පෙට‍්‍රල් ඇඟට හලා මිතුරා ඝාතනය කළ අයට මරණ දඬුවම; ස්වාමීනි මෙය මා කළේ නැහැ… දඬුවම නියම කිරීමට පෙර විත්තිකරු කියයි

842

කඩවත, කිරිමැටියාගාර ප‍්‍රදේශයේ බේකරියක් තුළදී තම මිතුරාගේ ඇඟට පෙට‍්‍රල් හලා ගිනි තබා ඔහුව ඝාතනය කළ සැකකරුට ගම්පහ අංක (01) මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (07 වෙනිදා ) මරණීය දණ්ඩනය නියම කළේය.

අකුරැුස්ස ගොඩහේන ප‍්‍රදේශයේ පදිංචි එවකට අවුරුදු 21ක් වූ ධර්මකීර්ති අභයවික‍්‍රම හෙවත් චමින්ද යන අයව ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉඳුරුව, ඇටවලා වත්ත ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වන 54 හැවිරිදි බද්දේගම ගණිතගේ රංජිත් ජයරත්න නමැති එක්දරු පියාට මෙසේ මරණ දඬුවම නියම විය.

2003 වර්ෂයේ ජුලි මස 23 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී චමින්ද නැමැති අයගේ සිරුරට ගිනි තැබීමෙන් අනතුරුව බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මරණකරු දින හතළිස් අටක් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබූ බවට මහාධිකරණයේදී අනාවරණය විය. විත්තිකරු සහ මරණකරු කඩවත කිරිමැටියාගාර ප‍්‍රදේශයේ පිහිටි පාන් නිෂ්පාදනය කරන බේකරියක සේවය කර ඇති බවත් 2003 වර්ෂයේ ජුලි මස 23 වෙනිදා දහවල් විත්තිකරු සහ මරණකරු අතර ආරවුලක් ඇති වී එම ආරවුල බේකරි හිමියා විසින් සමථයකට පත්කර තිබූ බව මහා අධිකරණයේදී සඳහන් විය. ආරවුල ඇති වූ දින රාත‍්‍රී මරණකරු පාන් පිච්චෙන්න පෝරණුවට දමා පාන් පිච්චෙන තුරු බේකරිය ඉදිරියේ තිබුණු පෙට්ටි දෙකක්මත සිටින විට මරණකරුගේ පිටට ශීතල වතුරක් වැටුන බවත් එම අවස්ථාවේම අසල සිටි විත්තිකරු අත ඇවිලෙමින් තිබූ ගිනිකූරක් මරණකරු දෙසට විත්තිකරු විසින් විසි කිරීමෙන් අනතුරුව මරණකරුගේ සිරුර ගිනි ගත් බවට මරණකරු රෝහල්ගතව සිටිය දී මරණකරුගේ සොහොයුරාට (බේකරි හිමිකරුට* සහ ප‍්‍රකාශ ලබාගත් පොලිස් නිලධාරියාට මරණාසන්න ප‍්‍රකාශ ලබාදී ඇති බව මහාධිකරණයේ දී අනාවරණය විය. මරණකරුගේ එකී මරණාසන්න ප‍්‍රකාශ, පොලිසිය සිදුකළ පර්යේෂණ සාක්ෂි සහ වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි සැලකිල්ලට ගනිමින් විත්තිකරුට මරණ දඬුවම නියම කරන බව තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විවෘත අධිකරණය හමුවේ පැවසීය. මරණීය දණ්ඩනය නියම කිරීමට පෙර යමක් කීමට ඇත්දැයි මහාධිකරණය විත්තිකරුගෙන් විමසූ අවස්ථාවේ ‘මා මේ සිද්ධිය කරලා නැහැ’ ස්වාමිනි යනුවෙන් විත්තිකරු විත්තිකූඩුවේ සිට පවසා සිටියේය.

විත්තිකරු වෙනුවෙන් රජයෙන් පත් කළ නීතිඥවරියක් මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර රජයේ නිතීඥ ඔස්වල්ඞ් පෙරේරා මහතා පැමිණිල්ල මෙහෙය විය. කඩවත පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් ජගත් (61881* නිලධාරියා පැමිණිල්ල මෙහෙය වීමට සහයෝගය දැක්විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment