පූජිත්ට හේමසිරිට අධිචෝදනා නගා ඇත්තේ වග විභාගයකින් තොරවයි

420

පූජිත්ට හේමසිරිට අධිචෝදනා නගා ඇත්තේ වග  විභාගයකින් තොරවයි

පාස්කු ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ මූලික විමර්ශන ගොනු පරිශීලනය නොකොට අපරාධ චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු වැනි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට නඩු පැවරීම ඉතා කනගාටුදායක කරුණක් වන්නේ යැයි කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල පසුගිය 18 වැනිදා විවෘත අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.

ප‍්‍රහාර එල්ල විය හැකි නිශ්චිත ස්ථානයක් හෝ නිශ්චිත දිනයක් නොමැතිව ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිට සුදුසු පියවර ගන්නා ලෙසට විත්තිකරුවන් උපදෙස් හා නියෝග නිකුත් කොට තිබියදීත් නඩු පැවරීමට පෙර ඒ පිළිබඳව අවධානය යොමු නොකළ බව පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු වන පොලිස් නිලධාරියකු ලබාදුන් සාක්‍ෂි අනුවම පැහැදිලි වන්නේ යැයි ද විනිසුරු මඬුල්ල පෙන්වා දුන්හ.

විදේශයකින් ලදැයි කියන එකී බුද්ධි තොරතුර බුද්ධි සමාලෝචන මණ්ඩලයේදී සාකච්ඡාවට බඳුන් කළ හැකිව තිබියදීත් එලෙස නොකිරීමෙන් රාජකාරි වගකීම් පැහැර හැර ඇත්තේ එම විත්තිකරුවන් දෙදෙනා නොව හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානි නිලන්ත ජයවර්ධන බව තම අධිකරණයට හැඟී යන්නේ යැයි ද විනිසුරු මඬුල්ල සිය නියෝගය නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

එකී ප‍්‍රහාර සම්බන්ධයෙන් තමන්ට ලැබුණේ තහවුරු කළ බුද්ධි තොරතුරක් නොවන බවට පැමිණිල්ලේ පළමුවැනි සාක්‍ෂිකාර නිලන්ත ජයවර්ධන විසින්ම තම අධිකරණය හමුවේ ලබාදුන් සාක්‍ෂිය මගින්ම තහවුරු වී ඇතැයි ද විනිසුරු මඬුල්ල එහිදී පෙන්වා දුන්නේය.

රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා යනු පොලිසියට පමණක් බුද්ධි තොරතුරු සපයන අයකු නොවන බවත්, ඔහු සමස්ත රටේම ආරක්‍ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු අයකු බවත් එහිදී සිහිපත් කළ විනිසුරු මඬුල්ල තමන්ට ලැබුණු ජාතික ආරක්‍ෂාවට බලපාන බුද්ධි තොරතුරක් හෝ ඒ හා සමාන තොරතුරක් සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමෙන් පොලිස් ආඥාපනත අනුව ගැනෙන වරදක් වන්නේ යැයි ද පෙන්වා දුන්නේය.

විත්තිකරුවන් වැනි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදීමත් ඉතා බරපතළ කරුණක් බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි ද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන් නීතිපතිවරයා විසින් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේ සියලූම අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමින් විනිසුරු මඬුල්ල පෙන්වා දුන්හ.

ප‍්‍රහාර එල්ල වන බවට නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එකී ප‍්‍රහාර වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම ඇතුළු අධිචෝදනා 855 බැගින් ගොනුකර නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව පසුගිය 18 වැනිදා නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහොමඩ් ඉර්සදීන් යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි. අධිකරණය විසින් නිකුත් කළ එම නියෝගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාගෙන් විමසා සිටි නමුත් දෑත් එකතු කර සිනහමුසු මුහුණෙන් ආචාර කළ හෙතෙම කිසිදු කරුණු දැක්වීමක් සිදු නොකර අධිකරණ සංකීර්ණයෙන් නික්ම ගියේය. නිසි තොරතුරු සොයා බැලීමකින් තොරව එලෙස නඩු පැවරීමෙන් සිය සේවාදායකයාට පිරිමැසිය නොහැකි හානියක් මෙන්ම ඔහුගේ කීර්තිනාමයට දැඩි හානියක් සිදු වූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා ප‍්‍රකාශ කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment