පූජනීය ස්ථාන පොදු කාර්යය යටතට විදුලි ඒකකයක් රු.32ට බස්සයි

98

උපයෝගිතා සභාපති මහනාහිමිවරුන්ට දන්වයි

පූජනීය ස්ථානවල විදුලි ගාස්තු දරා ගැනීමට නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙන බවට ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන පූජනීය ස්ථාන පුණ්‍යායතන කාණ්ඩයෙන් ඉවත්කර පොදු කාර්ය කාණ්ඩයට ඇතුළත් කිරීමට පියවර ගත් බවත් ඒ අනුව ඒකකයට අය කළ මුදල රුපියල් 75 සිට 32 දක්වා අඩුවීම තුළින් පූජනීය ස්ථානවලට සැලකිය යුතු සහනයක් ලැබෙනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

එම තීරණය පිළිබඳව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට දැනුම් දීම සඳහා පෙරේදා (08දා) මහනුවරට පැමිණි අවස්ථාවේ රත්නායක මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

පූජනීය ස්ථාන මගින් දහම් පාසල් පැවැත්වීම වැනි පොදු කටයුතු සිදුකරන බැවින් එය සැලකිල්ලට ගෙන ඒවා පොදු කාර්යය යටතට ඇතුළත් කිරීම කිසිදු ගැටලුවක් නොවන බවද ඒ මහතා කීය.

අගෝස්තු 08 වැනිදා සිට ක්‍රියාත්මක කළ විදුලි ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදයට අනුව පූජනීය ස්ථානවල විදුලි ගාස්තුව 550 % කින් ඉහළ ගිය බව ද සභාපතිවරයා පැවසුවේය.

එදින සිට බලපැවැත්වෙන පරිදි පොදු කාර්යය යටතේ වන ගාස්තු ක්‍රමය යටතට පූජනීය ස්ථාන හා පුණ්‍යායතන පත්කර ඊට අදාළ මිල ගණන අය කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබෙන බවත්, ඒ අනුව පසුගිය විදුලි බිල් පත මගින් අය කළ ගාස්තු ද ඊට සමානුපාතිකව අඩුකරනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය. නව ක්‍රමවේදය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයත් සෙසු ආගමික පූජකතුමන්ලාත් පිළිගනු ඇතැයි විශ්වාස කරන බව පැවසූ ඒ මහතා, පුණ්‍යායතන කාණ්ඩය යටතේ ආගමික ස්ථාන ඇතුළු ආයතන 48000 ක් පමණ ලියාපදිංචිව තිබෙන බවත් ඇතැම් ඒවා ඒ යටතේ ලියාපදිංචි කර තිබෙන්නේ විදුලි බිල සඳහා ලබාදී සහනය නිසාම බවත් පැවසුවේය.

සමන්ති වීරසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment