පුහු පොල්

274

රටට ගැළපෙන නව ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැකසීම අරඹා ඇතැයි අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන කියයි. 1970 න් පසු මෙරට බලයට පත්වූ ආණ්ඩු අතරින් යහපාලන ආණ්ඩුව හැර සෙසු හැම ආණ්ඩුවක්ම ‘රටට ගැළපෙන’ බැනරය යටතේ අධ්‍යාපනය වෙනස් කළේය. විවිධ දූෂණ වංචා ආරවුල් දේශපාලන පළිගැනීම් යනාදිය පසුපස දිවයමින් සිටියා මිස අධ්‍යාපනය වෙනස් කිරීමේ වැඩපිළිවෙළකට යොමුවීමට තරම් නිදහසක් යහපාලන ආණ්ඩුවට තිබුණේ නැත. රටක අධ්‍යාපනය වෙනස් කිරීම යනු මතු පරපුරේ ඔළුව වෙනස් කිරීමය. එහෙත් අනුන්ගේ ඔළුව වෙනස්කර දීමට තරම් ඔළුවක් යහපාලන ආණ්ඩුවට තිබුණේ නැත. යහපාලන ආණ්ඩුව මේ රට පාලනය කළ යුගය බෙදුම්වාදී යුද වලින් විනිර්මුක්ත නිදහස් සමයක් වුවද දේශපාලන සංග‍්‍රාම වලින් ගහන වූවකි. ඒ නිසා මේ රටේ අධ්‍යාපනයට අත නොතැබීම ගැන යහපාලන ආණ්ඩුවට සමාව දෙමු. මේ රටේ අධ්‍යාපනයට නව ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීම ගැන කතා කරමු.

ශ‍්‍රී ලංකාව තුළ ආණ්ඩුවේ පාසල් 10012 ක් තිබේ. ඒවායේ සිටින ශිෂ්‍ය ප‍්‍රජාව හතළිස් දෙලක්ෂයකි. ගුරු ප‍්‍රජාව දෙලක්ෂ තිස්පන්දහස් නවසිය තිස් හතරකි. පුද්ගලික පාසල් 104 ක් රට තුළ ඇති අතර ඒවායේ ඉගනුම ලබන ශිෂ්‍ය ප‍්‍රජාව එක්ලක්ෂ විසිහත්දහස් නවසිය හැට අටකි. ඊට අමතරව පිරිවෙන් හත්සිය තිස් හයක් තිබෙන බවද අප මතක තබාගත යුතුය. මේ අනුව අධ්‍යාපනයට කරන ඕනෑම වෙනසක් මිලියන හතරයි දශම හයක් පමණ වූ ගුරු සහ ශිෂ්‍ය ඔළුගෙඩි වලට බලපායි. මේ බලපෑම හරි ගියොත් කම්පියුටර් මිලියන 4.6 ක් බිහිවේ. මේ බලපෑම වැරදුනොත් පුහු පොල් ගෙඩි මිලියන 4.6 ක් බිහිකෙරේ. බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් ස්වකීය අභිමතය උදෙසා මොළය කැප කළ හැකි ප‍්‍රජාවක් බිහිකරනු පිණිස සම්පාදනය කරන ලද White Collar Job අධ්‍යාපන ක‍්‍රමය සිංහල ගුරුවරයකු හා පසුකාලීන අධ්‍යාපන ඇමැති වූ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර විසින් 1947 දී වෙනස් කරන ලදී. වයිට් කොලර් ජොබ් අධ්‍යාපන ක‍්‍රමය යනු ක්ලාර්ක්ලා සහ චීෆ් ක්ලාර්ක්ලාත් දොස්තරලා සහ ලෝයර්ලාත් බිහිකරන අධ්‍යාපනයකි. ක්ලාර්ක් කෙනෙක් හෝ චීෆ් ක්ලාර්ක් කෙනෙක් වීමට කරන ඉගෙනුම ලංකාව තුළදී සමාප්ත කිරීමට හැකිවිය. දොස්තරලා සහ ලෝයර්ලා වීමට නම් අධ්‍යාපනයේ ඉතිරි හරිය එංගලන්තයේදී කළ යුතු විය. එතෙක් ඉංග‍්‍රීසියෙන් දුන් අධ්‍යාපනය වෙනස් කළ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහා විද්‍යාල සහ මධ්‍ය මහා විද්‍යාල හඳුන්වා දෙමින් පාසල් වලට සිංහල භාෂාව ගෙනාවේය. ඒ කතන්දරය 1970 තෙක් එහෙමම පැවතින. 1970 දී බලයට පත්වූ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව සාම්ප‍්‍රදායික ඕලෙවල් සහ ඒලෙවල් විභාග අහෝසිකර ඒ වෙනුවට අලූත් විභාග දෙකක් ද අලූත් විෂය මාලාවක්ද විෂය මාලා සංවර්ධන දෙපාර්තමේන්තුවක් ද හඳුන්වා දුන්නේය. 1977 දී බලයට පැමිණි ජේ. ආර්. සිය මුල්ම දේශපාලන පළිගැනීම් අතුරින් එකක් ලෙස කළේ බණ්ඩාරනායක මැතිනිය හඳුන්වා දුන් නව අධ්‍යාපන ක‍්‍රමය ඉවරකර දමා පැරණි ඒ ලෙවල් සහ ඕලෙවල් විභාග නැවත හඳුන්වා දීමය. 1994 දී බලයට පත්වූ චන්ද්‍රිකා කුමාරතුංග ගේ ආණ්ඩුව ද අධ්‍යාපනය වෙනස් කළේය. එම ආණ්ඩුවේම ඊළඟ දිගුව වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අධ්‍යාපන ක‍්‍රමයට විවිධ වෙනස්කම් හඳුන්වා දුන්නේය. අප කලින් කී පරිදි මේ sabject එකේදී යහපාලන ආණ්ඩුව Zero තත්ත්වයක් ගනී. බලයට පත්වී අවුරුදු දෙකහමාරකට පසු අධ්‍යාපනයේ වෙනසක් ඇති කිරීමට මේ ආණ්ඩුවට දැන් වුවමනා වී තිබේ.

කවුරු කොහොම කිව්වත් මේ රටේ අධ්‍යාපන ක‍්‍රමය සතු විඤ්ඤාණය වූ කලී අදටත් ඉංග‍්‍රීසි ආණ්ඩු කාලයේදී මෙන් වයිට් කොලර් ජොබ් කාරයන් බිහි කිරීමය. කෘෂිකර්ම උපාධියක් කිරීමට එකෙක්වත් කැමති නැත. වෛද්‍ය හෝ ඉංජිනේරු උපාධිය කිරීමට වැඩිදෙනා කැමති නමුත් ඊළඟට ලැබෙන කලා උපාධියෙන් සැනසීමට ඒ සියලූම දෙනා කැමැත්තාහ. ඊළඟට ඒ සියලූ දෙනා ආණ්ඩුවේ රස්සා සොයති. උපාධිකාරයන්ගෙන් වැඩි දෙනා කැමති ගුරු වෘත්තියට ය. එහි රහස මේ වෙලාවේදී සාකච්ඡුා කරනු නොලැබේ. ගුරුවරුන් පාසලට එන්නේ රැුකියාවක් පමණක් කර ගෙදර යෑමට නම් ඒ ඉගැන්විල්ලෙන් පලක් නැත. ඒ නිසා ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් අලූතින් සකස් කරන සෑම විටකම ගුරුවරුන්ගේ ඔළු හැදීමේ ක‍්‍රියාවලියට වැඩි අවධානයක් යොමුකළ යුතු බව අපේ යෝජනාවය.

ශ‍්‍රී ලංකාව සතු කටවල් සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ යමින් පවතී. ආහාරවල අවශ්‍යතාව ඉතා ඉහළය. ක්ලාර්ක් ලා වීමට මිස කෘෂිකාර්මිකයන් වීමට අකැමැති ජන විඤ්ඤාණයක් තිබෙන සෑම රටකටම ඇති ප‍්‍රශ්නයට අපි මුහුණ පා සිටිමු. මේ වනවිට හාල් ද පරිප්පු ද සීනි ද ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය පොහොර ද පිට රටින්ම ගෙන්වීමට සිදුව තිබේ. ඒ සියල්ලටම ඩොලර් නැති නිසා අපි ඊළඟ වේල කෙසේ කමුදැයි කල්පනා කරමු. සුදුසු අධ්‍යාපන ක‍්‍රමයකින් පෝෂණය වුණු ඔළුගෙඩි අපට ඇත්නම් මෙවැනි විපතක් සිදුවන්නේ නැත. අලූත් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය හදන විට ශිෂ්‍ය ප‍්‍රජාව ගැන මෙන්ම ගුරු ප‍්‍රජාව ගැනද සිතා යමක් කරන ලෙස අපි අධ්‍යාපන ඇමැතිගෙන් ඉල්ලමු.

advertistmentadvertistment
advertistmentadvertistment