පුහුණුකරු නික්ම යන තරගාවලිය

462

කලකට පසු ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියට ප‍්‍රාණය ලැබී ඇත. ඒ ශ‍්‍රී ලංකවෙනි. ශ‍්‍රී ලංකාවේ අංක එකේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් ලෙසින් ප‍්‍රචලිත ගාල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී එසේ ටෙස්ට් තරගයක් ආරම්භ වන්නේ දෙමසකට ආසන්න කාලයකට පසුවය. එසේම ශ‍්‍රී ලංකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ මග යමින් ඉන්දියාව සහ නවසීලන්තයද, පකිස්තානය සහ බංග්ලාදේශයද ටෙස්ට් පිටියට පියවර තබා ඇත. පිළිවෙලින් ලබන 25 වෙනිදා සහ ලබන 26 වෙනිදා ඔවුන්ගේ තරග ඇරඹේ.

ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි සහ අවසන් ටෙස්ට් තරගය ලබන 29 වෙනිදාට යෙදී තිබේ. සීමිත පන්දු වාර තරග යනු සුදු පන්දුවේ තරගයි. සුදු පාට ඇඳුමින් සැරසී රතු පන්දුවට මුහුණ දීම ටෙස්ට් තරගවල විශේෂ ලක්ෂණය වේ. පාට ඇඳුමින් සැරසී සුදු පන්දුව ඉදිරියේ අධිවේගී තරග රටාවක නිරත වීම සීමිත පන්දු වාර ක‍්‍රිකට් තරග රටාව වේ. සුදු පන්දුවට හුරු වී සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ටෙස්ට් තරගයකට මුහුණ දෙන්නේ මාස 6කට පමණ පසුවය. ඔවුන් අවසන් වරට ටෙස්ට් තරගයකට මුහුණ දුන්නේ පසුගිය මැයි මාසයේ ආරම්භයේදීය. ඒ බංග්ලාදේශයට එරෙහිවය. ශ‍්‍රී ලංකාව ඉන් ජය ගත්තේය. තරගාවලියේ වීරයා නායක දිමුත් කරුණාරත්නය. අවසන් තරගයේ වීරයා ප‍්‍රවීන් ජයවික‍්‍රම විය. ශ‍්‍රී ලංකා කණ්ඩායම බොහෝ කලකට පසුව ටෙස්ට් පිටියට පිවිසෙන්නේ ටෙස්ට් තරග පිටියේ විශේෂ ක‍්‍රීඩකයන්ගෙන් යුතුවය. දිමුත් සහ ප‍්‍රවීන් මෙන්ම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා ඒ අතර වෙති. ඕෂධ ප‍්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් ද, සුරංග ලක්මාල් සහ දඟ පන්දු ප‍්‍රබලයන් වන ලසිත් ඇඹුල්දෙණිය සහ රමේෂ් මෙන්ඩිස් ද ඒ අතර වෙති.

මේ ඇරඹෙන ටෙස්ට් ක‍්‍රිකට් සමය වසංතයක් කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම වග බලා ගත යුතුය. දෙවෙනි ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සඳහා හොඳ ආරම්භයක් කර ගත යුතුය. මන්ද පළමු ලෝක කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේදීද ශ‍්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ හොඳ තැනක් නොවේය. නවසීලන්තය එහි ශූරයන් වූ අතර ඉන්දියාවට අනුශූරතාවය හිමි විය. ශ‍්‍රී ලංකාව නැවතුණේ කණ්ඩායම් 9ක් අතරින් 8 වෙනි ස්ථානයේය. ඒ නිසා ශූරතාවය නොව අඩුම තරමේ තව ස්ථාන කිහිපයක් ඉහළට ආ යුතුය. එපමණක් නොව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකකට ආසන්න කාලයක් සිය සේවය ලබා දුන් මිකී ආතර් මෙම තරගාවලියෙන් අනතුරුව සිය රාජකාරිය නිම කිරීමට නියමිතය. ඒ නිසා පුහුණුකරුට සැනසිලි සහගත සමුගැනීමක් ලබා දීමද ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ යුතුකම විය යුතු වේ.

advertistmentadvertistment
advertistmentadvertistment