔප්පු කර දඬුවම් ලබාදිය හැකිය. ලංකාවේ ක්‍රියාත්මක මෙවැනි නඩුකරවල දී ඔවුන් දක්වන උදාසීනත්වය බරපතළ තත්ත්වයකි. සොරකම සම්බන්ධව මාධ්‍යවල වාර්තා පළ වී නඩු පවරා අනතුරුව කාලයක් ගත වුවහොත් කිසිවකුගේ අවධානය එයට යොමු නොවේ. ඒ කාලය තුළ පුරාවස්තුව ඇතැම්විට විදේශවලට විකුණා අවසන්ය. පෞරාණික වස්තුවල අනුරූ සංචාරකයන්ට අලෙවි කරන බොහෝ පිරිස් මේ සොරකම්වලට සම්බන්ධ බවට සැක පහළ කෙරේ. ඒ නිසා ඔවුන් පිළිබඳ නියාමනයක් සහ පුරාවස්තු සොරකම් සම්බන්ධ නීතියේ සංශෝධනයක් කළ යුතුය. පාර්ලිමේන්තුව තුළ අණපනත් පැටව් ගහන සමයක අත්‍යවශ්‍ය පනත් සංශෝධන කිසිවක් සිදු කෙරෙන්නේ නැත. ඒ උරුමය විනාශ මුඛයට යෑම පාලකයන්ට ප්‍රශ්නයක් නොවන බැවින් යැයි කල්පනා කළ හැකිය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment