පෙම් කවක් ගයමින් යූ ටියුබ් කැළඹූ නාඳුනන මිනිසා

290

දිවුල්ගනේ මහත්තයා සජීවීව මගේ ගායනය අහගෙන ඉඳලා චන්ද්‍රසිරි සේදරහෙට්ටි

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැුඳී උන් මා මනසේ
පෙම් පුරා වතක්…
නිමා කරන්න ද මා කෙලෙසේ…

සුරම්‍ය මාපිටියගේ පද රචනයෙන් නන්දසේන කටුවාවලගේ  සංගීතයෙන් කරුණාරත්න දිවුල්ගනේගේ  හඬින් මීට දශක ගණනාවකට ඉහතදී ඇසුණ මේ ගීතය මේ දවස්වල ගීතවලට ආසකරන වගේම ආදරය කරන පිරිස් පීර පීර අහන ගීතයක් බවට පත්වෙලා තිබෙනවා.

 මේ ගීතය අලූත් ආරකට ගයන්නේ මෙතෙක් අපි හඬින් හෝ රුවින් නොදුටු කෙනෙක්. එ් රුව එ් හඬ කවුද කියලා හොයන්න බලන්න බොහෝ අය මේ දිනවල මහන්සි වෙනවා. එ් නිසාම එ් අය වෙනුවෙන් ඔහු සොයාගෙන කොළඹින් දුර බැහැර පිහිටි තිහගොඩ නාරංගල කියන සුන්දර ගම්මානයට අපි ආවා. මේ ඉන්නේ ඔබ වගේම අපි හොයපු එ් නාඳුනන මිනිසා.

 ඔහු නමින් චන්ද්‍රසිරි සේදර හෙට්ටි. සුප‍්‍රසිද්ධ ගායකයෙක් නොවූවත් ඔහු පිළිබඳව සමාජය තුළ මේ දිනවල කතාබහක් සිදු වෙමින් පවතී. ප‍්‍රසිද්ධ සමාජ මාධ්‍යයන්හි මෙන්ම යූ ටියුබ් නාලිකාවල අලූතින්ම වන කතාබහ චන්ද්‍රසිරි සේදර ගේ මුවින් පිටවන ගීත පිළිබඳවයි. ශ‍්‍රී ලාංකික ජනතාව මෙන්ම විදේශීය රටවල සිටින ලංකාවේ සංගීතයට ඇලූම් කරන බොහෝ විදෙස්ගත ශ‍්‍රමිකයෝ ද ඔහුගේ හ`ඩ ශ‍්‍රවණය කිරීමට ඉතාමත් කැමැත්තක් දක්වති.

 මගේ ගම තිහගොඩ නාරංගල කියන සුන්දර ගම්මානය. එය තවමත් පැරණි බව විනාශ නොවී එකිනෙකා කෙරෙහි උදව් උපකාර කරගෙන සාමයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් ගම්වැසියන් ඉන්න ගම්මානයක්. මම එක්දහස් නවසිය අසූපහේ තමයි උසස් පෙළ විභාගයට පෙනී සිටියේ්. ඒකාලෙ යෞවන සමාජ පටන් ගත්තා. එතකොට නාරංගල ගමේත් එකක් පටන් ගත්තා. ඉස්සෙල්ලම ඒකෙ නිලධාරි මණ්ඩලය තෝරනකොට මම තමයි ඒකෙ ලේකම්ට තේරුණේ. එ් යෞවන සමාජය හරහා පවත්වපු පළමු ආධුනික ගී ප‍්‍රසංගයේ පළවැනියාට මාව තේරුණා. ඒ වෙනකොට මම අඩුම තරමේ කවියක්වත් කියලා නෑ” වේදිකාවකට නැගලත් නෑ. ඊට පස්සේ අර යොවුන් ගී කණ්ඩායමට සාමාජිකයෝ බඳවගන්නවා කියල තිබුණා. මම ඒකටත් ඉදිරිපත් වුණා. ඒකෙදිත් මම තේරුණා. තේරිලා ටික කාලයක් සංගීතය හැදෑරුවා. යොවුන් ගී කණ්ඩායම කිව්වට මේක ප‍්‍රාදේශීය මට්ටමින් පටන් ගත්ත දෙයක්. ඒ කාලේ වෙනකොට මම රජයේ රැුකියාවකුත් කළා. නොදියුණු ගම් දියුණු කිරීමේ වැඩසටහනේ ක්ෂේත‍්‍ර නිලධාරියෙක් විදිහට තමයි කටයුතු කළේ අන්තිමේ ඒකත් නැති වුණා.

 අප ඔහු සමග නැවතත් දොඩමලූ වූයෙමු.

 මෑතකදී ඔබ අන්තර්ජාලය ඔස්සේ විශාල ලෙස ජනප‍්‍රිය චරිතයක් බවට පත් වුණා. මොකක්ද ඒ ගැන හිතන්නේ ?

 ඒකට පාදක වුණේ අර පෙම් කවක් කියන ගීතය. ඒකත් අහම්බෙන් සිදුවෙච්ච දෙයක්. මගෙ පොඩි පුතා දැන් උසස් පෙළ හදාරන්නේ සංගීත අංශයෙන් මාතර රාහුල විද්‍යාලයේ. ලොකු පුතා දැනට පෞද්ගලික රූපවාහිනි සේවයක සංගීත අංශයේ හා හඬකැවීම් ඒකකයේ තමයි රැුකියාව කරගෙන යන්නේ. එයා ශබ්ද ඉංජිනේරු පාඨමාලාවක් හදාරල තියෙන්නේ. ඒ අනුව තමයි අර හඬ කැවීම් ඒකකයේ වැඩ කරගෙන යන්නෙ. ලොකු පුතාගේ තමයි මේ ගෙදර හදල තියෙන ස්ටුඩියෝ එක. එයා එ්කේ ලොකු වැඩ කොටසක් කරනවා. පහුගිය කාලේ විවිධ විවිධ අය ආවා එයාට කියලා සින්දු කරගෙන යන්න.

 දැනට අන්තර්ජාලයේ ජනප‍්‍රිය වෙමින් පවතින කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගීතය ඔබ ගායනා කරන්න හේතුවුණේ කොහොමද?

 ඒක වුණේ මෙහෙමයි. දවසක් මම ස්ටුඩියෝවට ඇතුළු වෙනකොට මගෙ පොඩි පුතා ගීතයක එර්ජන එකක් හද හද හිටියේ. මම එතැන පුටුවක් තියාගෙන කතා කර කර ඉන්න ගමන් කිව්වා පුතේ අපි කාලෙකින් සින්දුවක් කිව්වේ නෑනේ” සිංදුවක් කියමුද කියලා. කාලෙකින් සින්දුවක් කිව්වෙත් නෑ මට සිංදුවක් කියන්නත් ආසයි. ඉඩ තියෙන වෙලාවක කියමු නේද කියල ඇහුවා. ඒ පාර පුතා කිව්වා නෑ නෑ තාත්තා මේ දැම්ම අපි සින්දුව කියමු. ආයෙ නැත්නම් තාත්තා අල්ලගන්න මට වෙලාවක් නැති වෙනවා” ඒක හින්ද දැන් අපි සින්දුවක් කියමු කියලා.

 එතකොට පෙම් කවක් කියන ගීතය කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන ජනප‍්‍රිය ගීතයක් නේ. ඔහු ඔබට මුණගැහිල තිබෙනවද?

 නෑ” නෑ” මට කවදාවත් ඔහු මුණගැහිලා නැහැ. ඒත් මාර සිද්ධියක් වුණා ගිය සතියේ. මාලිම්බඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රසවින්දන වැඩසටහනක් තිබුණා. මගේ හිතවත් මහත්තයෙක් ඇහුවා චන්ද්‍රසිරි අයියේ මේ වැඩසටහන කරන්න පුළුවන්ද කියලා. පුතත් නැති හින්දා මම ඒතරම් උනන්දුවක් වුණේ නැහැ. ඉතිං අකුරැුස්සේ ඉන්නවා සංගීත කණ්ඩායමක්. මම තමයි ඒ කණ්ඩායමේ ඉස්සෙල්ලම ලීඞ් ගිටාර් එක ගැහුවේ. මම ඒ ගෲප් එකේ මල්ලිලා එක්ක සම්බන්ධකම් තිබෙනවා. ඒක හින්ද මම ඒ මල්ලිලාට කතා කරල ඒ වැඩසටහනට සම්බන්ධ කරල දුන්නා. ඒ පාර ඒගොල්ලන් මම හම්බ වෙන්න ඇවිල්ල කතා කළා අනේ අයියේ අයියත් එන්න මේකට සම්බන්ධ වෙන්න ගොඩක් කාලෙකින් අපි වැඩක් කළේ නැහැනේ කියල. ඒ පාර ඉතිං ඒගොල්ලො දෙතුන් පාරක් කෝල් කරලත් කතා කළා. බැරිම තැන මාත් ගියා ඒකට සහභාගි වෙන්න. ඒ වැඩසටහන කළේ කොළඹින් ආපු දොස්තර මහත්තයෙක්. එයා කලින්ම ඒගොල්ලන්ට සිංදු දහයක් එවලා තිබුණා පුහුණු වෙන්න. එයා කරන්නෙ එක ගීතයක් ගායනා කළාට පස්සෙ ඒ ගීතය පිළිබඳව විග‍්‍රහ කරනවා. එහෙමයි ඒ වැඩසටහන පැවැත්වූවේ. දොස්තර මහත්තයගෙ ගීත ලැයිස්තුවේ අංක එකට තිබුණෙ කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ලා දලූ බෝපත් සෙමින් සැලෙන සේ කියන ගීතය.

 ඊට පස්සෙ මම ගියාට පස්සෙ සංගීත කණ්ඩායමේ මල්ලිල කිව්වා අයියත් සින්දු කියන්න කියලා. මම සින්දුව කිව්වට පස්සේ දොස්තර මහත්තයා මගේ ගාවට ඇවිල්ල ඇහුව මගේ නම මොකක්ද කියලා. ඉතිං මම නම කිව්වට පස්සේ ඒක තමයි මට දැන් ආරංචි වුණා ඔබතුමා ඇවිල්ල ඉන්නව කියලා. ඔබතුමා දන්නවද අපි ඊයෙත් ඔබතුමාගේ ගීතය අහල තමයි හොස්පිටල් එකේ වැඩ පටන් ගත්තේ කියලා කිව්වා. ඊට පස්සේ ඩොක්ටර් නැගිටල කිව්වා මගේ වැඩසටහනේ තිබුණේ ගීත දහයයි. තවත් විශේෂ ගීතයක් තියෙනවා මම ආස කරන එකක් මම මේ වැඩසටහනට ඇතුළත් කරනව කියල මේ ගීතය සමාජ මාධ්‍යවල ගියපු ආකාරය පැහැදිලි කරල දීල ඊට පස්සෙ මට කිව්වා ගීතය කියන්න කියලා. ඉතිං මම ඒ ගීතය කිව්වා. මම ගීතය කියල එන්න හදනකොට නෑ” නෑ” පොඞ්ඩක් ඉන්න ඔබතුමා දන්නවද ඇහුවා මෙතැන වෙච්ච සිද්ධිය. ඉතිං මම කිව්වා මම මොකුත් දන්නෙ නෑ කියලා. ඔබතුමා ඔය ගීතය ගායනා කරනකොට දිවුල්ගනේ මහත්තය ඒක සජීවීව අහගෙන හිටිය කියලා කිව්වා. ඒ වුණත් මම තාම කරුණාරත්න දිවුල්ගනේ මහතා සමග දුරකථනයෙන්වත් සම්බන්ධ වෙලා නැහැ. එතුමා මගේ ගීතය අහගෙන හිටපු එක මම වගේ කෙනකුට විශාල ගෞරවයක්.

පෙම් කවක් ගයමින් යූ ටියුබ් කැළඹූ නාඳුනන මිනිසා



 ගමෙන් ඔබට ලැබෙන ප‍්‍රතිචාර මොනවද ?

 මෙහෙමයි” මම ගමේ ගොඩක් සමාජ සේවා කරන කෙනෙක්. ඔබතුමා මෙතැනට එනකොටත් මම ගමේ පන්සලට යන්න සූදානම් වෙන ගමන් හිටියේ. ගමේ පන්සලේ දායක සභාවේ ලේකම් විදියට වැඩ කරනවා. ඒ වගේම ගමේ ස්වෙච්ඡුා සංවිධානවල තනතුරු දරමින් ගොඩක් දෙනකුට සේවයක් සලසනවා. ගමේ මළ ගෙයක් වුණහම මෙහේ තොරණ එහෙම තවම ගහනවා. ඉතිං මළ ගෙදර තොරණ හදන්න” පිරිතක් වුණාම පිරිත් මණ්ඩප හදන්න” ම`ගුලක් වුණහම පෝරුව හදලා දෙන්න එතකොට බැනර් එකක් අ`දින්න තියෙනව නම් ඒකත් කරනවා. එතකොට ගමේ ඕනෑම කෙනකුගේ

 සම්බන්ධය තිබෙනවා. මම ඒව ඔක්කොම කරන්නෙ හරිම සතුටින් මිල මුදල් එක්ක කරන ගනුදෙනු නෙමෙයි.

 මේ සංවාදය අවසන් කරන්න කලින් මේ ටිකත් කියන්න ඕනෑ. ඇත්ත වශයෙන්ම මම ‘දිවයින. පුවත්පතට ස්තුතිවන්ත වෙනවා මාව හොයාගෙන ඇවිල්ල මා ගැන මෙලෙස අවධානය යොමු කිරීම සම්බන්ධයෙන්. විද්‍යුත් මාධ්‍ය සහ පුවත්පත් කීපයකින් මට කතා කළා. ‘දිවයින. පත්තරෙන් තමයි ඉස්සෙල්ලම ආවේ. ‘දිවයින. පත්තරේ වැනි ප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකින් පළමුවෙන් කතා කිරීම පිළිබඳව එම මාධ්‍ය ආයතනයට මම නැවතත් ස්තුතිය පුද කරනවා.







 මාතර අතිරේක –

 ලලිත් පද්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment