අද කතාව පොලිස් කතාවකි. මෙය ඉතාම අප්‍රසන්නම කතාවකි. එමෙන්ම දේශපාලනය විසින් මේ රටේ පොලිසිය මිලාන කරන සිද්ධියකි. පූගොඩ සිද්ධියේ නව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් සේනානායක සිය තනතුරේ වැඩ භාරගැනීමට සූදානම්ව සිටියදී ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනෙක් දැඩි බලපෑම් එල්ල කොට ඔහු මාරුකර යවා ඇත. අප නැවත වරක් කියන්නේ මෙය අප්‍රසන්න සහ මිලාන සිද්ධියක් බවය. මේ වචන දෙක තුළ මේ සිද්ධියට සම්බන්ධ දේශපාලන කූටභාවය ප්‍රකට කරන ඉඟියක් තිබේ.
දේශපාලනඥයන් විසින් රජයේ ආයතනවලට ඇඟිලිගැසීම මුලින්ම පටන්ගන්නේ 1970 සමගි පෙරමුණු ආණ්ඩු යටතේය. මේ සමගි පෙරමුණ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය යන පාර්ශ්ව තුනෙන් සමන්විත විය. කල්යත්ම සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එකී රජය තුළ කිසියම් ආකාරයකට නිෂ්ක්‍රීය තත්ත්වයකට පත්විය. ඒහාම ශ්‍රීලනිපයේ බලය මහත්සේ නැගෙන්නට විය. ඒ අතර එම පක්ෂය තුළ සිටි දේශපාලන චරිත කිහිපයක් උපරිම බලය ඇති සුපිරි චරිත බවට පත්වූහ. සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වී අවුරුදු දෙක තුනක් ගතවෙත්ම ආණ්ඩුවේ ඉහළ තනතුරු සියල්ලම පමණක් නොව කසළශෝධක තනතුර ද එකී දේශපාලනඥයන්ගේ ඇඟිලි ගැසීම්වලට ලක්විය. එකී බලවතුන්ගේ අභිමතය පරිදි ඕනෑම රජයේ නිලධාරියෙක් දුෂ්කර පළාතකට මාරුකර යැවීමට හැකි විය. එසේම දුෂ්කර පළාතක සේවය කරන ආණ්ඩුවේ ගොට්ටෙක් ඕනෑම අවස්ථාවක කොළඹට හෝ ඔහුගේ ගමේ කාර්යාලයට මාරුකර ගත හැකි විය. මේ නිසා රටේ පරිපාලනය කඩතොලුවීමට පටන් ගත්තේය. පොලිසිය යන සිවිල් ආයතනය බූරුවා ගසන කාඩ් කුට්ටමක් සේ ඇනීමටත් එහා මෙහා කිරීමටත් බලයක් තිබූ දේශපාලනඥයන් එකෙක් හෝ දෙදෙනෙක් එම ආණ්ඩුවේ හොඳ නමට බොහෝ කැළැල් කළහ. පොලීසියට අයුතු බලපෑමක් කිරීමට හැකිවන පරිදි කිසියම් දේශපාලනඥයෙක් ඉස්මතු වනවිට රජයේ සෙසු පොලිස් නිලධාරීහු එකී දේශපාලනඥයා වටා රොක්වීමටත් ඔහුට ගොට්ට ඇල්ලීමටත් පටන් ගනිති. මේ නිසා පොලිස් සේවය ද ඉතා ඉක්මනින් පරිහානියට පත්විය. කිසියම් දේශපාලනඥයකුගේ අන්තේවාසිකයෙක් කසිප්පු පෙරන ලද්දේ ද, පොලීසිය විසින් එම අන්තේවාසිකයා අත්අඩංගුවට ගත්ත ද පැය 24ක් තුළ එම පොලිසියේ සිටින සියලුම නිලධාරීන් මාරු කිරීමේ හැකියාව අදාළ දේශපාලනඥයාට විය. මෙය රටක් තුළ නොසිදුවිය යුතු නරක පූර්වාදර්ශයකි. මෙවැනි විටකදී කසිප්පු මුදලාලිට පළාතේ පොලිසියේ ඕඅයිසීගේ බලය තිබේ. අන්තිමට පොලිසිය හොරුන් බවටත් කසිප්පු ජාලය පොලිසිය බවටත් පත්වන්නේය. 1977 දී සමගි පෙරමුණු ආණ්ඩුව බලයෙන් පහවීමට බලපෑවේ පාන් පෝලිම් සහ හාල් පෝලිම් පමණක් නොවෙයි. ඒ ආණ්ඩුව රටේ පරිපාලන පද්ධතිය දූෂණය කිරීම සඳහා දේශපාලන පද්ධතිය යොදාගත් ආකාරය ද එම කඩාවැටීමට හේතු විය.
1977 න් පසු මේ රටට හඳුන්වා දෙන ලද අලුත් දේශපාලන සංස්කෘතිය විසින් පෙර කී නීච සහ පරිහානිගත සංස්කෘතිය ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනයන ලදි. සමාවෙන්න අප අතින් වූයේ වැරැදීමකි. සමගි පෙරමුණු ආණ්ඩුවේ පරිහානිය මෙන් දහස් ගුණයක පරිහානියක් 77න් පටන්ගත් ජයවර්ධන පාලනය විසින් ලංකාවට හඳුන්වා දෙන ලදි. එය අන්ත දූෂිත සමයක ආරම්භයයි. ස්ත්‍රී දූෂණයකට හෝ මිනීමැරුම් නඩුවකට සිර දඬුවම් ලැබී සිටි ගෝනවල සුනිල් නමැති දාමරිකයාට ජනාධිපති සමාව දී නිදහස් කර ඔහු සාමවිනිසුරුවරයකු වශයෙන් පත්කරනු ලබන්නේ ඒ ආණ්ඩුව විසිනි. ඒ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු ඉතා දරුණු ත්රාඩකාරයෝ වූහ. ඔවුහු බයිසිකල් චේන් සහ යකඩ පොලුවලින් රටක් පාලනය කරන හැටි පොලිසියට පුරුදු කළහ. සමගි පෙරමුණු ආණ්ඩු යටතේ පොලිසියට කරන ඇඟිලි ගැසීම් ගණන 10% ක් වී නම් ජයවර්ධන ආණ්ඩුව යටතේ කළ එවැනි ඇඟිලි ගැසීම් ප්‍රමාණය 1000%ක් විය. ඇතැම්විට රටේ නායකයන්ගේ අභිමතය පරිදි නීති විරෝධී කටයුතු ගැන සාමාන්‍ය පොලිස්කාරයන් අයිපීලා බවටත් ඒඑස්පීලා, එස්එස්පීලා බවටත් පත්කිරීමේ අපූරු යාන්ත්‍රණයක් එම ආණ්ඩුව සතු විය. එකල ෆේස්බුක් ද නැත. අන්තර්ජාලය ද නැත. මිනිසුන් රටේ තොටේ තොරතුරු දැනගත්තේ පුවත්පත් සහ ගුවන්විදුලියෙනි. එසේ නැත්නම් ශ්‍රී ලංකාව සතුව තිබූ එකම එක රූපවාහිනි චැනලයෙනි.
එයින් දසක බොහෝ ගණනක් ඉක්ම ගොස් ඇති මෙකල තවදුරටත් ඒ සෙල්ලම් කරන්නට බැරි බවට මතයක් ගොඩනැගී තිබේ. ගෝඨාභයගේ ආණ්ඩුව පෙරළීමේ කැම්පේන් එක සම්පූර්ණයෙන්ම සංවිධානය කරන ලද්දේ ෆේස්බුක් එක හරහාය. ගෝල්ෆේස් පිට්ටනියට රැස්වූ නිර්පාක්ෂික සහ නිරාගමික අරගලකරුවන් සතුව තිබූ එකම ආයුධය ස්මාර්ට් ෆෝන් එකය. පයින් හෝ බස් එකෙන් ගොස් කිවයුතු පණිවිඩය හෝ විධානය තත්පර කිහිපයක් තුළ ෆේස්බුක් එක හරහා ජනතාව වෙත යැවීමට අරගලකරුවන්ට හැකි විය. එවැනි යුගයක මැටි හරකුන් වැනි දේශපාලනඥයන්ට පොලිසියට ඇඟිලි ගැසීමට හැකිය යන කාරණය කිසිවකු විසින් පිළිගනු නොලැබේ. එහෙත් ඇත්තම කතාව නම් එය තවදුරටත් කළ හැකි බවය.
ගිය ආණ්ඩුව පැවැති කාලයේ පොලිසිවලට ඕඅයිසීලා තෝරන ලද්දේ මන්ත්‍රීගේ ලියුමකිනි. මේ ලියුම මුදලට පරිවර්තනය කළ හැකිය. අපට දැනගන්නට ලැබුණු පරිදි කිසියම් පොලිසියක ඕඅයිසී වීම සඳහා අවශ්‍ය ලිපිය ලබාගැනීමට රුපියල් ලක්ෂ පහක් පමණ වැය කළ යුතුය. පොලිසියට උදාවී තිබූ මේ දුර්භාග්‍යසම්පන්න තත්ත්වය මෙයට ස්වල්ප කලකට පෙර පොලිස්පතිතුමා විසින් ද පිළිගන්නා ලදි. එහෙත් වරද පිළිගැනීමෙන් හානිය පූරණය කළ නොහැක. එනම් මිනීමරුවා වරද පිළිගත්ත ද මියගිය එකාට පණ එන්නේ නැත. වරද පිළිගැනීම සහ සමාව ඉල්ලීම යනු කෘත්‍රිම විනීතභාවයේ අංග බවට පත්ව තිබේ. පොලිසියේ තිබෙන වැරැදි පොලිස්පති පිළිගත්තාට එමගින් දේශපාලනඥයන් හැදීමට නොහැක.
හපුටු දේශපාලනඥයන් දෙදෙනකු විසින් පූගොඩ ඕඅයිසී පුටුවේ ඉඳගැනීමටත් පෙර මාරු කිරීමේ පරිහානිගත සිද්ධියේ ඇත්ත කතාව ඕකය. එම මාරුකිරීමට වගකිවයුතු එක් දේශපාලනඥයෙක් පාර්ලිමේන්තුවේ උසස් තනතුරු දරමින් නිරන්තරයෙන් දේශපාලන බයිලා ගායනයේ යෙදේ. අනෙක් දේශපාලනඥයා වන මිලාන හාදයා ඒ තරම් වැඩක් තිබෙන මිනිසකු නොවන අතර ඉන්තේරුවෙන්ම කබ්බෙකි. එහෙත් බලවතා සහ කබ්බා එක්වී කළ හරිය ගැන බලන්න!
|