පුළුවන් කෙනෙකුට රට භාරදී  තොලොංචි වෙලා පලයල්ලා – මනූෂ නානායක්කාර

356

කලහකාරී නොවී ලැබෙන පළමු නිමේෂයේදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව වත්මන් ආණ්ඩුව පලවාහැරීමට කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේගය ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

සිවිල් ජනතාව හැමදාම මේ තියෙන තෙල් අර්බුදය, පෝලිම් එක්ක දුක් විඳල, ලයිට් නැතිව ගෙදර ඉන්න බැරි නිසා තැන තැන විරෝධතා දක්වන්න ගත්තා. මිරිහාන, ජුබිලිකනුව අසල සාමකාමී විරෝධතාවයක් පැවැත්වුණා. ඉටිපන්දම් අරගෙන සාමකාමී විරෝධයක් පැවැත්වුණේ. මෙතැනට ජනතාව ආවේ දරුවෝ කරේ තියාගෙන. තමන්ගේ දරුවාගේ අනාගතය සම්බන්ධයෙන් බියවුන අම්මලා ආවේ. ගෙදර දරුවන්ට

නිදාගන්න බැරිව කෑ ගසන විට වේදනාව දරාගන්න බැරි තාතත්ලා පාරට ආවා. මේ රට හොරා කාලා, මංකොල්ලකෑමේ ප‍්‍රතිඵලයක් විදියට රට වැටුණ තත්වයෙන් පීඩා විඳින ජනතාව පාරට ආවා. මේ ජනතාව කඩු, ගල් මුගුරු අරගෙන ආවේ නෑ. මේ ජනතාව සාමකාමීව විරෝධතාවය පැවැත්වූවා.

මේ අය ස්වාධීනව එකතුවුන අය. සමාජ ජාලාවල හරි, ප‍්‍රදේශවල හරි එක්වූ ජනතාව. එක්වරම මේ තත්වය වෙනස් වෙන්න ගත්තා. අංක තහඩු නැති බස්වලින් සෙනග බහින හැටි අපි දැක්කා. හෙල්මට් දාගත්ත අමුතු පන්නයේ ජනතාව කණ්ඩායමක් එකතු වෙනවා අපි දැක්කා. අවසානයේදී මේ බස් රථයට ගිනි තබන්නේ එක් අයෙක්. ටයර් එකට ගිනි තියන්නේ පොලිසිය හමුදාව බලා සිටියදී. මේ පුද්ගලයා කවුද? කොහෙන් ආපු කෙනෙක්ද? කවුරු හරි බස් එකකින් ගෙනත් දාපු අයෙක්ද?

මේ එක්කම තමයි අද උදේ පාන්දරම ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරලා කලහකාරී සිදුවීම් පිටුපස අන්තවාදීන් සිටින බව පවසනවා. පැය දෙකක් ඇතුළත අන්තවාදී කණ්ඩායමක් ගැන නිවේදන දානවා. යකඩ, මුගුරු, කැති පොලූ අරගෙන ආපු අය සිටියා කියනවා. ඒත් සාමකාමී උද්ඝෝෂකයන් අතේ කැති, පොලූ මුගුරු තිබෙනවා දැක්කේ නෑ. ජනතාව පිස්සා කියනවා නම් අපි දැක්කා. කැරලිකාරීන්, අන්තවාදීන් කියන්නේ පිස්සා කියපු නිසාද? අරාබි වසන්තයක් කරමු කියලා උද්ඝෝෂකයන් කියූ බව ජනාධිපති ලේකම් කාර්යාලය කියනවා. ඒවා හොඳටම අහගෙන හිටියාද? මේ පීඩනය දරාගන්න බැරිනම් දෙයියන්ගේ නාමයෙන් පලයව්. බුදු දහම විනාශ කළෙත් රාජපක්ෂලාම තමයි. ඥාණක්කාගේ නාමයෙන්, ඔය විශ්වාස කරන බලි තොවිල්වල නාමයෙන්, විශ්වාස කරන කුම්භාණ්ඩයෙක්ගේ නාමයෙන් කියන්නේ මේ රට කරන්න පුලූවන් කෙනෙක්ට රට දීලා තොලොංචි වෙලා පලයල්ලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment