පෙත්තක කතාව

899

ශ්‍රී ලංකාව තුළ ඖෂධ මිල පාලනය කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ‘මිල පාලන කමිටුව’ මගිනි. එම කමිටුව ක්‍ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන විද්වතුන් 13 දෙනකුගෙන් සමන්විතය. නොයෙක් විට මිල පාලනය උඩු යටිකුරු වෙයි. එනිසාම ඖෂධ වර්ග 60 ක මිල සීමාව 40 %කින් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ අත්සනින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව අදාළ නියෝග පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වේ. ගැසට් නිවේදනයට අනුව 2019 ඖෂධ නියෝගවලට අයත්වන ලෙස මිල ඉහළ සීමා මෙමගින් තවදුරටත් සංශෝධනය කෙරේ. ඒ අනුව අදාළ ඖෂධවල මිල සියයට 40ක් දක්වා වැඩි කිරීමට අවසර ලබාදී ඇත. ඒ යටතේ පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 4 යි ශත 16 ක් වේ. ඇමොක්සිලින් මිලිග්‍රෑම් 375 පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 83 යි ශත 71 ක් වනු ඇත. ජීවන බර තවත් තද වෙද්දි ඖෂධ මිල ඉහළ යෑම ලෙඩුන් ක්ලාන්ත කරවන බව නොකියාම බැරිය. ඩොලරය ඉහළ නගින විට රුපියල මස්ත බාල්දු වන විට මේ තත්ත්වය නොවැළැක්විය හැකිය. ඇත්තෙන්ම රජයට මෙය නොකරම බැරි තැනකට පත්ව තිබිණි. ඖෂධ මිල සංශෝධනය සති දෙකකට වරක් සිදු කිරීමේ තීරණය ගෙන ඇත්තේ මේ රුපියල පසුබසින නිසාය. තවදුරටත් මිල ඉහළ යෑමට ඉඩ නොදුන්නේ නම් ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ තිබිණි. පෙත්ත හිඟවීම හෝ සොයා ගැනීමට නොහැකි වීම ගණන් යනවාට වඩා භයානකය. පෙත්ත මත ජීවත්වන පිරිස වැඩිය. රජයේ ඖෂධවේදීන්ගේ සංගමය නම් ප්‍රකාශ කර ඇත්තේ මෙම ගැසට් නිවේදනය අහෝසි කළ යුතු බවයි. කුඩා දරුවනට ලබා දෙන බෙහෙත්වල හිඟයක් ඇතිව තිබෙන බව මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබිණි. දරුවනට බෙහෙත් නැතිවූ විට ගිනිගන්නේ දෙමාපිය හදවත්ය. ඇත්තෙන්ම මෙරට ජනයාගේ ජීවන රටාවේ අයහපත් පුරුදු නිසා ඇතිවන බෝ නොවන රෝග ශීඝ්‍රලෙස වර්ධනය වී ඇත. ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 25ක් නියමිත බරට වඩා වැඩි අතර සියයට 07ක් පමණ ස්ථුලතාවයෙන් පෙළෙති. වාර්ෂිකව ශ්‍රී ලංකාවේ දියවැඩියාව හා ඒ ආශ්‍රිත සංකූලතා නිසා මියයන සංඛ්‍යාව 10,000කි. එනිසාම දියවැඩියා පෙත්ත හිඟවූ විට කොපමණ ප්‍රමාණයක් අසරණ තත්ත්වයට පත්වන්නේද? එවන් හිඟයක් අසන්නට නොලැබෙන නමුත් ලංකාවේ බොහෝ පිරිසක් තුන්වේලටම කවර හෝ බෙහෙත් පෙත්තක් බොන බව නම් පැහැදිලිය. රජයේ රෝහලක ඕනෑම සායනයක දිනකට පැමිණෙන රෝගීන් ප්‍රමාණය දෙතුන් සියය ඉක්මනවා මිස අඩුවන්නේ නම් නැත. ජීවන බර ඉහළ යෑම නිසා දැන් බොහෝ දෙනෙක් රජයේ රෝහල්වලට පැමිණෙති. ඒ නොමිලේ බෙහෙත් ගැනීමටය. එහෙත් රජයේ රෝහලේ බෙහෙත් නැතිව ෆාමසියට යන්නට සිදුවූ විට ඉහමොළ රත්වේ. රටේ අර්බුදය නිර්මාණය වීමෙන් පසු පාලිමේන්තුව අවස්ථා අටකදී රැස්වී ඇති අතර ඒ මුදල රුපියල් හත් කෝටි තිස් හය ලක්ෂයක් වැය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. නමුත් මොවුන් කතා පැවැත්වූවා හැර කිසිම එකඟතාවකට ආවේ නැත. මේ වැය කරන මුදලින් යම් ප්‍රමාණයක් හෝ අඩුකර ඒවා ඖෂධ වෙනුවෙන් යොදවන්නේ එය මහත් පිනකි.

advertistmentadvertistment
advertistmentadvertistment