පෙම්වතිය මරා කැලණි ගගට දැමූ මිනීමරුවා ඇයගේ දෙමාපියන් සමග පොලිසියටත් ගිහිල්ලා

325

ගම්පහ දොරණාගොඩ ප‍්‍රදේශයේ නිවසේ දී තම පෙම්වතියගේ ගෙල සිරකර ඝාතනය කර ඇති පෙම්වතා ඇයගේ මළ සිරුර මෝටර් රථයකින් රැුගෙන ගොස් වැල්ලම්පිටිය කොහිලවත්ත ප‍්‍රදේශයේදී කැළණි ගඟට දමා තිබියදී සොයා ගෙන ඇති බව බෙම්මුල්ල පොලිසිය

ගම්පහ මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේ ඊයේ (21 වෙනිදා) කරුණු වාර්තා කළේය.

වැල්ලම්පිටිය සේදවත්ත ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන 22 හැවිරිදි එස්. නදිසා සංදීපනි නමැති තරුණියව මෙසේ ඝාතනය කර ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ කීය.

සැකකරු හා මරණකාරිය වසර පහක පමණ කාලයක සිට පෙම්වතුන්ව සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරු මරණකාරියගේ නිවසට නිතර නිතර ගොස් ඇති බවත් ඉකුත් 16 වෙනිදා සැකකරු පෙම්වතියව වැල්ලම්පිටිය, සේදවත්ත නිවසේ සිට ගම්පහ දොරණාගොඩ පිහිටි සැකකරුගේ නිවසට මෝටර් රථයකින් ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

සැකකරුගේ නිවසේ කිසිවකුත් සිට නොමැති අතර දෙදෙනා අතර ඇති වූ ආරවුලකදී සැකකරු විසින් තම පෙම්වතියගේ ගෙළ මිරිකා ඝාතනය කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පසුව සැකකරු පෙම්වතියගේ මළසිරුර මෝටර් රථයේ දමාගෙන ගොස් වැල්ලම්පිටිය, කොහිල වත්ත ප‍්‍රදේශයේ දී කැලණි ගඟට දමා ඇති බවත් මළසිරුර 18 වැනිදා වැල්ලම්පිටිය පොලිසිය මගින් සොයාගෙන ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ කීය .

දැනට මළසිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

තම දියණිය අතුරුදන් බවට දෙමව්පියන් වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණිලි කිරීමට යෑමයේ දී සැකකරු ද දෙමාපියන් සමග වැල්ලම්පිටිය පොලිසියට ගොස් ඇති බව පොලිසිය කීය.

සැකකරුව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව බෙම්මුල්ල පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

එම ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය ආරම්භ කළ ගම්පහ මංජුල කරුණාරත්න මහතා බෙම්මුල්ල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් .ඊ. බී. ජේ. බංඩාර සහ සැරයන් සුනිල් (18200* යන නිලධාරීන්ගේ මගපෙන්වීම මත ඊයේ (21) දහවල් තරුණිය ඝාතනයට ලක්වු ස්ථානය නිරීක්ෂණය කළේය. එම ඝාතනය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය සහ බෙම්මුල්ල පොලිස් ස්ථාන මගින් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක
 

advertistmentadvertistment
advertistmentadvertistment