පෙරහැරට කලින් කැලණියේ අතීත කතාව දැනගමු

200

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පා පහසින් පාරිශුද්ධත්වයට පත් මෙරට ඇති තවත් පූජනීය ධර්ම භූමියකි කැලණි රජ මහා විහාර ය. එම විහාර භූමිය ඇතුළු කැලණි ගම් මිටියාවත එදා මෙරටට පැමිණි පෘතුගීසි මංකොල්ලකරුවන්ගේ ග‍්‍රහණයෙන් අත්මිදුණේ අවට පැවැති විහාරාරාමයන් සුනුවිසුණු කර පෞරාණික මුතුන් මිත්තන් නිධන් කළ ධන නිධානයන් පැහැර ගත්ත ද මෙම බුද්ධ භූමිය බුදු පා පහසින් අති පාරිශුද්ධත්වයට පත් ව තිබූ හෙයිනි.

එහෙත් කල් යෑමෙන් කැලණි රජ මහා වෙහෙරත් ඒ ආශ‍්‍රිත භූමියත් ජරාවාස වෙමින් පැවැතිණ. 17 වැනි සියවසේ අවසන් සමයේ සබරගමුව දිසාව වශයෙන් සිටි තුඩුගල අප්පුහාමිලාගේ පරපුරෙන් පැවැත ආ තුඩුගලගේ දොන් ජෝන්, තුඩුගලගේ දොන් සීමන් සපරමාදු, දොන් ලූවිස් හෙලෝනිස් යන පුතුන්ගෙන් පසුව උපත ලද දොන් පිලිප් තුඩුගල විජයවර්ධන මහතාගේ දරු පිරිස නවදෙනෙක් වූහ. දොන් ඇලෙක්සැන්ඩර්, ඇග්නස් හෙලන්, දොන් ලූවිස්, දොන් රිචර්ඞ්, දොන් එඞ්මන්ඞ්, හැරියට්, දොන් චාල්ස්, දොන් වෝල්ටර්, දොන් ඇල්බර්ට් ඒ දරු පිරිසය.

දොන් පිලිප් විජයවර්ධන මහතා 1856 වසරේ දී සේදවත්තේ පදිංචි වීමත් සමගම නව ප‍්‍රබෝධයක් ඇති වන්නට විය. ව්‍යාපාරික කටයුතු ලෙස කළේ කොළඹ වරායේ ‘බ්‍රේක් වෝටර්’ බැම්ම සඳහා අවශ්‍ය දැව සැපයීමය. ඔහු ධනවතකු මෙන්ම සමාජ සේවකයකු ලෙස ද පළාත ආශ‍්‍රිත මහජනතාවගේ ප‍්‍රසාදයට පත් වූයේ හේවාගම් කෝරළයේ ඩැප් වීරසිංහ පරපුරේ වැඩිමහල් දියණිය හෙලේනා ඩැප් වීරසිංහ මෙනවියගේ අතිනත ගැනීම සමගිනි.

පෙරහැරට කලින් කැලණියේ අතීත කතාව දැනගමු

සේදවත්තේ කුඩා ආවාස ගෙයක්ව පැවැති වෙහෙර ගොඩල්ලේ විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළ හේලේනා විජයවර්ධන මාතාව 1917.11.14 වැනි දින සන්සන් පත‍්‍රයකින් මහ සඟරුවන වෙත පූජා කළා ය.

එක් දිනක් එතුමිය කැලණි රජ මහා වෙහෙර වැඳපුදා ගැනීමට ගියවිට දී දැකගත හැකි වූයේ මෙම බුද්ධ භූමියට සිදුව ඇති ඛේදනීය ඉරණමය. බුදු කුටිය දණක් එරෙන මඩෙන් පිරී තිබිණ. විහාර මන්දිරයේ ගරා වැටුණු බිත්තිවල නිර්මාණය කර තිබූ ඉපැරණි චිත‍්‍ර කැටයම් විනාශ වී තිබිණ. බුදු මැඳුරේ තිබූ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ කැඞී බිඳී ගොස් තිබිණ. ඉපැරණි නිර්මාණකරුවන් මෙහි ඉදිකර තිබූ චෛත්‍යරාජයාණන් වහන්සේ ගහකොළින් වැසී ගොස් තිබිණි. මෙයින් දැඩි සිත් පීඩාවට පත් හෙලේනා විජයවර්ධන මාතාව තමා සමග ගිය තම කණිටු පුත් වෝල්ටර් විජයවර්ධන තරුණයාට මේ සියල්ල යළි ප‍්‍රතිෂ්ඨාපනය කරන්නට නියම කළාය.

පෙරහැරට කලින් කැලණියේ අතීත කතාව දැනගමු

මෙකී භාර¥ර කටයුත්තේ දී චෛත්‍ය පිළිසකර කිරීම එක් පිරිසකටත්, බුදු කුටිය ප‍්‍රතිසංස්කරණය කිරීම තම අධීක්‍ෂණය යටතේ සිදුවිය යුතු බවත් තීරණය කළාය. එවකට වෝල්ටර් විජයවර්ධන මහතාට වෙනම අයිතිය පවරා තිබූ කුරුණෑගල මහවැව ප‍්‍රදේශයේ සැරිසරත් දී වරක් මුණගැසුණු විහාර කර්මාන්තයට නම් දැරූ චිත‍්‍ර ශිල්පියකු වූ වලිමුණි සෝලියස් මෙන්ඩිස් නමැති චිත‍්‍ර ශිල්පියා ගැන සිහියට නැඟිණ. ඔහු සමග ඉන්දියාවේ අජන්තා, එල්ලෝරා, භාග් ආදී ස්ථානවල මාස කීපයක් මුළුල්ලේ සැරිසරා චිත‍්‍ර ශිල්පියාට එකී චිත‍්‍ර කලාව පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට සැලසීය. නව කැලණි විහාරායේ දැනට දකින්නට ලැබෙන යුරෝපා ශෛලියෙන් නොකිලිටි ආසියානු මහා කලා සම්ප‍්‍රදායේ මූලික රිද්ම ලක්‍ෂණයන් ය. මේ හා සමගාමීව ඉන්දියාවෙන් අති දක්‍ෂ ගල්වඩුවන් කිහිපදෙනෙක් ද මෙරටට ගෙන්වීය. එහෙත් මුලින්ම නිර්මාණය කළ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ බුදු මැඳුරෙහි පිහිටු වීමට ඔහු අදිමදිකමක් දැක්වීය. එහි අඩුලූහුඬුකම් පෙන්වා දෙවනුව නිර්මාණය කළ ශෛලමය බුද්ධ ප‍්‍රතිමා වහන්සේ බුදු මැඳුරෙහි තැන්පත් කෙරුණි. වෝල්ටර් විජයවර්ධන මහතා කර තිබූ මෙම දැවැන්ත කාර්යභාරය දැකගත් හෙලේනා විජයවර්ධන මහත්මිය අතිශය ප‍්‍රීතියට පත්ව එය ගෙවදීමේ පින්කමට මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් ඇතුළු පන්සියයක් භික්‍ෂුන් වහන්සේට දානමය පින්කමක් පැවැත්වීය.

පෙරහැරට කලින් කැලණියේ අතීත කතාව දැනගමු

මෙයින් නොනැවතුණු වෝල්ටර් විජයවර්ධන මහතා තම මෑණියන්ගේ ද අවසරය ලබා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහරට නො දෙවෙනි මහ පෙරහරක් කැලණි රජ මහා විහාරයේ දුරුතු පුන් පොහෝ දා පැවැත් විය යුතු බවට තීරණය කළේය. ඇසළ පෙරහරේ සියලූ ම අංගෝපාංගයන් නිරීක්‍ෂණයකොට ඒ සඳහා කිසිදු අඩුවකින් තොරව කැලණි පෙරහර පැවැත් විය යුතු බව වැටහුණෙන් එහි පෙරහුරුවක් කිරීමට කැලණි ශුද්ධ භූමිය නුසුදුසු බව තේරුම් ගත් වෝල්ටර් විජයවර්ධන මහතා ඒ සඳහා තෝරාගත්තේ තමා පදිංචි නිවසයි. කොල්ලූපිටියේ ශ‍්‍රී රම්‍යා නමින් හැඳින්වුණු එම නිවස අද ඇමෙරිකානු තානාපති කාර්යාලයට පවරා දී ඇත. එහි සතියක් පුරා පෙරහුරු පවත්වා කැලණි රජ මහා විහාරයේ පැවැත්වෙන වාර්ෂික දුරුතු මහා පෙරහර ආරම්භ කළේය. වෝල්ටර් විජයවර්ධන මහතාගේ අභාවයෙන් කලකට පසුව කැලණි රජමහා විහාරයේ බස්නායක පදවියට පත් උපාලි විජයවර්ධන මහතාගෙන් පසුව අද එහි බස්නායක පදවිය උසුලනු ලබන්නේ ධම්මික ආටිගල මහතා ය. කැලණි රජ මහා විහාරයේ චිත‍්‍ර කැටයම් නිර්මාණය කළ සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියාට ගුරු පඬුරක් වශයෙන් තමා සතු මහවැව අක්කර අසූපහක භූමි භාගය තෑගි ඔප්පුවකින් පවරා දෙනු ලැබුයේ වෝල්ටර් විජයවර්ධන මහතා විසින්ය.

මෙවර පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් ආරක්‍ෂණ සහ සෞඛ්‍ය උපදෙස් මත කැලණි රජ මහ විහාරයේ විහාරාධිපති අග‍්‍රමහා පණ්ඩිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිගෞරවණීය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව මත සහ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 16 වැනි ඉරු දින උඩමළුවේ පෙරහර පමණක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

නන්දසේන සූරියආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment