‘පෙරඹර’…. ශ‍්‍රී ලංකාවේ ආහාර පනත

1016

රටකට ආහාර පනතක් අවශ්‍ය වේ. මක්නිසාදයත් බොහෝ අය හුදෙක් පෝෂණයට සම්බන්ධ දෙයක් පමණක් යැයි සිතා සිටියත් අප ගන්නා ආහාරය පෝෂණයෙන් ඔබ්බට ගොස් බොහෝ අංශ වෙත සම්බන්ධ වේ.

අප ගන්නා ආහාරය යන්න පෝෂණය, සෞඛ්‍යය, නිරෝගීභාවය, ප‍්‍රතිශක්තිකරණය, ඵලදායිතාවය, අධ්‍යාපනය, ආර්ථිකය, ආනයන හා අපනයන සියලූ අංශ වෙත බලපානු ලබයි. එය අද සමාජයේ බොහෝ දෙනකු අමතක කර ඇත. ආහාරය යන්න සෞඛ්‍ය කාර්යයක් පමණක් යැයි ලඝු කොට සිතයි.

අද දවසේ Wellness Industry වැනි අංශයන් දියුණු වී ඇති නිසා ගෝලීය නව ප‍්‍රවණතා හඳුනා ගනිමින් ආහාර තුළින් පෝෂණයෙන් ඔබ්බට ගොස් තවත් ප‍්‍රයෝජන ලබා ගත හැකි වනු ඇත.

ආහාරය යනු?

ආහාර පනත පිළිබඳ දැනගන්නට ප‍්‍රථම ආහාරය යනු කුමක්දැයි හඳුනා ගත යුතුය.

මෑත අතීතයේ බටහිර දර්ශනයට අනුව ආහාරය අර්ථ දක්වනුයේ වර්ධනය, ශක්තිය හා රෝග වැළැක්වීමේ හැකියාව ලබා දීම සඳහා පරිභෝජනය කරන ඕනෑම ද්‍රව්‍යයකි යනුවෙනි.

නමුත් අපගේ තිබූ ආහාර සංස්කෘතිය අනුව ආයු, වර්ණ, සැප, බල, ප‍්‍රඥා යන වඩා පුළුල් අරමුණුද ආහාරයෙන් ඉටු විය යුතු යැයි අපේක්ෂා කරයි. අද දවසේදි බටහිර දර්ශනයේද ආහාරය පිළිබඳ දැක්ම යම් මට්ටමකට පුළුල් වී ඇති බව ක‍්‍රියාකාරි ආහාර හා ඖෂධීය ආහාර පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමුවීමෙන් හඳුනාගත හැකිය.

සෞඛ්‍ය වෙනුවෙන් වැය වීම

නව වසරේ අය වැය තුළින් සෞඛ්‍ය වෙත රුපියල් බිලියන 580 ක් වෙන් කිරීමට නියමිතයි. එය ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැය ඇතුළු සියලූ අයවැය ශීර්ෂයන් ඉක්මවා යනවා. එවන් විශාල මුදල් සම්භාරයක් සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කිරීමට සිදුව ඇත්තේ අප අපගේ නිරෝගීභාවය පිළිබඳව හා නිවැරදි ආහාරය වෙත අවධානය යොමු කර නොමැති බැවිනි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ පියාට අනුව ආහාර

බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා වන හිප්‍රෝකටිස් “Let food be thy medicine and medicine be thy food” යනුවෙන් ප‍්‍රකාශ කොට ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියාට අනුව ඖෂධය ආහාරයක් මෙන් පමණක් නොව ආහාරය ඖෂධයක් විය යුතුයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා අප සතුව පැවති ආහාර සංස්කෘතිය, ඖෂධීය ආහාර සංකල්පය ඔස්සේ තහවුරු කර ඇත.

අප ඉහත සාකච්ඡා කළ කරුණු අද පවතින ආහාර පනත තුළ ගැබ්ව තිබෙනවාද යන්න අප විමසා බැලිය යුතුයි.

ශ‍්‍රී ලංකාවේ ආහාර පනත

ශ‍්‍රී ලංකාවේ බලපැවැත්වෙනුයේ 1980 අංක 26 දරන ආහාර පනතයි. අදටද භාවිත කරනුයේ වසර 1980 ස්ථාපිත ආහාර පනතයි. එය වසර 41 පැරණිය. එය 1991 හා 2011 වසර වලදි සුළු සංශෝධනයන් සිදු කර ඇතත් ආහාර පනත තුළින් සෞඛ්‍යයට හා ඉහත සඳහන් කළ ක්ෂේත‍්‍ර කෙරෙහි ලැබෙන දායකත්වය දුර්වලයි. තවද ආහාර පනත වර්තමානයට ගැළපෙන අයුරින් යථාවත් වී ඇත්දැයි අප ප‍්‍රශ්න කළ යුතුය.

ශ‍්‍රී ලංකාවේ ආහාර පනතේ ආහාරය සම්බන්ධයෙන් නිවැරදි අවධානය යොමු වී නොමැති අතර ආහාර පනතෙන් බලාපොරොත්තු වන අරමුණද ඉටු නොවේ.

1980 අංක 26 දරන ආහාර පනතේ, ආහාර නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ බෙදා හැරීම විධිමත් කිරීම සහ පාලනය කිරීම පිණිස ආහාර උපදේශක කමිටුවක් පිහිටුවීම පිණිස ද ආහාර සහ ඖෂධ පනත (216 වන අධිකාරය* ඉවත් කිරීම පිණිස ද ඊට සම්බන්ධ හෝ අනුපාතික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි, යනුවෙන් පනත අර්ථ දක්වා ඇත.

යල්පැන ගිය ආහාර පනත

1980 දී ආහාර පනත නිර්මාණය කිරීමේදී පැවති තත්ත්වය අද වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. ආහාර ද්‍රව්‍ය ලේබල් කිරීම, මිල නියම කිරීම, අලෙවි ප‍්‍රවර්ධනය, වෙළඳපොළ තත්ත්වය ආදි සියලූ අවස්ථාවන් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. අවම වශයෙන් වෙළඳ ප‍්‍රවර්ධන මාධ්‍යයන් පවා වෙනස් වී ඇත.

වසර අවුරුදු 41 කට කලින් තිබූ වාණිජ සංස්කෘතිය නොවෙයි අද තිබෙනුයේ. අද කාලයට ගැළපෙන අයුරින් ආහාර පනතේ සංශෝධනයන් සිදු කළ යුතු අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසාවෙනි.

ආහාර සුරක්ෂිතතාවය හා සුව ආහාරය

ආහාර සුරක්ෂිතතාව යනු හිඟයකින් තොරව ආහාර සැපයීමේ හැකියාවයි. සුව ආහාරය යනු මිනිස් සිරුරට හිතකර නිරෝගී බව සුරකින ආහාරයයි. රටක ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුත්තේ සුව ආහාරයෙනි.

නමුත්, ආහාර නිෂ්පාදනය, ආනයනය, විකිණීම හා බෙදා හැරීම යන්න පිළිබඳව පමණක් ආහාර පනතේ අවධානය යොමුව ඇති නිසා, සුව ආහාරයෙන්, ආහාර සුරක්ෂිතතාවය, තහවුරු කිරීම යන අරමුණ ඉටුවේද යන්න ගැටලූ සහගතය.

සුව ආහාරය බිඳ වැටීම

ආහාරය ප‍්‍රධාන වශයෙන් කාණ්ඩ කිහිපයකි. ධාන්‍ය, එළවළු, පලතුරු, කුළුබඩු ආදිය ඒ අතුරින් සුවිශේෂී වේ.

එම ආහාර කාණ්ඩයන් දේශීය පාරම්පරික ආහාරයෙන් බැහැරව වස විස එකතු කරන ලද, වැඩි දියුණු කරමින් ජාන විකෘති කරන ලද, ස්භාවිකත්වය ඉක්මවා ගොස් ඇති ආහාරයන් බවට පරිවර්තනය වී ඇත. මේ කිසිවක් අපගේ ආහාර පනත තුළින් ආවරණය නොවේ. එපමණක් නොවේ වස විස භාවිතය නිසා පානය කිරීමට ඇති ජලයට පවා වස විස එකතු වී ඇත. මෙම අනවශ්‍ය පරිවර්තනය නිසා බොහෝ ලෙඩ රෝග වලට ගොදුරු වීම ඉහළ ගොස් ඇත.

කිරි පිටි, පාන් පිටි වැනි සෞඛ්‍යයට අහිතකර නුසුදුසු ආහාර පවා මේ ආහාර පනත තුළින් නියාමනය නොවේ.

දරුවන්ට හොඳම දේ

මේ කරුණු සලකා බැලීමේදී සමාජයේ අවධානය වැඩි වශයෙන් යොමු විය යුතු දරුවන්ට පවා යහපත් අනාගතයක් උදා කරලීම සඳහා ආහාර පනතේ අවශ්‍ය කරුණු සම්පූර්ණ වී නොමැති බව තමයි අපට දැක ගත හැක්කේ.

ද්විත්ව වසංගතය හා සමගාමීව අවධානය යොමු විය යුතු ආහාර පනත

වසංගතයක් වන කොරෝනා හා බෝ නොවන රෝග වසංගතයක් මෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් උද්ගතව ඇති ද්විත්ව වසංගතය හමුවේ ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දී තිබෙනවා.

එම නිසා වත්මන් අර්බුදයන්ද ජයගැනීමට වර්තමානයේ පවතින, ආහාර පනත, තුළ මිනිසුන්ගේ ප‍්‍රතිශක්තිකරණය රැක ගැනීමට හා ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට අවශ්‍ය සංශෝධනයන් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍ය අවධානයද යොමු කරවමු.

මේ අනුව අපගේ ආහාර පනත කල්පැන ගිය පනතකි. ඒ නිසා ආහාර පනත අදට ගැළපෙන අයුරින් යථාවත් කළ යුතුමයි.

'පෙරඹර'.... ශ‍්‍රී ලංකාවේ ආහාර පනත

ළමා ස්නායු රෝග විශේෂඥ
වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය
රිජ්වේ ආර්යා ළමා රෝහල – කොළඹ

advertistmentadvertistment
advertistmentadvertistment