පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ට පාඩම් ඉගැන්වූ බලන කොටුවේ හැන්දෑවක්….

961

කඩුගන්නාවේ ගත කළ කාලය හරිම අපූරු වූවකි. අප කවුරුත් එතරම් සැළකිල්ලක් නොදැක්වුවත්, කඩුගන්නාව හා ඒ අවට ඇති බොහෝ දෑ නරඹමින් එක දිනක වටිනා චාරිකාවක් කඩුගන්නාව අවටින් සැලසුම් කරගත හැකිය. සැබවින්ම මෙවන් කටයුතු සඳහා පහසුකම් දියුණු කර, සංචාරක ආකර්ෂණය දිනා ගැනීමත්, ඒ මගින් ආදායම් උපයා ගැනීමත් සිදු කළ යුතුව ඇත්තේ ප්‍රාදේශීය සභා හෝ පළාත් සභා
මගිනි. දැන් පළාත් සභා ක්‍රියාත්මක නොවන නිසා මේ සඳහා කඩුගන්නාව අයිති යටිනුවර ප්‍රාදේශීය සභාවට දේශීය සංචාරකයන් ගෙන්වාගෙන කඩුගන්නාව අවට අගනා සංචාරක කලාපයක් නිර්මාණය කළ හැකිය. කඩුගන්නාව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ සංචාරක කලාපය ඉතා හොඳින් ක්‍රියාවට නැගිය හැකි බව අපගේ අදහසයි.

කොළඹ – මහනුවර දුම්රිය මගින් සංචාරකයන් මෙහි කැඳවා ප්‍රවාහන, නවාතැන්, ආහාර, සනීපාරක්ෂක ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් නරඹන්නන්ට ලබාදීමෙන් මේ අපූරු වටිනාකම්වලට මිලක් ලබාදී තම ප්‍රාදේශීය සභාවේ ආදායම් ඉහළ දමා ගැනීමට ඉඩ තිබියදී ඒවා නොකරන්නේ යටිනුවර ප්‍රාදේශීය සභාවේ අන්ධ භක්තිය නිසා නොවේදැයි අපට කල්පනා වන කාරණාය.

පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ට පාඩම් ඉගැන්වූ බලන කොටුවේ හැන්දෑවක්....
කොටුවට යන මාර්ගය

කෙසේ හෝ බැලුම්ගලේ සිදුකරන ලද චාරිකාව නිමාකර, පහළ කඩුගන්නාවේ හිල විදපු ගල, කඩුගන්නාව අම්බලම හා කඩුගන්නාව පොලිසිය අසලින් දුම්රිය මාර්ගයට පිවිස එම මාර්ගය දිගේ තරමක් කොළඹ දෙසට ගිය විට අපට තවත් අපූරු දසුන් කිහිපයක් උඩරට දුම්රිය මාර්ගයේදී දැකගත හැකිවිය. ඒ නම්, කඩුගන්නාව දුම්රිය බිංගේ හා “සිංහ කට” නමින් හඳුන්වන දුර්ග ස්ථානයයි. සැබවින්ම උඩරට දුම්රිය

මාර්ගයේ හමුවන සුවිශේෂී පිහිටීමක් වන මෙය, එකල එම ස්ථානයේ ඇති ගල සිදුරු කර හා ගල කඩා සාදන ලද්දකි. දුම්රිය කම්කරුවන් යොදාගෙන කන්ද කපා නිර්මාණය කර ඇති මෙම වෙනස් කිරීම මගින් කඩුගන්නාව දක්වා දුම්රිය ගෙන එන්නට එදා සුදු පාලකයින් ගෙන ඇති වෙහෙස හා කැපකිරීම මෙහිදී මොනවට පැහැදිලි වේ. එබැවින් කඩුගන්නාවේ සංචාරයකට යන අයට මෙයත් දැක බලාගැනීම වටිනා නමුත්, මතක තබාගත යුත්තේ දුම්රිය මාර්ගයේ පයින් ඇවිද යෑම නම් නීතිවිරෝධී කටයුත්තක් වන බවයි. එසේ හෙයින් දුම්රිය මාර්ගයේ ඇවිද යෑම මගින් දඩ හා නඩු වැටෙන ක්‍රියාවක් බවද මතක තබාගත යුතුය. එසේම, මෙම ස්ථානය දක්වා දුම්රිය මාර්ගයේ දැඩි වංගු සහිත ස්වභාවය පයින් ගමන්

ගන්නන් අනතුරේ හෙළීමට අතවැනීමක් බවද සිහිපත් කරනු වටී. විශේෂයෙන් දරුවන් මෙහි රැගෙන යෑම අනතුරුදායක ක්‍රියාවකි. මෙම ස්ථානය ඔස්සේ දුම්රිය ගමන් ගන්නා ඇපූරුවද දැක බලා

ගැනීමෙන් අනතුරුව හිරු බැස යන සවස් යාමය අප වෙන්කර ගත්තේ තවත් අපූරු දර්ශන තලයක සිට කඩුගන්නාවේ සැන්දෑ සෞන්දර්යය විඳීම සඳහාය. සැබවින්ම ඊට මේ අප කියන නැරඹුම් පළ ඉතා කදිමට ගැලපෙන ස්ථානයකි.

පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ට පාඩම් ඉගැන්වූ බලන කොටුවේ හැන්දෑවක්....
ඈතින් පෙනෙන උතුවන්කන්ද

එදා සිංහලයන්ගේ බලකොටුවක් ලෙස පවත්වාගෙන යමින් යුරෝපීය ජාතීන් ත්‍රිත්වයකට මුහුණ දුන් බලන කපොල්ල හා බලන බලකොටුව දැක බලාගැනීමට යෑම ඒ සෞන්දර්යය චාරිකාවයි. ඒ අනුව කඩුගන්නාව දුම්රිය ස්ථානය අසලින් වැටී ඇති බලන මාර්ගය (බැලුම්ගලට යන මාර්ගයට විරුද්ධ පැත්තට ඇති) ඔස්සේ කිලෝමීටර් 7-8 ක් ගිය විට තේ වතු යායක් මැදින් බලන කොටුවට යන මාර්ගය අපට හමුවිය. එම ස්ථානයේ මධ්‍යම පළාත් සභාව මගින් පිහිටුවන ලද තොරතුරු පුවරුවක්ද ඇත. මෙම මාර්ගයේ තවත් ඉදිරියට ගිය විට බලන කඩමණ්ඩිය හා බලන දුම්රිය ස්ථානය මුණගැසේ.

පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ට පාඩම් ඉගැන්වූ බලන කොටුවේ හැන්දෑවක්....
කොටුවට පෙනෙන දුම්රිය මාර්ගය

අප ගමන් ගත් මෝටර් රථය මාර්ගය අයිනේ නවතා අපි බලන කොටුව බලන්නට පා ගමනින් එහි ගියෙමු. තේ වත්ත මැදින් මීටර් 100-150 ක් පමණ ගිය විට බලන කොටුව හමුවේ. ගල් අල්ලා සකස් කර ඇති ඇවිදින මංතීරුව ගමනට පහසුවක් නමුදු ඒ දෙපස තිබුණු තුරු රැසක් කවුරුන් හෝ විසින් කපා දැව රැගෙන ගොස්, කැපූ මුල් කොටස් තෘණවලින් වසා දමා තිබෙනු පෙනිණි. බලන කොටුව අද නටබුන්ව ගිය තැනක් නමුත්, කොටුවේ අදටත් විරාජමානවන අභිමානනීය පෙනුම එදා සිංහලයන්ගේ රණ ශූරත්වය විදහා දක්වනු පෙනේ. උඩරට රාජධානිය රැකගන්නට මෙහි සිට කරන ලද යුද සැලසුම්, සෝදිසිය හා විපරම, සේනා සංවිධානය මොන තරම් විරාජමානව එදා තිබෙන්නට ඇත්ද…? අද පාළුවට ගොස් ඇතත්, වසර 200 කටත් වඩා කාලයක් මෙම බලන මුර පළ හා බලකොටුව කඩි ගුලක් සේ යුහුසුළුව ක්‍රියාකරන තැනක් ලෙස එදා තිබෙන්නට ඇත.

අද නටබුන්වූ බලන කොටුව කළු ගල් බැම්මකට හා ගඩොල් එකතුවකට සීමාවී ඇත. කොටුවට ඇතුළුවන වාහල්කඩ තවමත් නොනැසී පවතී. 1815 දී යටත් වන තුරුම විශේෂයෙන්ම ඉංග්‍රීසි හමුදාවට එරෙහිව සටන් වැද, මෙම බලකොටුවේ සිටි කී දෙනෙක් සිංහල සටන්කාමීන් මෙහිදී මිය යන්නට ඇත්ද…? නැතහොත් තුවාල ලැබූ හා මියගිය කීදෙනෙක් හෙළ සටන්කාමීහු මෙහි රැගෙන එන්නට ඇත්ද? 1796 සිට ෆෙඩ්රික් නොර්ත්, තෝමස් මේට්ලන්ඩ් යන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුට යටත් කර ගත නොහැකි වූ සෙංකඩගල රාජධානිය, රොබට් බ්‍රවුන්රිග් විසින් අල්ලාගන්නා ලද්දේද දැවැන්ත සටන් හා පරාජයන් තුළිනි. ඒ සටන් බහුතරය සිදුවූයේ මේ කඩුගන්නාව දුර්ගය තුළ හා බලන කොටුව ආසන්නයේය. ඉංග්‍රීසීන්ට එරෙහිව සිදුකරන ලද අවසාන සන්නද්ධ අරගලය වන 1848 “මාතලේ නිදහස් සටනේ ” 174 වැනි සැමරුම යෙදෙන මේ මාසයේදී අපට සිහිපත් වන කාරණා නම්, සුද්දාට යටත් වූ රට මෙන්ම, සුද්දාට යටත් වන්නට නොදී සටන අල්ලාගෙන සිටි වීර හෙළයන් එකතු වූ, එකතුවී කටයුතු කළ මේ බලන කොටුව මොනතරම් සාඩම්බරයෙන් ශ්‍රී ලාංකිකයන් රැකගත යුතු තැනක්ද යන්නය.

පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ට පාඩම් ඉගැන්වූ බලන කොටුවේ හැන්දෑවක්....
බලන කොටුවේ මාවතක්

එහෙත්, බලන කොටුව අද හුදෙකලාව, වියපත්ව වැතිර සිටිනු පෙනේ. “රජ මැඳුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ…” කියන්නා සේ තායිලන්තය වැනි රටක මෙවන් තැනක් තිබුණා නම් ඔවුන් මෙම ස්ථානය සල්ලි මවන උල්පතක් බවට පත්කර ගන්නවා නියතය.

බලන කොටුව මත සිට බලන කල, තුරු මුදුන් අතරින් හා ගිරිහෙල් මුදුනෙන් පෙණෙන අනන්තය දැකගත හැකිය. එක එල්ලේම පහළින් පෙනෙන්නේ සුද්දා හැදූ දුම්රිය මාර්ගයයි. අද එහි දුම් කොච්චි වෙනුවට, ඉන්දියානු, චීන බලවේග කට්ටල දුම්රිය දුවයි. ඒ අතර, ජපානයේ, ප්‍රංශයේ, එංගලන්තයේ නිපදවූ දුම්රිය එන්ජින්වලින් කඳුකරය බලා හැල්මේ කඩුගන්නාව අදින පෙට්ටි කෝච්චි කිහිපයකි.

පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංග්‍රීසීන්ට පාඩම් ඉගැන්වූ බලන කොටුවේ හැන්දෑවක්....

ක්‍රමයෙන් හිරු බැස යයි. හාත්පස අඳුර වෙළා ගනිද්දී අවට චිත්‍රණය වන්නේ රත් පැහැ වර්ණයෙන් හා කඳු වළල්ලට ඔබ්බෙන් වැටෙන අඳුරු සෙවනැළිවලිනි. මේ කඳු වළල්ල අතර අපට ඉතා පැහැදිළි කඳු ගැට දෙකක් හිරු බැස යන අහස් කුස විදගෙන අඳුරු පැහැයෙන් නැගී සිටිනු පෙනේ. ඒ “බයිබල් රොක්” නමින් සුද්දා එදා හැඳින්වූ “බතලේගල” හා දහවලේ අප තරණය කළ “සූර සරදියල්ගේ උතුවන්කන්ද” යි. බලන කොටුවට දකින මේ සැඳෑ සිතුවම අතිශයින්ම චමත්කාරය. තවත් නම් මෙතැනින් නැගිට යන්නට සිත නොදෙන තරමට අපගේ මන දොළ පිනවයි. වචනයෙන් විස්තර කළ නොහැකි ඒ චමත්කාරය හා දසුන් පියවි නෙතින් දකින්නට කඩුගන්නාවට පමණක් නොව, බලනටම යා යුතුය.

නගිමු සරදියල්ගේ උතුවන්කන්ද……
ලබන සතියේ…

දුම්රියෙන් ගොස් විඳිමු දවසක් කඩුගන්නාව අවට අසිරිය. බැලුම්ගල, බලන කොටුව, ඩෝසන් කුලුන
ඇතුළු ස්ථාන රැසක පහස විඳින්න පහත විද්යුත් තැපෑලෙන් විමසන්න.

ජගත් කණහැරආරච්චි
චාරිකා සහාය – හර්ෂණ ජයතිලක, රවී ද සිල්වා සහ චරිත් දෙමටම්පිටිය.
ඡායාරූප – හෙරිටේජ් ලංකා Photography

Email – අදහස් – [email protected]/
සංචාර – [email protected]
FB – www.facebook.com/heritagelanka

advertistmentadvertistment
advertistmentadvertistment