පෙට්‍රල් වාහන ගාල්වෙයි

918

පෙට්‍රල් නෞකාවක් මිලදී ගැනීමට මහජන බැංකුව සිකුරාදා (17 වැනිදා) ණයවර ලිපි නිකුත් කළත් පෙට්‍රල් ගෙනැවිත් බෙදාහැරීමට තවත් සතියක් පමණ ගතවන නිසා පෙට්‍රල් වාහන ගාල් කර තැබීමට සිදුවනු ඇතැයි තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. සිකුරාදා (17 වැනිදා) වනවිට තෙල් සංස්ථාව සතුව තිබුණේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 3200 ක් පමණ ප්‍රමාණයක් බවත් ඊට අමතරව සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ද පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 500 ක් නිෂ්පාදනය කළ බවත් හෙතෙම කීය.මේ වනවිට දෛනික පෙට්‍රල් ඉල්ලුම මෙටි්‍රක් ටොන් 5500 ද ඉක්මවා ගොස් තිබෙන තත්ත්වය හමුවේ පෙට්‍රල් වාහන ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී තිබෙන බව ද එම නිලධාරියා කියා සිටියේය.පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා පෙට්‍රල් නිකුත්කිරීමට වත් ප්‍රමාණවත් තරම් පෙට්‍රල් සංචිත නොමැති නිසා මෙරට පිහිටි ඉන්ධන හල් 1190 න් ඉන්ධන හල් සියයකට වත් පෙට්‍රල් නිකුත් කිරීමට නොහැකිව තිබූ බව තෙල් සංස්ථා අලෙවි අංශයේ නිලධාරීහු ද කියා සිටියහ.පෙට්‍රල් ලීටර් ලක්ෂ තුනක් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි නිකුත්කළත් සැබැවින්ම මෙරටට ලැබෙන්නේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 38,000 ක නෞකාවක් යැයි ද ඔවුහු කියා සිටිති.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ගෙන්වා ගත් අවසන් ඩීසල් නෞකාවෙන් මෙටි්‍රක් ටොන් 36,000 ක් මුතුරාජවෙළට හා කොළොන්නාවට ගොඩබෑම ආරම්භ කර ඇත. මෙම ඩීසල් තොගයෙන් මෙටි්‍රක් ටොන් 20,000 ක් මුතුරාජවෙළ තෙල් තොග ගබඩා පර්යන්තයටත්, ඉතිරි මෙටි්‍රක් ටොන් 16,000 කොළොන්නාවටත් ගොඩබා ඇත. ඒ නිසා ඩීසල්වල හිඟයක් තිබුණත් දින හත අටකට එය ප්‍රමාණවත් බව ද තෙල් සංස්ථාව කියා සිටි. නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් නතර කිරීම නිසා විදුලි බලාගාරවලට ඩීසල් මෙටි්‍රක් ටොන් 2000 කට වැඩි ප්‍රමාණයක් නිකුත්කිරීමට නියමිත බව ද සංස්ථාව කියා සිටී.කොළඹ වරායට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ නෞකා තිබෙන බව කීවත් මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පෙට්‍රල් නෞකාව මෙරටට ගෙන ඒමට සිදුව තිබෙන බව ද එහි ප්‍රධානියෙක් සඳහන් කළේය. ඒ අනුව පෙට්‍රල් රැගත් නෞකාව ලබන 22 හෝ 23 වැනිදා මෙරටට පැමිණෙනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment