පෙම් කිරීම තහනම්… ගොලු හදවතත් තහනම් කරමු

633

මෙය අපූරු කතාවකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආදරය තහනම් ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතීතයේ පටන් අද වනතුරුත් සාහිත්‍යධරයන්, සිනමාකරුවන් හඳුනාගෙන සිටි අයුරු වෙනස් කරන්නට කිසිදු රසයක් නොහඳුනන පිරිසක් උත්සාහ දරමින් සිටිති. එතුවක් කල් “ආදරය” පිරුණ තැනක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය “වල්වැදුණු” වගක් අප අසා නැත. ඒ වගට පේරාදෙණියේ ම උගෙන, ප්‍රේම කර විවාහ වී සමස්ත සරසවි පද්ධතියේ සේවය කරන ඇඳුරු, මහැඳුරු බොහෝ පිරිසක් සාක්‍ෂි දරනු ඇති බව අපි විශ්වාස කරමු. මේ ඒ ගැන ලියැවෙන සටහනකි.

පෙම් කිරීම තහනම් යන මෙම නියෝගය ගැන අසන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවට ශ්‍රේෂ්ඨ වැඩිහිටියන් රැසක් බිහි කිරීමේ තෝතැන්නක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි.

විශ්වවිද්‍යාල ගැන කෙසේ හෝ කෙටියෙන් හෝ කියා ගත හැකි වෙතත් ප්‍රේමය වැනි සංකීර්ණ මනෝභාවයක් ගැන කිසිසේත්ම එසේ කළ නොහැකිය. මන්ද යත් එය එක් සංස්කෘතියක් පැත්තෙන් සංසාරයේ ආරම්භයේ සිටද, අනෙක් පැත්තෙන් ආදම් සහ ඒවාගේ සිටද ආරම්භ වූවක් වන බැවිනි.

එහෙයින් ප්‍රේමය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගැන කියද්දී මගේ මතකයට එන සිද්ධියක් පමණක් කියමි. එය මෙසේය.

ස්ථානය මා අවසන් වරට අධ්‍යාපනය ලැබූ හේනේගම මධ්‍ය මහා විද්‍යලයයි. කාලය 1970 දශකයේ ආරම්භයයි.

ඒ කාලයේම විද්‍යාලයට පත්ව ආ නව විදුහල්පතිවරයා ලෙහෙසියෙන් සිනා මුහුණක් නොපෙන්වූ, කාල වර්ණ සිරුරක් සහිත උස මහත පුද්ගලයෙක් වූයේය. ඒ වන විට විදුහලේ තිබූ අවුල් වියවුල්සහගත තත්ත්වය මාස කීපයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට සමත් වූ හෙතෙම පාසලේ විනයගරුක භාවය අංක එකට ගෙන ආවේය.

පෙම් කිරීම තහනම්… ගොලු හදවතත් තහනම් කරමු

ඔය කාලයේ අපට ඉහළ උසස් පෙළ ජීව විද්‍යා පන්තියේ වූ ඒකපාර්ශ්වික ප්‍රේමයක් සහිත සිසුවෙක් තම පන්තියේම ශිෂ්‍යාවකට පෙම් හසුනක් දුන්නේය. ශිෂ්‍යාව මෙය තමාට කළ බලවත් අපහාසයක් සේ සැලකූ නිසාදෝ, නැතිනම් ප්‍රේමය මහත් පාපකර්මයක් ලෙස සැලකීමේ බරපතළ මනෝ ව්‍යාධියකින් පෙළෙමින් සිටි නිසාදෝ, ඇය එම ලිපිය පාසලේ විනය භාරව කටයුතු කළ අප මෙතැන් සිට රුබේරු යැයි ව්‍යාජ නාමයකින් හඳුන්වන ගුරුතුමා අතට පත් කළේය. අදාළ ගුරු මහතා අපට එක් විද්‍යා විෂයක් ඉගැන්වීමේ නිරත වුවද, යොවුන් වියේ තරුණියක තුළ තරුණයකු අරබයා ඇතිවන ප්‍රේමය යනු භයානක වසංගත රෝගයක් යැයි සිතූ බැවින්දෝ, අදාළ සිසුවා කැඳවා ප්‍රශ්නය විසඳනු වෙනුවට ලිපිය රැගෙන ගොස් විදුහල්පතිවරයා අතට පත් කළේය.

ලිපිය ඉතා ඕනෑකමින් කියූ විදුහල්පතිවරයා අදාළ ගුරුවරයා ඇමතුවේය.

“……මිස්ටර් රුබේරු, මේ ලියුම හොඳට කියෙව්වද?….”

“….ඔව් සර් හොඳට කියෙව්වා….”

“…එහෙම නම් ඉතින් මා ළඟට අරගෙන ආවෙ ඇයි …”

“…සර්, මේක ශිෂ්‍යයෙක් විදියට ඒ ළමය කරපු විනය නීති කඩ කිරීමක්….” ගුරුවරයා පැවසීය.

“…..මිස්ටර් රුබේරු, මේ ලියුමෙන් ඉස්කෝලෙටවත්, ඒ ලියුම ගත්ත ළමයටවත්, කාටවත් හානියක් වෙලා නැහැ. ඉතින් විනය භාර ගුරුවරයා විදියට තමන්ට මේක තේරුම් ගන්න බැරි වීම කනගාටුවට කරුණක්. …”

මෙසේ පැවසූ විදුහල්පතිවරයා ලිපිය දෙකට ඉරා වම් අත පැත්තේ වූ කුණු බක්කියට දැම්මේය. ප්‍රශ්නය එතැනින් ඉවර වූයේ ඇවිළෙන්නට ගිය මහා ගින්නක් බුද්ධිමත් ගුරු පියකු විසින් ආරම්භයේදීම ඒ අයුරින් නිවා දැමීම නිසාය.

අපට ආරංචිය ලැබුණේ ඒ මොහොතේ කාර්යාලය තුළ සිටි කාර්යාල කාර්ය සහායක තැනගෙනි. එපමණක්ද නොව එම ලිපියේ තිබුණේ කුමක්දැයි යන්නද අප දැන ගත්තේ ඔහුගෙනි.

..එහි තිබී ඇත්තේ මෙවැන්නකි.

“….ආදරණීය ඔබට ගෞරවයෙනි,

මම ඔබ දුටුදා පටන් ඔබට අසීමිතව පෙම් කරමි. මගේ ප්‍රේමය පිළිගැනීමට කැමැත්තේ නම් එක වචනයකින් පිළිතුරක් දෙන්න. එසේ නොමැති නම් ඔබේත්, මගේත්, පාසලේත් ගෞරවය ආරක්ෂා වන පරිදි මේ ලිපිය කිසිවකුටවත් නොපෙන්වා මටම ආපසු දෙන්න.

මීට

……….”

ඒ දශක තුන හතරකට පෙර කතාවකි.

පෙම් කිරීම තහනම්… ගොලු හදවතත් තහනම් කරමු

ඉතින් අද මේ පෙම් කිරීම තහනම් කිරීමේ කාරණාව මුහුණු පොත හරහා ද, වෙනත් ජනමාධ්‍යයන් හරහාද සංසරණය වන ආකාරය දුටු මට සිතුනේ එම නියෝගය නිකුත් කරන්නට ඇත්තේ මගේ පාසලේ අර අහිංසක සිසුවාගේ ලිපිය විදුහල්පතිතුමා අතට පත් කළ ගුරු මහතාගේ පරම්පරාවෙන් පැවතෙන්නකු විසින් විය හැකි බවය.

වාසනාවට මෙන් මේ ජාතියේ බලධාරීන් එකකු දෙන්නකුට වඩා මෙවැනි ආයතනවල නොසිටීම තරුණ පරපුරේ වාසනාවක් වන අතර, අතීතයේ එවැන්නන් නොසිටීම හේතුවෙන් කරුණාසේන ජයලත්ට.. ගොලු හදවත… සහ …ගැහැනු ළමයි… යන නව කතා ලිවීමටද, ලෙස්ටර් සහ සුමිත්‍රා යුවළට ඒවා චිත්‍රපටගත කිරීමටද, හැකිවිය.

අපි දැන් උක්ත සිද්ධියට පාදක වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය පරිසරය, එහි සිටි ඇදුරු ගණයාට සහ සිසු සිසුවියන්හට ශිල්ප ශාස්ත්‍ර උගැන්මටත් ජීවිතයේ සෞන්දර්ය රස විඳීමටත්, පාරාදීසයක් වූ අයුරු, සරසවි මහ ඇදුරුතුමෙකු වූ මහාචාර්ය සුචරිත ගම්ලතුන් සිය ගුරු ගුණ සමරු කෘතියෙහි වර්ණනා කර ඇත්තේ කෙසේ දැයි බලමු.

“… ඇතැම්හු ක්‍රීඩා සඳහා ක්‍රීඩා පිට්ටනියට හෝ සුවිසල් ක්‍රීඩා මණ්ඩපයට ඇදෙති. සමහරු පුසතකාලයට රිංගා ගනිති. තවත් සමහරු පේරාදෙණි වනෝද්‍යානයෙහි හෝ සරසවි උයනෙහිම හෝ සැඳෑ පරිහරණය කෙරෙති. තඩාගයෙහි අරවින්දයක් සේ පිබිද එන නොඉඳුල්, නෑඹුල් යෞවන ප්‍රේමයෙන් වෙලුණාහු විචිත්‍ර වස්ත්‍ර විභූෂිතව, සුගන්ධාලේපිතව, ඉඩෝර කල වුව, ඡත්‍ර හා වැහි කබා

රැගෙන, කරතලයෙන් කරතලය ගෙන ඉහළ හන්තාන පාරේ ලඳුවල, ශිලා තල මත හෝ මහවැලි නදිය අසබඩ ලිය මඬුලුවල හෝ සෙවන යට වැතිර තුරුළු වෙති. මුළු සරසවි උයනම සැණකෙලි වෙස් ගත් කලෙක මෙනි. සිහින ලෝකයක් වැන්න. අවශේෂ සිරිලක නැමැති ලෙයින්, ඩහදියෙන්, කඳුළෙන් පිරි මිටියාවතින් උඩ පිහිටි සැප මිස දුක නැති කේතුමතී රාජධානියක් වැන්න. ගතෙහි ලෙඩක් නැත. සිතෙහි බරක් නැත. කිසි දෙයකින් අඩුවක් නැත. …..”

මෙවන් නිදහස් වූත් සෞන්දර්යයෙන් පිරිපුන් වූත් පරිසරයක වෙසෙන සිසු සිසුවියන් ශාස්ත්‍ර ග්‍රහණය කර ගත්තේ කවර නම් ගුරු භවතුන්ගෙන්ද? මහාචාර්ය සුචරිත ගම්ලතුන් සිය කෘතියේ ඒ පිළිබඳව සටහන් කරන්නේ මෙලෙසිනි.

….පේරාදෙණියේ එකල සිටි සියලුම ආචාර්යවරු භාෂා භාෂාන්තර, ශාස්ත්‍ර ශාස්ත්‍රාන්තර, හසල ප්‍රඥා සමුද්‍රයෝය. ඔවුන් හැම දෙනා තුළම නිධන් වී තිබුණේ ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, ලන්ඩන්, සෝබෝන්, යනාදී බටහිර විශ්වවිද්‍යාල වලින් විහිද ගිය ශාස්ත්‍ර ගවේෂණ සම්ප්‍රදායයි. වෛශික සත්‍යය සෙවීම හැර අන්‍ය අභිලාශයන් ඔවුනට නොවීය. …….. ඔවුහු ශිෂ්‍යයන්ට ඉතා අනුකම්පා සහගතය…….

අද දවසේ විශ්වවිද්‍යාල සංස්කෘතිය අරබයා වූ අනන්ත අප්‍රමාණ ප්‍රශ්න තිබියදී මේ ආකාරයට තරුණ තරුණියන්ගේ ප්‍රේමය ප්‍රකාශ කිරීම අරබයා පොලිස් නීතියක් ක්‍රියාත්මක කිරීම තුළින් එය නිකුත් කළ බලධාරියා අවඥාවට ලක්වීම ගැන අප කා තුළ හෝ කනගාටුවක් ඇති නොවනු ඇත. නමුත් විශ්වවිද්‍යාලය වැනි රටේ දියුණුවට නව නිර්මාණාත්මක උගතුන් බිහි කරවිය යුතු තැනක බලධාරීන් විසින් මිනිස් සත්වයාගේ ජෛව විද්‍යාත්මක කාරණා මැඩ පැවැත්වීමට, යම් සුළු සිදුවීම් මුල් කර ගනිමින් යකඩ වැටවල් බැඳීම විශ්වවිද්‍යාලය නම් අර්ථයම බාල්දුවට ලක් කරවන්නකි. අනෙක් පැත්තෙන් කෙනකුගේ හෝ කීප දෙනකුගේ පෞද්ගලික කුහකත්වයක් හෝ මානසික විකෘතියක් සිය බල අධිකාරිය මඟින් ප්‍රකාශයට පත් කිරීමකි.

මේ වන විට තරුණයෙක් සහ තරුණියක් ‘හග්’ කිරීම අවිනීත කමක් සේ දකින මොවුන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළම කුප්‍රකට සිදුවීමක් බවට පත්ව ඇතැයි කියන ලකුණු දීම සඳහා ලිංගික අල්ලස් ගැනීම වැනි සිදුවීම් අද වන විට අන්තර්ජාලය හරහාද කතා බහට ලක්වී තිබෙන බව නොදන්නේද? ඔවුන් ඒ බව නොදන්නා ලෙස සිටින්නේ එක්කෝ ඒ කුහකකම නිසාය… නැතිනම් ඔවුන් බබාලා නිසාය. එසේ නම් ඉතින් මහැදුරු සරච්චන්ද්‍රයන් ගේ සිංහබාහු නාටකයේ එන

…..ලෝ දහමින් වදිනා රලු පහරින් – ගත සිත රිදෙනා කල නිතියෙන් නැත ලොවේ අන් රසඳුනා – ආදරේ සේ සුව දෙනා ගැන බබාලා කෙසේ නම් දනිත්ද?

සරච්චන්ද්‍රයන්ම බොහෝවිට සංස්කෘත ශ්ලෝකයකින් උපුටා දැක්වූ පරිදි රස විඳීමට ඇති හැකියාවද වාසනා ගුණයකි.

ඒ වාගේම ජීව විද්‍යාත්මක හා මානුෂීය ගුණයක් වන ප්‍රේමය ගැන අවබෝධ කර ගැනීමටද වාසනා ගුණයක් තිබිය යුතුය.

යමෙකුට එසේ නැති නම් කුමක් කරමුද?

මිනිසාට අනුකම්පාව නම් හැඟීම දී ඇත්තේ මෙවැනි විටක භාවිතා කිරීමටය. එසේවත් කරමු. නැති නම් ගොලු හදවතත් තහනම් කරමු.

තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment