පෙමට පිටුපෑ දහඅට හැවිරිදි පාසල් සිසුවිය පෙම්වතාගේ පොරෝ පහරින් මරුට

1188

මවට හා අයියාටත් කලින් පොරවෙන් කොටලා

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබූ ඊයේ (08 වැනිදා) දින පස්වරු 1.50 ට පමණ පාසල නිමවී නිවෙස බලා යමින් සිටි සිසුවියකට තියුණු පොරවකින් පහරදී මරා දමා ඇතැයි හාලිඇල පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ හාලිඇල උඩුවර වත්ත පහළ කොටසේ පදිංචිව සිටි ධර්මරාජ ලිබියා නමැති 18 හැවිරිදි පාසල් සිසුවියකි.

උඩුවර වත්තේ පදිංචි සැකකරු ඝාතනයෙන් පසු පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් 4 ක් යොදවා ඇති බවත් බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා ‘‘දිවයින’’ට පැවැසීය.

හාලිඇල දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඝාතනයට ලක්වූ සිසුවිය පාසල නිමවී බසයෙන් ගමන් කර තිබේ. පසුව ඇය බසයෙන් බැස උඩුවර හතේ කණුව වලස්බැද්ද මාර්ගයේ පා ගමනින් යන අතරතුර ඇගේ ආදරය ඉල්ලා සිටි තරුණයකු මෙලෙස පොරොවෙන් හිසට කීපවරක් පහරදී ඝාතනය කර ඇතැයි හෙළිවු බව පොලිසිය පවසයි.

වසර කීපයක සිට ඝාතනයට ලක්වූ තරුණියගෙන් ආදරය අයැද සිටි සැකකාර තරුණයාහට එම සිසුවියගේ මව විරුද්ධ වීම නිසා එම මවට හා සිසුවියගේ සහෝදරයකුට ද පොරොවකින් පහරදීමක් සම්බන්ධයෙන් සමථ මණ්ඩලයේ නඩුවක් පැවැත්වෙන බව හෙළිවී ඇතැයිද පොලිසිය කියයි.

ඝාතනයට ලක්වු සිසුවියගේ මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය බදුල්ල වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා විසින් සිදු කළහ.

පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා සිසුවියගේ මෘතදේහය බදුල්ල මහරෝහලට රැුගෙන ගියහ.

මේ පිළිබඳව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ අධීක්‍ෂණය යටතේ හාලිඇල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දයානන්ද මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායම්
4 ක් එක්ව වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ හාලිඇල

advertistmentadvertistment
advertistmentadvertistment