පෙරඹර- රාජ්‍ය පාලනයට දූෂිතයන් එපා

271

අපගේ මාතෘ භූමිය පෙර නොවූ විරූ අන්දමින් දරුණු ආර්ථික, සාමාජීය, දේශපාලන අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවේ, එම අර්බුදයෙන් මිදී රට ස්ථාවර කර ගැනීමත්, ජනතා අභිලාශයන් ජයග්‍රහණය කරවීමත්, සියලුම දේශපාලන පක්ෂවල මෙන්ම සිවිල් සංවිධාන මත පැටවී ඇති අත්හල නොහැකි වගකීමකි.මෙම අර්බුදකාරී අවස්ථාවේදී ඇති වී ඇති ජනතා පිබිදීම රට නිවැරදි දිශානතියට ගෙන යෑමේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් කිරීමට පියවර නොගන්නා ඕනෑම දේශපාලනඥයෙක්, ඕනෑම දේශපාලන පක්ෂයක්, ඕනෑම වෘත්තීයවේදියෙක් මෙන්ම, ඕනෑම සිවිල් සංවිධානයක් ඉතිහාසයේ වගකීම් පැහැර හැරියවුන්ගේ ලැයිස්තුවට ඇතුළත් වනු ඇත. එමෙන්ම මෙම ජනතා අරගලය නිවැරදි වැඩපිළිවෙළක් ඔස්සේ ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වුවහොත් එය සියලු දෙනා විසින් සිදු කරන ඵෙතිහාසික වරදක් මෙන්ම ඉතිහාසයේ කළු අකුරින් ලියවෙනු ඇත. එබැවින් සියලුම දේශපාලන පක්ෂ මෙන්ම සියලුම සිවිල් සංවිධාන රට දිනවන වැඩපිළිවෙළක් මෙන්ම ක්‍රියාකාරී සැලැස්මක් රටට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීම මෙන්ම එම සැලැස්ම හරහා දූෂිත ක්‍රමය වෙනුවට ප්‍රතිපත්තිගරුක ක්‍රමයක් ජයග්‍රහණය කරවීම අත්‍යවශ්‍යය.

වර්තමාන රජයේ දුර්වල මූල්‍ය විනය නිසා උද්ගත වූ ආර්ථික අවපාතය, විදේශ විනිමය අර්බුදය, ඉහළ උද්ධමනය, සෞඛ්‍ය අර්බුදය හා බලශක්ති අර්බුදය හේතුවෙන් දැඩි පීඩනයට පත් ඔබ, වත්මන් රජයට සහ සමස්ත දේශපාලන ක්‍රමවේදයට විරුද්ධව ප්‍රබල, ස්වෙච්ඡා, සාමකාමී අරගලයක නිරතව සිටින මේ මොහොත සැබැවින්ම ඵෙතිහාසිකය.ජනතා අරගලයේ මූලිකම ඉල්ලීම වී ඇත්තේ පවතින දේශපාලන ක්‍රමවේදය වෙනුවට වගවීමක් සහ වගකීමක් සහිත දූෂණය හා වංචාව පිටුදකින විගණනයට යටත් පාලන තන්ත්‍රයක් තුළින් ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ගැනීමයි. එම ක්‍රියාකර ගැනීමේදී දේශපාලන ක්‍රමය තුළ විවිධ විෂමාචාර චෝදනාවන්ට සම්බන්ධ මහජන නියෝජිතයන් තවදුරටත් එම ක්‍රියාවලිය තුළට ඇතුළු කර ගැනීම සමස්ත ජනතාව ප්‍රතික්ෂේප කරමින් පවතී.මන්ද යත්, වංචා සහ දූෂණ චෝදනාවන්ට ලක් වූ, ඉතිහාසයේ දූෂණ වංචා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවන් බවට පත් වූ, රටට හානිකර දූෂිතයන්ගෙන් සමන්විත පාලන තන්ත්‍රයක් මගින් ඔබේත් මගේත් මව්බිමට යහපත් හෙට දවසක් උදාකරනු ඇතැයි කිසිසේත් විශ්වාස කළ නොහැක.

එම දේශපාලන යාන්ත්‍රණය පවුල්වාදය, කල්ලිවාදය හා ගජමිතුරුවාදය තුළින් රටේ සමස්ත ආර්ථිකය හා දේශපාලන බලය සුළු පිරිසක් අත තබා ගනිමින් කරන ලද විනාශය අප අද වන විටත් අත්විඳිමින් සිටියි.එබැවින්, ඉදිරියේදී දේශපාලනයට හෝ ඕනෑම රජයක කැබිනට් මණ්ඩලයට, දූෂණ චෝදනාවන්ට ලක් වූ, වංචා, දූෂණ සහ මිනීමැරුම් චෝදනාවන්ට අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් වූ, රටට හානිකර විෂමාචාර ක්‍රියාවන්හි නිරත වූ ඕනෑම දේශපාලනඥයකු කිසිදු හේතුවක් මත හෝ පත් කිරීමට ඉඩ ලබා නොදිය යුතුය.

සෑම රජයක්ම ඉතිහාසය පුරා බලයට පත් වීමට පෙර විපක්ෂයේ සිටියදී රජයේ වංචා හා දූෂණ පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් දැඩි ලෙස විවේචනයට ලක් කළ ද බලයට පැමිණීමෙන් පසු කිසිදු දූෂිතයකුට දඬුවම් කරනු දක්නට නොලැබුණි. ඊට හේතුව පවතින දේශපාලන ක්‍රමවේදය තුළ ඔවුනොවුන් තමන්ගේ අනාගත පැවැත්ම වෙනුවෙන් ඩීල් දේශපාලනයක නිරත වෙමින් ජනතාව ගොනාට ඇන්දවීමයි. මෙය චන්ද්‍රිකා රජයේදී දූෂිතයන් ගෝල්ෆේස් ගෙන ඒමේ සිට, යහපාලන ආණ්ඩුව චන්ද්‍රිකා, මහින්ද රාජපක්ෂ රජයන්හි දූෂිතයන් ඇල්ලීම මෙන්ම වර්තමාන රජය ටොප්ටෙන් හොරුන් ඇල්ලීම හා මහබැංකු බැඳුම්කර හොරුන් ඇල්ලීම තෙක් පෙන්වා දිය හැක. එබැවින් මෙම ජරා ජීර්ණ වූ දේශපාලන ක්‍රමය දූෂිතයන් රැකීමට මිස දූෂිතයන්ට දඬුවම් දෙන ක්‍රමයක් නොවන බව වර්තමාන තරුණ පරම්පරාවට තේරුම් ගොස් ඇත. එහි අවසාන ප්‍රතිඵලය ලෙස පාර්ලිමේන්තුවේ 225 එපා යන ස්ථාවරයට ජනමතය හිස ඔසවා ඇත.

පවතින අස්ථාවරත්වයට විසඳුමක් ලෙස නිශ්චිත කාල රාමුවක් තුළ අන්තර්වාර හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුළින් කරුණු 12 කින් සමන්විත වැඩපිළිවෙළක් ඔස්සේ රට ස්ථාවර කිරීමටත් ඉන් පසු මැතිවරණය තුළින් රටේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරවීම සඳහා පිරිසක් පත් කර ගැනීමත් යෝග්‍ය බව අප පෙන්වා දී ඇත.එමෙන්ම ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම ආකාරයේ ආණ්ඩුවකට, කිසිදු තනතුරකට දූෂණ චෝදනාවන්ට ලක් වූ, වංචා දූෂණ සහ මිනීමරුම් චෝදනාවලට අධිකරණය ඉදිරියේ හෝ කොමිෂන් සභා ඉදිරියේ වැරදිකරුවන් වූ රටට හානිකර විෂමාචාර ක්‍රියාවන්ගේ නිරත වූ කිසිදු පක්ෂයක කිසිදු දේශපාලනඥයකු කිසිදු හේතුවක් මත පත් නොකිරීමට කටයුතු කළ යුතුය. එසේ නොවුන හොත් ජනතා අරගලයේ අපේක්ෂාවන් බිඳ වැටී රට දිගින් දිගටම අස්ථාවර භාවයේත් අගාධයට පත් වීමේත් ගමන නතර කළ නොහැකි වනු ඇත. එබැවින් රටේ සියලුම දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රට ස්ථාවර කිරීම සඳහා පත් කරනු ලබන ආණ්ඩුවක කිසිදු තනතුරක් දූෂිතයන් වංචනිකයන් හෝ මිනීමරුවන්ට ලබා නොදීමට වගබලා ගත යුතු අතර එසේ පත් වනු ලබන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුව ඇත.යම් හෙයකින් ජනතා ඉල්ලීම්වලට පිටුපා, පටු දේශපාලන න්‍යාය පත්‍ර ඔස්සේ දේශපාලනඥයන් කටයුතු කළහොත්, පවතින අර්බුදය තවත් තිව්‍ර වී ශ්‍රී ලංකාව තවදුරටත් අසමත් රාජ්‍යයක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.එබැවින්, ජන අරගලයේ සැබෑ අරමුණ ජය ගැනීම සඳහා අප එකමුතුව නොනැවති සටන් කළ යුතුය. දූෂිතයන්ගෙන් තොර රටක් බිහිකර ගැනීමට පෙළ ගැසෙමු.

පෙරඹර- රාජ්‍ය පාලනයට දූෂිතයන් එපා

වෛද්‍ය නවීන් ද සොයිසා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 

advertistmentadvertistment
advertistmentadvertistment