* පෙරඹර : පාර්ලිමේන්තු වරප‍්‍රසාද – අපහාස හා බොරුව සමාජගත කිරීම

610

විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික කුලූනු වේ. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය ලෙස කටයුතු කරන පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනයක් ලෙස හඳුන්වනු ලැබුවද එහි මන්ත‍්‍රීවරුන් එම උත්තරීතරභාවය කෙතරම් දුරට ආරක්ෂා කරන්නේද යන්න ගැටලූ සහගතය. පාර්ලිමේන්තුව මඟින් මුළු රටක් පාලනය කිරීමට අවශ්‍ය නීති සම්පදානය කර දුන්නද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නීතියක් නැද්දැයි ජනතාව ප‍්‍රශ්න කරති.

තමන්ට නීති හදන පිරිස නීතිගරුක විය යුතු බව ඕනෑම රටක පුරවැසියන් බලාපොරොත්තු වන මූලික අංගයකි. එසේ නොමැතිව නීති කඩන පිරිසක් තමන්ට නීති හදන්නේ යැයි ජනතාවට ඒත්තු යන්නේ නම් ඔවුන් එම නීති වලට අනුගත නොවීමට ඉඩ ඇත. එබැවින් පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක හා නීති සම්පාදනය කරන මහජන නියෝජිතයන්ගේ නීතිගරුක බව රටක් නීතිගරුකව පවත්වාගෙන යෑමේදී අතිශයින්ම තීරණාත්මකය. එබැවින් පාර්ලිමේන්තුව තුළදිත් ඉන් පිටතදිත් මහජන නියෝජිතයන් තමන්ගේ නීතිගරුක බව හා සදාචාර සම්පන්න බව පෙන්නුම් කරනු දැකීමත් සමස්ත මහජනතාවගේ බලාපොරොත්තුවයි. එසේ වුවහොත් පමණක් උත්තරීතර පාර්ලිමේන්තුව යන වචනයට සැබෑ වටිනාකමක් ලැබෙනු ඇත. විනයගරුක මහජන නියෝජිතයන් විනයගරුක රටක අඩිතාලම වනු ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළදි කරන ප‍්‍රකාශ සම්බන්ධවත් අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට ක‍්‍රමවේදයක් නොමැත. එම වරප‍්‍රසාදය ලබා දී ඇත්තේ මන්ත‍්‍රීවරුන් සදාචාර සම්පන්නව විනගරුකව හා නීතිගරුකව සත්‍ය කරුණු පමණක් පාර්ලිමේන්තුව තුළ කථා කරනු ඇතැයි යන පූර්ව නිගමනය මතය. එම නිසා එම විශ්වාසය රැකීම මහජන නියෝජිතයන්ගේ පරම වගකීම වනු ඇත. සාමාන්‍යයෙන් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විනය හසුරුවනු ලබන්නේ කථානායකතුමා, නියෝජ්‍ය කථානායකතුමා හෝ අවස්ථානුකූලව මුලාසනාරූඪ වන මන්ත‍්‍රීවරයා විසිනි. එවැනි අවස්ථා වලදී පාර්ලිමේන්තුව තුළ මන්ත‍්‍රීවරුන් අතර ගැටුම් ඇති වන අවස්ථාද අප‍්‍රමාණය. තවද, බල්ලා, බූරුවා, හරකා වැනි වචනද පොත් වලින් පහරදීම්, මිරිස් කුඩු ගැසීම්, වතුර බෝතල් වලින් පහරදීම් වැනි අවස්ථාද ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වී ඇත. මෙවැනි තත්ත්වයක් උද්ගතවීම තුළ ජනතාවට තමන්ට නීති සාදන පාර්ලිමේන්තු සම්බන්ධයෙන් කලකිරීමත්, එහි උත්තරීතරභාවය පිළිබඳ සැකයක් ඇති වීමත්, වළක්වාලිය නොහැකි වනු ඇත. එබැවින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කථා කිරීමේදී හා හැසිරීමේදී සදාචාර සම්පන්න බව හා විනයගරුක බව මෙන්ම තමන්ගේ වරප‍්‍රසාද වලට මුවා වී අසත්‍ය කරුණු සමාජගත කරවීම වැළැක්විය යුතුව ඇත. එසේ කිරීම තුළ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට මහජන නියෝජිතයන් පිළිබඳ විශ්වාසනීයභාවයෙන් සුරක්ෂිත වීම හරහා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා විනයගරුකභාවය ඉහළ නැංවෙනු ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා ඇතුළු එහි සාමාජිකයන් පාර්ලිමේන්තු වරප‍්‍රසාද ඇති පිරිසක් නොවෙයි. නමුත් අප සංගමයේ සභාපතිතුමා හා එහි නිලධාරීන් සම්බන්ධවත්, සංගමය සම්බන්ධවත් වැරදි කරුණු පාර්ලිමේන්තුව වෙත සභාගත කළ අවස්ථා ගණනාවක් අප දැක ඇත. හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා තවත් කිහිපදෙනකු මේ ආකාරයට කරන ලද අසත්‍ය හා ද්වේශ සහගත ප‍්‍රචාර සම්බන්ධව අප කථානායකතුමාට පැමිණිලි කර ඇත්තෙමු. ඉන් අප බලාපොරොත්තු වන්නේ හුදෙක් අප සංගමයට විරුද්ධව කළ චෝදනාවලට පියවර ගැනීමට පමණක් නොවේ. ඉන් ඔබ්බට ගිය පාර්ලිමේන්තු වරප‍්‍රසාද රහිත අතිමහත් වූ බහුතර ජනතාවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිය වරප‍්‍රසාද උපයෝගි කරගෙන පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරප‍්‍රසාද අවභාවිතාව නියාමනය කරවීමත්, පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය සුරක්ෂිත කරවීමත්ය. නමුත් අද වනතුරුත් අප කරන ලද පැමිණිලි වලට අත්වූ ප‍්‍රගතිය සම්බන්ධව සොයා ගත නොහැකිව ඇත. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන ජනතාවට අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.

මීට දින කිහිපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා විසින් සෞඛ්‍ය සේවය තුළ වෛද්‍ය පරිපාලකයන්ට තනතුරු ලබා දීම නතර කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා ඇතුළු කිහිපදෙනකු බවත්, අප සභාපතිතුමා සම්බන්ධව තවත් අසත්‍ය කරුණු කිහිපයකුත් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ ප‍්‍රකාශ කරනු දක්නට ලැබිණි. එමෙන්ම ඒ අවස්ථාවේදී ඊට එරෙහිව නැඟි සිටි වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතාට හරකා, යැයි අමතමින් කථා කරනු දක්නට ලැබුණි. මේ සිද්ධියට සම්බන්ධ වෛද්‍ය පරිපාලකයන් පත් කර ගැනීමට නොහැකිව ඇත්තේ රාජිත සේනාරත්න ඇමැතිවරයා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි කාලයේදි කිසිදු පාර්ශ්වයක විමසීමකින් තොරව වෛද්‍ය පරිපාලනයට ඇතුළත් කිරීමේ සුදුසුකම් සංශෝධනය කරමින්, වෛද්‍ය සේවා ව්‍යවස්ථාව අත්තනෝමතිකව වෙනස් කිරීමයි. එම වෙනස් කිරීම තුළින් මෙතෙක් කල් සියලූම වෛද්‍යවරුන්ට ලැබූ අවස්ථාවක් අහිමි කිරීමත්, සාකච්ඡුාවකින් සම්මුතියකින් තොරව වෙනස් කිරීමත් නිසා වෛද්‍ය සේවය තුළ නොසන්සුන්තාවක් ඇති වුණි. එබැවින් මෙම රජය බලයට පත් වීමෙන් පසුව රාජිත සේනාරත්න ඇමැතිවරයා අත්තනෝමතික ලෙස කරන ලද සේවා ව්‍යවස්ථා සංශෝධනය තාවකාලිකව අත්හිටුවීමටත්, එම ක‍්‍රියාවලිය සාකච්ඡුාවකින්, සම්මුතියකින් ක‍්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත් තීරණය වී තිබේ.

නමුත් වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා හඳුනා නොගත් හේතුවක් නිසා එම ක‍්‍රියාවලිය කල් මරමින් සිටීම මෙම පත්වීම් ලබා දීම ප‍්‍රමාද වීමට පදනම් වූ මූලික හේතුවයි. නමුත් විජිත හේරත් මන්ත‍්‍රීවරයා හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ අත්තනෝමතික ක‍්‍රියාවලියත්, වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයාගේ අකාර්යක්ෂමභාවයත් යටපත් කරමින් එම සියලූ චෝදනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා හා නිලධාරීන් වෙත යොමු කරනු ලබන්නේ තම පක්ෂයට හිතවත් වෛද්‍ය සංගම්වල ගොඩ වැඩි කර ගැනීමට යැයි සෞඛ්‍යට සම්බන්ධ බොහෝ පිරිස් පෙන්වා දෙයි.

මේ සියල්ල මන්ත‍්‍රී වරප‍්‍රසාදවලට මුවා වී තම දේශපාලනික බඩවඩා ගැනීම සඳහා අසත්‍ය සමාජගත කිරීමක් ලෙස හඳුන්වා දිය හැක. එමෙන්ම එම ක‍්‍රියාවලියට විරුද්ධ වූ වෛද්‍යවරයෙකු වන මන්ත‍්‍රීවරයෙකුට හරකා, ලෙස ආමන්ත‍්‍රණය කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී විජිත හේරත් මහතා ඔවුන් විසින්ම කියා ගනු ලබන ඔවුන්ගේ විනයානුකූලත්වය තවදුරටත් අදාළ නොවන බව තහහවුරු කරමින් සිටියි. තමන්ද එම ජරාජීර්ණ වූ දේශපාලනය තුළ එක් අයෙකු පමණක් බව රටට පෙන්වා දී ඇත. මෙය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන ජනතාවගේ බලාපොරොත්තු විනාශ කර දැමීමකි.

මේ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව වෙත ලිපියක් යොමු කිරීමට බලාපොරොත්තු වන අතර සමස්ත පාර්ලිමේන්තුව තුළ සිදු වන හැසිරීම් විලාසය සම්බන්ධව හා වරප‍්‍රසාද වලට මුවා වී වරප‍්‍රසාද රහිත මිනිසුන්ට අපහාස කිරීමත්, බොරුව සමාජගත කිරීමත් සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට කථානායකතුමන්ගෙන් ඉල්ලීමක් කිරීමටත් බලාපොරොත්තු වේ.

මහජන නියෝජිතයන් පිළිබඳව හා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය පිළිබඳ විශ්වාසය බිඳවැටුණු රටක ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කෙතරම් දුරට විශ්වාස කරයිද යන්න සැක සහිතය. එබැවින් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රැුක ගැනීමත්, මහජන නියෝජිතයන් නිවැරදි මඟට ගැනීමත්, ඒ හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමත් සියලූ ජනතාව සතු අයිතියක් මෙන්ම වගකීමකි.

කුමන බාධා මැද වුවද ඒ වෙනුවෙන් අප අරගල කරන්නෙමු.

වෛද්‍ය නවීන් ද සොයිසා,
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය.

advertistmentadvertistment
advertistmentadvertistment